කිරි කර්මාන්තයේ කළු සුදු සත්‍යය ! | දිනමිණ

කිරි කර්මාන්තයේ කළු සුදු සත්‍යය !

කරුණාරත්න අමරතුංග

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ක්‍රියාත්මක අදියරට පා තබා තිබේ. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩල වාර්තාවෙන් ප්‍රකාශ කරන අන්දමට රුපියල් බිලියන 200 වටිනා ආහාර ද්‍රව්‍ය මේ රටේම නිෂ්පාදනය කර ගැනීම ආණ්ඩුවේ අරමුණයි. පශු සම්පත් වර්ධනය සහ ධීවර සම්පත් දියුණු කර ගැනීම ද එයට ඇතුළත් ය.

ශ්‍රී ලංකාව කිරිපිටි හා කිරි ආශ්‍රිත වෙනත් ආහාර වර්ග ආනයනය සඳහා 2013 වසරේ වැය කළ මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 291කි. 2014 ඇ. ඩො. මිලියන 339.4කි. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 44308කි.

කිරිපිටි, බටර්, චීස් ආදි කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා එතරම් විශාල මුදලක් වැය කළ ද ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය 2010 සිට දියුණුව කරා පා නඟන කර්මාන්තයකි.

2010 වසරේ මාසික දේශීය කිරි නිෂ්පාදනය ලීටර් 20629500 කි. 2011 දී එය ලීටර් 21530250 කි. 2012 මාසික නිෂ්පාදනය කිරි ලීටර් 23763960 කි. 2013 කිරි ලීටර් 26516160 කි. 2014 නිෂ්පාදනය 27291240 කි. නිෂ්පාදනය මෙසේ වැඩිවූයේ කුර හා මුඛ රෝග වසංගතයෙන් කිරි ගව සම්පතෙන් 6%ක් විනාශවීම මැදය.

ඩී. එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන කෘෂිකර්ම ඇමැතිවරුන් මෙන්ම බණ්ඩාරනායක රජයේ ආහාර හා කෘෂිකර්ම ඇමැතිවරයා වූ පිලිප් ගුණවර්ධන මහතා ද දේශීය කිරි කර්මාන්තය නැංවීමට උනන්දු වූහ. ජාතික කිරි මණ්ඩලය, පශු සම්පත් මණ්ඩලය ද දේශීය කිරි කර්මාන්තයේ දියුණුවට කටයුතු කළ රාජ්‍ය ආයතන අතර වේ.

ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය නව නැම්මකට යොමු කරමින් දැන් ශ්‍රී ලංකාව බටර් අපනයනය ආරම්භ කර තිබේ. මාලදිවයින සහ අප්‍රිකා මහාද්වීපයේ වෙළෙඳ පොළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තවත් බටර් මෙට්‍රික් ටොන් 700ක් ඉරානයට අපනයනය කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ බටර් නිෂ්පාදනය කරනු ලබන්නේ පැලවත්ත ඩෙයරි සමාගම මඟින් බුත්තල පිහිටි ස්වකීය යන්ත්‍රාගාර දෙකකය.

බටර් කර්මාන්තය

පැලවත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා දිනමිණට කියා සිටියේ “දැන් ශ්‍රී ලංකාව දේශීය බටර් අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම නිපදවන නිසා බටර් නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත බවයි. දේශිය බටර් නිෂ්පාදනය සඳහා විදේශීය වෙළෙඳ පොළ සොයාගත යුතුව ඇත්තේ එම නිසා ය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික බටර් අවශ්‍යතාව මෙ. ටොන් 700ක් පමණ ය. පැලවත්ත ඩෙයරි සමාගමට අයත් බුත්තල කර්මාන්ත ශාලා දෙක නිෂ්පාදනයට සම්බන්ධ වී දැනට වසර 3කි. වර්ෂයකට බටර් මෙ. ටොන් 1000ක් නිපදවීමට දැන් එම සමාගමට ශක්තිය ඇතැයි ද වික්‍රමනායක මහතා පවසයි.

අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා එමඟින් කිරි ලබාගන්නා පැලවත්ත ඩෙයරි සමාගම කිරි ගොවීනට කිසිදු පමාවකින් තොරව රජයේ සහතික මිල ගෙවයි. එනම් ලීටරයකට රු. 70කි.

විදේශීය කිරි ගවයන් නඩත්තු කිරීම වියදම් අධික කටයුත්තක් බව පවසන ඒ මහතා, උලාකෑම මඟින් ආහාර සපයා ගැනීමට දේශීය ගවයන් පුරුදුව සිටින නිසා එම සතුන් නඩත්තු කිරීමට වියදමක් දැරීමට සිදු නොවන බවත් කියයි.

ශ්‍රී ලංකාව ඉරානයෙන් තෙල් මිලදී ගන්නා රටකි. ශ්‍රී ලංකාවෙන් බටර් දී ඒ වෙනුවට ඉරානයෙන් තෙල් ලබාගැනීමේ හුවමාරු ගිවිසුමක් ඇති කරගැන්ම සිය අභිලාෂය යැයි පවසන ඒ මහතා, චොක්ලට්, වැනිලා මිශ්‍ර කිරි ආදී සිය නිෂ්පාදන මාලේ සහ අප්‍රිකාවේ රටවලට අපනයනය කිරීමට පැලවත්ත ඩෙයරි සමාගම ක්‍රියාකරගෙන යන බව ද කියයි.

ඉතා උසස් තත්ත්වයේ පෝෂණ ගුණයකින් යුත් දේශීය බටර් වෙළෙඳ පොළේ තිබියදීත්, පාරිභෝගිකයා විදේශීය නිෂ්පාදන කරා ඇදීයන්නේ ජාතික හැඟීමක් නැතිකම යැයි පවසන ඒ මහතා, ජපන් ජාතිකයා මෙන්ම, ඉන්දියානු ජාතිකයා ද සිය රටේ නිෂ්පාදන මහ ඉහළින් පිළිගන්නා නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඒ රටවලට වඩා හාත්පසින්ම වෙනස් බවත් කියා සිටියේ ය.

පොහොර අවශ්‍යතා

“කිරි ගව කර්මාන්තය නිසා ස්වභාවික පොහොරක් වන ගොම පොහොර ගොවි ජනතාවට නොමිලේම ලැබෙනවා. එහෙම තිබියදී අපි රට පොහොර භාවිතයට පුරුදුව සිටිනවා” යැයි ඒ මහතා කියයි.

ශ්‍රී ලංකාව පොහොර ආනයනය සඳහා 2014දී රුපියල් මිලියන 35591ක් වැය කළ අතර 2010දී රු. මිලියන 27157ක් වැය කළ රටකි. එන්න එන්නම පොහොර සඳහා වැයවන මුදල වැඩිවන අතරතුර ආහාර නිෂ්පාදන ජාතික වැඩපිළිවෙළ ද වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කෙරේ අවතීර්ණව තිබේ. එහෙයින් ගොම පොහොර භාවිතාව වැඩි කිරීමේ අගය අප වටහා ගත යුතුව තිබේ. ඒ සඳහා ද දේශීය කිරි ගව සම්පත දියුණු කරගත යුතු ය.

මේ අතර සබරගමු පළාත් සභාව ද, උතුරුමැද පළාත් සභාව ද දේශීය කිරි නිෂ්පාදනය නැංවීමේ ව්‍යාපෘතින් අරඹා තිබේ.

සබරගමු පළාත් සභාව වරකාපොළ සහ රඹුක්කන යන මැතිවරණ කොට්ඨාසවල කිරි ගම්මාන 10ක් පිහිටුවීමට ක්‍රියා කරගෙන යයි. එමඟින් දිනකට කිරි ලීටර් 15,000ක් එකතු කර ගැනීමට අදහස් කරයි.

එසේම මෙම කිරි ගොවීන්ගේ නිෂ්පාදනවලින් යෝගට් නිපදවීමේ ව්‍යාපෘති දෙකක් ද කුකුල්පනේ සහ බෙලිගල පිහිටුවීමට නියමිතය. කිරි ගවයන් රක්ෂණය කිරීමට රු. ලක්ෂ 100ක් වැය කිරීමට ද සබරගමු පළාත් සභාව අපේක්ෂා කරයි. උතුරුමැද පළාත් සභාව ද කිරි නිෂ්පාදනය දිරිමත් කිරීමේ ව්‍යාපෘතිය ඇරැඹීමට කටයුතු සම්පූර්ණ කර තිබේ.

යෝගට් නිෂ්පාදකයකු වන එම්. චම්ලි ප්‍රියන්ත ජයන්ත ද සිල්වා මහතා වයඹ පළාතේ සිය කර්මාන්තය කරගෙන යන්නේ එළකිරි අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරමිනි.

කිරිපිටි තොග

එළකිරි කර්මාන්තය සහ යෝගට් කර්මාන්තය එකිනෙක බැඳී පවතී. එහෙත් එළකිරි නිෂ්පාදනයට පහර වදිනා අංශයක් ද තිබේ. දේශීය එළකිරි නිෂ්පාදනයට මේ පහර වදින්නේ පිටරටින් ගෙන්වනු ලබන කිලෝ 50 කිරිපිටිවලිනි. කිලෝ 50 කිරිපිටි මලු මිලදී ගන්නා ඇතැම් යෝගට් නිෂ්පාදකයෝ එම විදේශීය කිරිපිටි යොදාගනිමින් යෝගට් තනා වෙ‍ෙළඳ පොළට ඉදිරිපත් කරති.

මේ කිරිපිටිවල පෝෂණ ගුණය ගැන සැක කිරීමට කරුණු තිබේ. එහෙත් ලාභය පමණක් බැලීම නිසා එක අ‍තකින් දේශීය කිරි නිෂ්පාදකයා අධෛර්යමත්වන අනික් අතින් පාරිභෝගිකයා ද රැවටීමට ලක්වන බව වික්‍රමනායක මහතා කියයි. මෙයට කළයුතු එකම පිළියම කිලෝ 50 කිරිපිටි මලු ආනයනය නවතා දැමීම යැයි ද ඒ මහතා කියයි. දේශීය කිරි නිෂ්පාදකයා රැකීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ද ඒ මහතාගේ යෝජනාවයි.

දැනට ගණන් බලා ඇති අන්දමට දේශීය කිරි ගොවීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3ක් පමණ ය. ඒ හැර කිරි ප්‍රවාහනය කරන්නන්, එකතුකරන්නන්, කිරි ආහාර ද්‍රව්‍ය නිපදවන්නන්, රසකැවිලි නිෂ්පාදකයන්, කිරි මිශ්‍ර බීම නිපදවන්නන්, පශු සේවා සපයන්නන් හා ගොම පොහොර අලෙවි කරන්නන් වශයෙන් විශාල පිරිසක් දේශීය කිරි කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගනිති. ගණන් බලා ඇති අන්දමට කිරි එළදෙනුන්ගේ සංඛ්‍යාව 2,94,340 කි. මී එළදෙනුන්ගේ සංඛ්‍යාව 90,320 කි. එහෙත් කිරිගව සංඛ්‍යාව මීට වඩා වැඩි බවක් පෙනී යයි.

වයඹ පළාතේ දේශීය කිරිගොවීන්ගේ තත්ත්වය සොයාබැලීම සඳහා ඩෙන්මාර්ක් ‍රටින් නියෝජිත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියහ. ඩෙන්මාර්ක් ‍රටේ කිරි ගොවි සමුපකාර සමිති ව්‍යාපාරය ඉතා ප්‍රබලය. රාජ්‍ය මැදිහත්වීම්වලින් තොරව පාරම්පරිකව කිරි ගොවිතැනේ නිරතවන එම රටේ කිරි ගොවියෝ නවීන තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කරති.

ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතාගේ ඇරුයුමෙන් දිවයිනට පැමිණි ඩෙන්මාර්ක් කිරි ගොවි නියෝජිතයෝ ගම්පහ සහ කුරුණෑගල කිරිගොවීන් හමුවී ඔවුනගේ කටයුතු අධීක්ෂණය කළහ. කිරි ගොවි සමුපකාර සමිති ඇතිකර ගැනීම, භූමිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම, විකල්ප ඉන්ධන සඳහා ගොම භාවිතා කිරීම යන කරුණු ගැන ඔවුහු අපේ කිරි ගොවීනට අවශ්‍ය උ‍පදෙස් ද දුන්හ.

වියට්නාම් ක්‍රමය

ඉන්දියාව ලොව විශාලම කිරි නිෂ්පාදනකයන් අතර ප්‍රමුඛතම රටකි. එහි කිරි ගොවි සමුපකාර සමිති ව්‍යාපාරය ශක්තිමත් ය. ඉන්ධන ලෙස ගොම වියළා පාවිච්චි කිරීම දකුණු ප්‍රාන්තවල සුලභ ය. ගෘහ කර්මාන්තයක් ලෙස කිරි ගවයන් ඇති කිරීම සඳහා රජය වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කර ඇති අතර චීනය ද දැන් ගෘහාශ්‍රිතව කිරි කර්මාන්තයට අනුබල දෙයි.

වියට්නාමය ද කිරි නිෂ්පාදනය අතින් පෙරට එන රටකි. වියට්නාමයේ විශාලතම කිරි නිෂ්පාදන ආයතනය විනාමිල්ක් නම් රාජ්‍ය ආයතනයයි. මීට දෙසතියකට පෙර වියට්නාමය විනාමිල්ක් ආයතනයේ අයිතිය පුළුල් කිරීමේ පියවරක් ආරම්භ කළේ ය. අමෙරිකානු ඩොලර් බිලියන 3ක රාජ්‍ය සම්පත් අයිතින් පුළුල් කිරීමේ එම ව්‍යාපෘතියේ අරමුණ වූයේ වඩාත් ක්‍රියාශීලි කිරි ගොවි ව්‍යාපාරයක් ගොඩනැඟීමය.

දුම්රිය සේවාවේ පාඩු අවම කිරීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සතියේ ආර්ථික විග්‍රහය මෙම මස 13 වනදා කරුණු ඉදිරිපත් කෙළේ ය. ශ්‍රී ලංකා දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළ නොවැම්බර් මස සිට පුළුල් කිරීමට එම අමාත්‍යංශය කටයුතු ‍කරගෙන යයි. ත්‍රිකුණාමලයේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා දිනකට ගල් අඟුරු බඩු පෙට්ටි 45 බැගින් ප්‍රවාහනය කිරීම එම වැඩපිළිවෙළේ එක් පියවරකි.

එසේම ත්‍රිකුණාමලයේ සිට දුම්රිය මඟින් සිමෙන්ති ප්‍රවාහනය කිරීමේ කටයුතු ඇරඹීම සඳහා දැන් හොල්සිම් සමාගම සමඟ සාකච්ඡා පැවැත්වේ. ප්‍රීමා සමාගමේ නිෂ්පාදන ද දුම්රිය මඟින් ත්‍රිකුණාමලයේ සිට ප්‍රවාහනය කිරීම තවත් පියවරකි.

භාණ්ඩ ප්‍රවාහනය මඟින් රුපියල් මිලියන 202ක් උපයා ගැනීමට මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට අවස්ථාව හිමිවේ. පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන අපේ දුම්රිය සේවාවට මේ අමතර ආදායම් මාර්ගය වටිනා මූල්‍ය සම්පතක් වනවා ඇත.


ආයෝජන වසන්තයක්

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ හා ආර්ථික සබඳතා ඇති කර ගැනීමට රාජ්‍ය කීපයකින්ම යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ජපානයේ ප්‍රධාන පෙළේ සමාගම් 150කගෙන් සමන්විත නියෝජිත පිරිසක් ලබන මාසයේ (නොවැම්බරයේ) ශ්‍රී ලකාවට පැමිණෙති‍.

මේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ආයෝජන මණ්ඩලය ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය (JICA) සහ ජපානයේ විදේශ වෙළෙඳ සංවිධානය (JETRO) යන ආයතන 3 විසින් ඒකාබද්ධව පවත්වන ලද දිරිගැන්වීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වශයෙනි.

ටෝකියෝ මිට්සුබිෂි බැංකුව සහ ජපානයේ මිෂිහු යන ජපානයේ ප්‍රධාන බැංකු දෙක ද එක්සත් ජාතින්ගේ යුනිඩෝ ආයතනය ද මේ වැඩපිළිවෙළට දායකත්වය සපයා තිබේ.

මේ පිළිබඳව ජපානයේ දී පවත්වන ලද සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මුදල් ඇමැතිවරයා සහ ආයෝජන මණ්ඩල සභාපතිවරයා අදහස් ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකා මුදල් ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ වත්මන් තතත්වය පිළිබඳ ජපානයේ අදාළ අංශ දැනුවත් කෙළේය. ආයෝජන මණ්ඩල සභාපතිවරයා ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හිතවාදී ආර්ථික පරිසරය හා ආයෝජක අවස්ථා පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය.

ජපානයේදී පවත්වන ලද ආයෝජක දිරිමත් කිරීමේ වැඩමුළුවට 150ක් පමණ ආයෝජක පිරිසක් සහභාගි වූහ. ඔවුහු සංචාරක කර්මාන්තය, මූල්‍ය ක්ෂේත්‍රය, බැංකු ක්ෂේත්‍රය, විදුලි උපකරණ නිෂ්පාදනය, ඇසුරුම් අංශය, යටිතල පහසුකම්, රක්ෂණ සේවා, ලුහු ඉංජිනේරු නිෂ්පාදන සහ උපදේශක සේවා ආදී අංශයනට සම්බන්ධ ව්‍යාපාරිකයෝය.

ආයෝජක මණ්ඩල සභාපති උපුල් ජයසූරිය මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ජපානයේදී සුසුකි මෝටර් රථ සමාගම, මිට්සු සීනි නිෂ්පාදන සමාගම, හිටාච් ආයතනය, ඩෙන්සෝ ටෙච්නෝ කෝපරේෂන් සමාගම, බෙලුනා කෝපරේෂන් සහ ඉතෝඩු යන සමාගම් සමඟ ඍජු සාකච්ඡාවන් පැවැත්වීය.

ඍජු විදේශ ආයෝජන ලබාගැනීම සඟඳහා නාගෝයා පර්යේෂණ ආයතනය ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ වටමේස සාකච්ඡාවක් පැවැත්වූ අතර නාගෝයාහි චුබු ආර්ථික පෙඩ‍ෙර්ෂනය ද ඍජු විදේශ ආයෝජනය සඳහා අවධානය කර තිබේ. ජපානයේදී සිදුකළ මෙම සාකච්ඡා තවදුරටත් ඵලදායක කරමින් ජපාන නියොජිත පිරිස ලංකාවට පැමිණෙති.

මේ අතර චීනයේ යුනාන් ප්‍රාදේශීය වෙළෙඳ නියෝජිත පිරිසක් ද පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ කටයුතු දියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ. ශ්‍රී ලංකා සමාගම් සමඟ හවුල් ව්‍යාපාර ඇරැඹීම කෙරෙහි ඔවුහු උනන්දුවක් දක්වති.

ප්‍රංශයේ සහ යුරොපයේ සංචාරක ප්‍රවර්ධනයේ නියැළෙන එස්. එන්. ඒ. වී. සංවිධානය සිය මීළඟ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රංශ - යුරෝපය සංචාරක කර්මාන්තයේ නියාමකයන් 600ක් පමණ දෙනා මේ සමුළුවට සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය‍. මීට ප්‍රථම එම සංවිධානය සිය 2005 සමුළුව පැවැත්වීමට ද ආසියාව තෝරාග­ැනිණි. ඒ සඳහා චීනය තෝරා ගන්නා ලදී.

 


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...