විනයගරුක-රටක්! | දිනමිණ


 

විනයගරුක-රටක්!

මුළු රට ම ශීඝ්‍රයෙන් විනයගරුකභාවය දෙසට නැඹුරුවන්නට පටන්ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා අතිශය ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර ඊට මහජන ප්‍රසාදය හිමි වී ඇත. මහාමාර්ගවල විනය ඇතිකිරීම සඳහා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගනී. අධික ශබ්දයෙන් යුතු නළා හඬවන බස්රථවල රියැදුරන්ට දඩ ගසන්නට පටන්ගෙන තිබේ. ඒ එක අතෙකින් රටේ විනය හා ශික්ෂණය ඇතිකරන මාර්ග ලෙස සැලැකිය හැකි ය. තව අතෙකින් දේශපාලන පක්ෂ තම විරසක පසෙකලා රටේ අනාගත දේශපාලන රාමුව ගැන කථිකා කරන්නට පටන්ගෙන තිබේ. මේ සියල්ල ගත හැක්කේ සාධනීය තත්ත්වයක් හැටියට ය. ජාතියක විනය සංවර්ධනයේ කැපී පෙනෙන ලක්ෂණයක් බව ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් පෙන්වා දී ඇත.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වය මත ගෙන යන වැඩසටන පැහැදිලි ලෙස ම රටේ බලවත් වෙනසකට මාර්ගය පාදා ඇත. බරපතළ අපරාධ, කළු සල්ලි, ආයුධ ගනුදෙනු හා පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ බැඳී ඇත. එය කෙතරම් බලවත් ද යත්; දේශපාලනය සඳහා බලපෑම් කරන තැනට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම බලවත් වී තිබිණි. දේශපාලකයන්, ප්‍රභූන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් හා සමාජය පිළිගත් තවත් පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇත. මේ නිසාම මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට පොලිසියට නොහැකි විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ ඇතැම් පොලිස් නිලධාරීන් ද මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල්වීම ය.

අද කිසිදු පැකිළීමකින් තොරව පොලිසිය මත්ද්‍රව්‍ය නිවාරණයට එකතු වී ඇත. ලෝකයේ දියුණු රටවල් මේ සඳහා භාවිත කරන නූතන තාක්ෂණික මෙවලම් මෙන්ම උපායමාර්ග ද දැන් පොලිසිය භාවිත කරයි. ඒ හැරෙන්නට විශේෂ පුහුණුව ලත් පොලිස් කණ්ඩායම් මේ කටයුත්ත සඳහා යොදවා ඇත. මේ වන විටත් ජාවාරම්කරුවන් පසුබැස ඇත. දිනපතා ම අඛණ්ඩ ලෙස වැටලීම් සිදුවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින් ම නතර කළ දිනට අපරාධ අඩු බව පෙනී යනු ඇත. පාතාල ක්‍රියාකාරකම් අඩු බව පෙනී යනු ඇත. බිහිසුණු ඝාතන හා අවි-ආයුධ ගනුදෙනු අඩු බව පෙනී යනු ඇත. ශ්‍රී ලංකාව සාමකාමී හා විනයගරුක රටක් බවට පත්කිරීමේ පළමු පියවර හැටියට මත්ද්‍රව්‍ය නිවාරණය හැඳින්විය හැකි ය.

ලබන වෙසක් පෝයට පෙර ශ්‍රී ලංකාවේ කසිප්පු ජාවාරම ද අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා ‍කියා ඇත. එය හොඳ ඉලක්කයකි. කසිප්පු ජාවාරම නිසා අපේ පාරම්පරික ගම් විනාශවෙමින් පවතී. කසිප්පු ජාවාරම්කාරයා හෙවත් කසිප්පු මුදලාලි එක අතෙකින් ගම විනාශ කරයි. කසිප්පු පානය කරන බේබද්දන් තව අතෙකින් තම පවුල විනාශ කරයි. දකුණේ ගම්මානවල පමණක් නො ව; උතුරේ ගම්මානවල ද හොර අරක්කු ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බවට වාර්තා පළ වී ඇත. ජනාධිපතිවරයා උතුරේ සිදුකළ සංචාරයකදී කාන්තා සංවිධාන කිහිපයක් පෙන්වා දී ඇත්තේ උතුර සංවර්ධනය කරන්නට පෙර හොර අරක්කු ජාවාරම මැඬලීම අත්‍යවශ්‍ය කාරණයක් බව ය. කසිප්පු හෝ හොර අරක්කු නිෂ්පාදනය පවුලට, ගමට හා සමාජයට බලපා ඇති ආකාරය එයින් පැහැදිලි වෙයි.

අපේ රටේ දෙවන ත්‍රස්තවාදය මහමඟ ත්‍රස්තවාදය යැයි කියනු ලැබේ. දිනකට හයදෙනකු හෝ හත්දෙනකු හෝ රිය අනතුරුවලින් මිය යන බව වාර්තා වී ඇත. තුවාල ලබන හා අබ්බගාත තත්ත්වයට පත්වන පිරිස ද අතිවිශාල වෙති. රටේ රිය අනතුරු ඉහළ යෑමට ප්‍රධාන හේතුව රියැදුරන්ගේ නොහික්මුණුභාවය බව සඳහන් කරති. සමහර රියැදුරෝ හොඳට ම බීමත්ව තම රථය පදවාගෙන යති. ඔහුට හැඟීම් - දැනීම් නැත. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩසටහන් ගණනාවක් ම ක්‍රියාත්මක ය. මේ වැඩසටහන්වලට අනුව කිසිදු බීමත් රියැදුරකුට සමාවක් ලැබෙන්නේ නැත. මහමඟ ත්‍රස්තවාදයේ තව කොටසක් වන්නේ අධික ශබ්දයෙන් යුතු නළා හඬවමින් පාර දෙවනත් කරන බස් රථ ය. ඒ සියල්ල දැන් නීතියේ රැහැනට හසුවනු ඇත.

සාමාන්‍ය‍යෙන් අපේ මහාමාර්ග ශබ්ද දූෂණයට හා වායු දූෂණයට ඉතා ප්‍රකට ය. වායු දූෂණය සම්බන්ධයෙන් යම් පියවර ගෙන තිබුණ ද, ශබ්ද දූෂණය දිගට ම සිදු විය. විශේෂයෙන් පෞද්ගලික බස් රථ සිය තරගය ජයග්‍රහණය කිරීම සඳහා අධික ශබ්දයෙන් යුතු නළා හඬවාගෙන වේගයෙන් ධාවනය වෙයි. අධික වේගය, අධික ශබ්දයෙන් යුතු නළා හා තවත් වැරැදි බොහොමයක් මීට පෙර පැටවෙන්නේ බස් හිමියා වෙත ය. එහෙත් අලුත් නීතියට අනුව අධික වේගය, අත් තිරිංග අක්‍රීය වීම, නුසුදුසු නළා යන සියල්ලට ම රියැදුරා වගකිවයුතු ය. තමන්ට ගැළපෙන හා නීතියට පටහැනි නොවන බස් රථයක් පදවාගෙන යෑමේ වගකීම රියැදුරා වෙත පැවරී ඇත. මෙය උල්ලංඝනය කරන රියැදුරන්ට දඩ කෑමට සිදු වේ. පළමුව රියැදුරන් විනයගරුක කිරීම ඉතා වැදගත් ය.

මේ සියල්ලට ම වඩා කැපී පෙනෙන ලක්ෂණය ලෙස සැලැකිය හැක්කේ දේශපාලන පක්ෂවල හා දේශපාලකයන් තුළ ඇතිවෙමින් පවතින සාධනීය වෙනස ය. මතවාද අතින් බෙහෙවින් පරස්පර ස්ථාවරයන් දරන දේශපාලන පක්ෂ හා නායකයන් පවා අනාගත දේශපාලනය සඳහා වූ කතිකාවකට ‍එකතු වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂ නායකයා අතර දේශපාලන සාකච්ඡාවක් පැවැත්විණි. එලෙස ම හිටපු විපක්ෂ නායකයා මෙන් ම දෙමළ ජාතික සන්ධානයේ නායකයා හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් පැවැත්විණි. ඔවුනට විෂය වූ ප්‍රධාන මාතෘකාව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වුව; රටේ පවත්නා තවත් ගැටලු සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවලදී අදහස් හුවමාරු වී ඇත. දේශපාලන පක්ෂ හා නායකයන් දෙපැත්තක සිට වේදිකාවලදී විවේචන ඉදිරිපත් කරනවාට වඩා එක මේසයක සිට සාකච්ඡා කිරීම කොතරම් වැදගත් ද? එය දේශපාලන විනය පිළිබඳ වැදගත් කාරණයකි.

2015 පමණ වන විට මුළු රටේ ම අවධානය යොමු වී තිබුණේ රට සදාචාරවත් තැනකට ගෙන යෑම කෙරෙහි ය. දේශපාලන ආයතන, සමාජය පමණක් නොව; සමස්ත රටම ශීලාචාර කළ යුතු යැයි ඇතැම් විද්වත්හු පෙන්වා දුන්හ. එම සංවාදයේ ප්‍රතිඵල එකින් - එක එළියට එන්නට පටන්ගෙන ඇති බවක් පෙනෙයි. මෙය යහපත් ප්‍රවණතාවකි. රාජ්‍ය සේවකයන්, පොලිසිය, ආරක්ෂක අංශ, අධිකරණය, දේශපාලන ව්‍යාපාර යන සෑම අංශයකම මෙබඳු හික්මීමක් හා ස්වාධීන බවක් මේ වන විටත් දැකගත හැකි ය. ඉදිරියේදී එය සර්ව සම්පූර්ණ එකක් බවට පත්වනු ඇත. විනයගරුක රාජ්‍යයක් කෙරෙහි අපේ විශ්වාසය දලුලමින් පවතී.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න