ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ඇමැති සජිත් | දිනමිණ

ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ඇමැති සජිත්

“ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා අභිමානී” ගෞරව නාමයෙන් පුදනු ලැබූ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ සැකසූ විශේෂ ලිපියකි.

හිමගිර ඔබයි සිසිලස දෙන ජන මනසේ
ඉඳුනිල ඔබයි දුක් දෙන හදවත් අ‍තරේ...
‘අයං නිජඃ පරොවේති
ගණනා ලඝු චේතසඃ
උදාර චරිතානාන්තු
වසුදෛව කුටුම්භකඃ

වන උයන්වල මල් පිපුණු කල බඹර මී මැසි කැළට කිව යුතු නො වේ. මල්වල සුගන්ධය දස දිසාවෙහිම පැතිරේ. එමෙන්ම සාදු ජන සත් පුරුෂයන්ගෙන් ගුණ සුවඳ පිළිබඳ ගුණ සුවඳ දැනෙන හදවත් ඇත්තවුන්ට අමුතුවෙන් කිව යුතු නොවේ. සුවහසක් ජනී ජනයාට සත්පුරුෂයන්ගේ චිත්තාධ්‍යාසයන් හඳුනා ගැනීම අපහසු නොවේ.

එකී කියමනෙහි අර්ථය ඒ අයුරින්ම කායිකවත් මානසිකවත් මේ මහ පොළවේ යථාර්ථයක් කරමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේත් සතා සීපාවාගේ පටන් තුරු ලතාදීහුගේද විශ්වාසය දිනාගත් පොදු ජන නායකයකුගේ මංගල සම්මතාභිමානී අභිෂේකෝත්සව නිමේෂයක උදාව වෙනුවෙන් මෙකී අඬහැරය වන්නේය. ඒ අන් කවුරුවත් නොව වර්තමාන රජයේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජන රංජන’ සජිත් ප්‍රේමදාස මැතිතුමාය.

ඉතා සංකීර්ණ වූ නාගරික පරිසරයක අව්වට වැස්සට හුරු වූ දෑතේ කරගැට පිට මත බර පටවා ගත් අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන් මානව සමාජයක මීට දෙපනස් වසරකට පෙර ජන්ම ලාභය ලැබූ මෙතුමා මෙරට විධායක ජනාධිපති ධුරය හෙබවූ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අතිජාත පුත්‍ර රත්නයයි.

රණසිංහ ප්‍රේමදාසයන් යනු පැවත ආ වැඩවසම් ධනපති වංශාධිපති ක්‍රමය වෙනස් කොට ඉතිහාසය නව්‍යකරණය කොට ලෝකය වෙනස්කොට පෙන් වූ උදාර ජනතා නායකයෙකි. සිය පියාගේ සහ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිනියගේද කෘතහස්ත දේශපාලනික අත්දැකීම් වර්තමානයට වඩාත් නව්‍යකරණයට ලක්කොට අමිල ජනතා මෙහෙවරක යෙදෙන අමාත්‍යවරයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා හඳුනාගත හැක. තම පියාගෙන් උරුම වූ රාජකීය උරුමය හා උණුසුම තබාගෙන කොළඹ අධි සුඛෝපභෝගී සුඛ විහරණය අලුයම ලූ කෙළ පිඬක් සේ පිළිකුල් කළ මේ භද්‍ර යෞවනයේ පසු වූ ජනපති පුත්‍රයා තම ජනතා මෙහෙවරට තෝරා ගත්තේ එවකට කුප්පි ලාම්පුවෙන්, හුළු අත්තෙන් එළිය දුටු ගිනි අව්වට පිළිස්සී ඉරි තැලුණු විඩාබර මිනිසුන් ජීවත් වූ පිටිසර හම්බන්තොටයි.

එදා බැද්දේගම ජීවත් වූ සිලිදුගේ පවුල හා තදනුබද්ද ජන ජීවිතය පිළිබඳ ලෙනාඩ් වුල්ෆ් ලේඛකයා දුටු අව්‍යාජ දුක්බර ජන නෙත උපන් කඳුල පිසින්නට එදා තරුණ සජිත් ප්‍රේමදාසයන් ස්වකීය ජනතා මෙහෙවර හම්බන්තොටින් ආරම්භ කළේය. දිස්ත්‍රික්කය පුරා ගම් නියම්ගම් සිසාරා බොරළු ඇනෙන පය රිදවන දුෂ්කර ක්‍රියාව ආරම්භ කෙරුණි. පන්සලේ, පල්ලියේ, කෝවිලේ, ගම්පිළේ, සෙත්පිරිත්, යාඥා, දේවගීතිකා සමඟ මුසුවුණු පීඩිත පන්තියේ මන්ද ස්වරය දෙස සවන් පත් යොමු කළ සජිත් ප්‍රේමදාසයන් දුගී දුප්පත් ජනී ජනයාගේ හදවතේ රාවය හඳුනා ගත්තේය. මෙම මහජන සේවකයා පන්සිය හැත්තෑවකට අධික ග්‍රාම නිලධාරි වසම් තුළ පන්සලක්, පාසලක් පාසා ජනසුවය පෙර පාසල්, පාසල් ගොඩනැගිලි, පාසල් උපකරණ බහුකාර්ය ගොඩනැගිලි මං මාවත් වැව් පොකුණු ඉදිකරමින් ස්වයං රැකියා දහස් ගණනින් ආරම්භ කොට දුගී බවින් මිදී දිරියෙන් නැගී සිටින්නට ජනසුවය සැදුවේය.

මෙකී ජනතා මෙහෙවර සියල්ලක් ඉටුකරනු ලැබුවේ ස්වකීය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වීම අතිශය සුවිශේෂී කරුණකි. පිටිසර ගම්වැසියාගේ හඬ රාජ සභාවටද ගෙන ගොස් බලයක් නොමැතිව කළ මෙහෙවර දෙගුණ තෙගුණ කොට කරගෙන යාමට ලක්ෂයකට අධික ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මෙතුමා 2001 – 2004 රජයේ සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පිදුම් ලැබීය.

පුර පක්ෂයේ සඳමෙන් ටිකෙන් ටික මදින් මද ප්‍රතාපවත් ජන නායකයකුගේ ගමනාරම්භයට මනා අනුගාමිකයකු වශයෙන් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජ්‍ය ඇමැතිවරයකු වශයෙන් ඔහුට පැවැරූ වගකීමෙන් කැබිනට් අමාත්‍යවරයකුගේ වැඩ පෙන්නුවේය. ගිලන් රථයක් නොතිබූ රෝහල් රාශියකට ගිලන් රථ ලබා දෙමින් රෝහල්වල මානව සහ භෞතික සම්පත් නොමසුරුව සපයා දෙමින් ජනතා මෙහෙවර ජනසුවය වේගවත්ව ඉටුකරන ලදුව විටක විපක්ෂයේ සිටියදීද ඒ හැම මොහොතකම ජනතා මෙහෙවර අත් නොහළේය. වර්තමාන රජයේ ඉතාම කාර්යශූර දක්ෂතම අමාත්‍යවරයකු වශයෙන් ජනපති අගමැතිතුමන්ගේ ප්‍රසාදය දිනාගත් ප්‍රේමදාසයන් හම්බන්තොට පමණක් නොව සමස්ථ රට වැසියාගේම ජනාදරයට පත්වීම ආශ්චර්යක් බඳුය.

උපතින්ම උරුම කොටගත්තක් සේ සිතු දුප්පත්කමට සාප කර කර සිටිනවාට වඩා මහ පොළවේ තමන්ටම කියා බිම් අඟලක් අහිමි වූවන්ට තමන්ටම කියා බිම් කොටසක අයිතිය ලබා දෙමින් හිසට සෙවණක් ඇවැසි රට වැසියාට ඉඩමක් සහිත නිවසක් නොමිලේ ලබා දෙමින් නිවාස දස දහස් ගණනක් ඉදිකොට විප්ලවීය සංවර්ධනයක් උදාකොට ඇත. දිනපතා සතිපතා ප්‍රගතිය විමසා බලමින් නොනිදන අමාත්‍යාංශය නමින් විරුදාවලිය ලත් පැය විසිහතරේම සේවයට කැපවූ නිලධාරී මඩුල්ල මෙතුමාගේ වේගවත් ගමනේ යෝධ සෙවණැලි බව අමතක නොකළ යුතුය. බුදු දහමේ ආභාසයෙන් සරල චාම් දිවිපෙවතකට ඇලුම් කරන මෙම අපූරු නායකයා සුදු කලිසමත් අත්කොට සුදු කමිසයක් පටි දෙකක් සහිත වූ රබර් සෙරෙප්පු දෙකක් හැරුණු කොට වෛවාරණ විච්චූර්ණ ඔහු තුළ දැකිය නොහැක. රනින් රිදියෙන් මැණිකෙන් තැනූ ආභරණ හා හෙතෙම මැදිකොට පෙර පසු ගමන් රථ, අවි අතැති සෙබළුන් වැනි ප්‍රභූ ආභරණ නොමැති මෙම සරල මිනිසාගේ එකම ආභරණය ජනතා ජයතු ජය නාදයයි.

සම්බුදු සසුනට අපමණ මෙහෙවරක් ඉටුකළ ජන නායකයකු ලෙස ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස නාමය ප්‍රතිද්දීපනය කරමින් පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉටුකළ හා ඉටුකරන සේවය සුළු පටු නොවේ. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ශ්‍රී ලාංකීය අභිමානය ජාතියේ උරුමය එදා ප්‍රේමදාස ජනපතිවරයා අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, මාළිගාවිලින්, දළදා මැදුරේ රන් වියනෙන් ප්‍රභාමත් කළ සේම එකී සේවය පරයා සේවය ඉටුකරන්නට වර්තමාන සංස්කෘතික අමාත්‍යවරයා ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ‍මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා දියත් කර ඇති වැඩපිළිවෙළ ඉතා උසස්කොට අගය කළ යුතුය.

වෛරයෙන් ගිනිගත් වෙහෙසකර විඩාබර සිත් සතන් කලාවේ තෙත් දියෙන් නිවා සනසන්නට ටවර්හෝල් පදනම, කලා භවන, එල්ෆින්ස්ටන් රඟහල ආදියෙන් කළ මෙහෙය කලාවට ලැදි ප්‍රේමදාස චින්තනය නැවතත් සමසිත් ඇති ප්‍රේමදාසවරයකුටම ලැබීම දෛවෝපගත සිදුවීමක්දෝයි විටක හැ‍ඟේ. මෙකී ජාතික, ආගමික, ශාසනික මෙහෙවර දිහාව හා නිකළැල් පිරිසිදු දේශපාලන භාවිතාව පිළිබඳ තුෂ්ණිම්භාවයෙන් මුදිතාවෙන් හා උපේක්ෂාවෙන් බලා සිටින සුවිශේෂී පිරිසක් වෙති. ඒ මෙරට ජාතියේ මුර දේවතාවෝය. රජුන් තනන්නත් ඔටුනු පළඳන්නත් ඔටුනු ගලවන්නත් ලාංකීය භික්ෂුවගේ භාවිතාව අතිශය සුවිශේෂිය. රාජ්‍ය හා ආගම අතර ලාංකීය සබැඳියාවට ඇත්තේ මහින්දාගමනය තෙක් වූ දිගු ඉතිහාසයකි. එය භික්ෂුවගේ උරුමයයි. කාර්යයි. එබැවින් පාලකයා දිහා මැති ඇමැතිවරු දිහා මෙරට මහ සඟරුවන අතිශය තියුණු ඇසින් බලා සිටින බව අමතක නොකළ යුතුය.

මහ සඟරුවනට පිටු පෑ කිසිවකු මෙරට අභිෂේක වී නොමැති අතර උවද එහි පැවැත්ම තාවකාලිකය. ආදි මුතුන් මිත්තන් ලෙයින් දහදියෙන් කඳුලින් තැනූ දේශය දෙදහස් පන්සිය වසරක් පුරාවට අවිච්චින්නව පැවතියේ මහ සඟරුවන හා රාජ්‍ය පාලකයා අතර වූ ශක්තිමත් බැඳීම නිසාමය. මහ සඟරුවනේ ගෞරවයට උපහාරයට පාත්‍ර වූ රාජ රාජ මහාමාපාදීහු රැසක් ඉතිහාසයෙන් අපට හමු වේ.

සොලී ආක්‍රමණයෙන් ලක්දිව නිදහස් කරගත් ගජබා රජතුමාට සෝමාවතී වෙහෙර වැසි මහ සඟරුවන විසින් "ගාමිණි අභය යුදජි" ජයග්‍රාහී ගාමිණී අභය නම් ගෞරව නාමයක් පිරිනැමූ බව ක්‍රි. ව. 112 ලියන ලද සෙල්ලිපියක සඳහන් වේ. චිරාගත සම්ප්‍රදායානුගතව ශාසන භාරධාරි මහ තෙරවරුන්ගේ මෙහෙවර හා වගකීම වර්තමානයේද ඉටුකරන්නට අප මහ සඟරුවන පසුබට නොවන බවට පසක් වන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පිරිනමා ඇති සුවිශේෂී ගෞරව සම්මාන ප්‍රදානයත් සමඟය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක හිමිපාණන් වහන්සේ "වැඩක් කරන ඇමැතිවරයකු" වශයෙන් තමන් වහන්සේට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සුවිශේෂී වන බව විටෙක ප්‍රකාශ කරනවා අසන්නට ලැබිණි. ගරු ජනාධිපතිතුමන් ද එයම ප්‍රකාශ කළේය. ගරු අගමැතිතුමා එතුමාගේ අමාත්‍යාංශයට අති විශාල මුදලක් වෙන්කර දී ඇත. මෙතුමාගේ ජාතික ආගමික ශාසනික මෙහෙවර පිළිබඳව දිගු කලක් පරීක්ෂා කර බැලූ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක සානුනායක කාරක සංඝ සභාව ඒකච්ඡන්දයෙන් සම්මතකොට එතුමාගේ ජාතික ශාසනික මෙහෙවර අගය කරමින් "ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන" යන ගෞරව නාමධාරී සම්මුතිය පිරිනමා ඇත. බුදුන් තෙවරක් වැඩි ලක්ෂ ගණනක් අරිහතුන් වහන්සේලාගේ පහස ලැබූ මෙම පුණ්‍යවන්ත දේශයේ නිල නොවන රාජ්‍ය නායකයින් වන්නේ මල්වතු අස්ගිරි මහානාහිමිවරු ප්‍රධාන ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ය.

සුවාසු දහසක් දම් ක‍ඳෙහි පහස ලැබූ ශ්‍රී දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස සෑම රාජ්‍ය නායකයකුම සිතීය. උතුම් දළදා සමිඳුන්ගේ භාරකරුවකු වන්නේ මල්වතු මහා නාහිමිපාණන් වහන්සේය. මල්වතු මහා වෙහෙර යනු ජාතියේ මුදුන් මල්කඩයි. ජාතියේ මුදුන්මල්කඩින් යමෙකුට උපහාර ලබන්නට ලැබේ නම් ඔහු කෙතරම් භාග්‍යවන්තයෙක්ද? කෙතරම් පුණ්‍යවන්තයෙක්ද? ඒ දුර්ලභ අවස්ථාව ලබාගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සුදුසුකම් ලබා ඇත. සසුන් වැඩවඩන්නට එතුමාට උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා.

අදහස් 1ක් ඇත

Dear Sajith, please accept my heartiest congratulations. You are one of the Most Deserving Ministers to accept this honour frrom the Siyamese Sect of Sri Lanka..

නව අදහස දක්වන්න