Home » 3,000ක හිඟ බිල නොගෙවුවාට විදුලිය විසන්ධි කරලා වතුර මෝටරයට අල්ලපු ගෙදරින් වයර් ඇද්ද එක් දරු මව විදුලිසරට බිලි

3,000ක හිඟ බිල නොගෙවුවාට විදුලිය විසන්ධි කරලා වතුර මෝටරයට අල්ලපු ගෙදරින් වයර් ඇද්ද එක් දරු මව විදුලිසරට බිලි

-වයර් මිදුලේ පිරුණු වතුරට වැටිලා

by sachintha
November 9, 2023 1:00 am 0 comment

විදුලි සර වැදී අවාසනාවන්ත ලෙස පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ එක් දරු මවක් පෙරේදා (7) දින සවස මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුලිදිවාසල ප්‍රදේශයේ පදිංචි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් නමැති 38 හැවිරිදි එක් දරු මවකි. මෙම කාන්තාව පදිංචි නිවෙසේ රුපියල් 3,000ක විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දින කිහිපයකට පෙර විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීමේ සේවකයන් පැමිණ විදුලිය විසන්ධි කර තිබිණ. මරණයට පත් කාන්තාවගේ සැමියා හා මෙම කාන්තාව දෛනික කුලී වැඩ කරමින් ජීවත් වූ අතර, වැසි හේතුවෙන් ඔවුන්ට දෛනික කුලී වැඩ පවා අහිමි වීමෙන් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වී තිබේ.

එසේ තිබියදී මරණයට පත් කාන්තාවට පසුගිය 7 වැනි දින නිවෙසට ආසන්න ස්ථානයක වගා බිමක කුලී රැකියාවක් ලැබී තිබූ බවත්, එම කුලී වැඩ සඳහා ගොස් එය අවසන් කර නිවෙසට පැමිණීමෙන් පසු ස්නානය කිරීමට තම නිවෙසේ ජල ටැංකියේ ජලය නොමැති වීම හේතුවෙන් මිටර් කිපයක දුරින් වූ මවගේ නිවෙසේ විදුලි ස්විචයකට වයර් යොදා එම වයරය තම ඉඩමේ පිහිටි විදුලි මෝටරයට දමා සවි කර ජල ටැංකියට ජලය පිරවීමට යෑමේදි මෙසේ විදුලි සර වැදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

විදුලි සර වැදී බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාව කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මරණයට පත්ව තිබිණි. කෙසේ වෙතත් මරණයට පත් කාන්තාවගේ දේහය ඇය පදිංචි නිවෙසට රැගෙන ඒමට පෙර ප්‍රදේශවාසීන් හිඟ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබූ අතර, 7 වැනි දින රාත්‍රිය වන විට විසන්ධි කළ විදුලිය නැවත ලබා දීමට කිරීයන්කල්ලිය විදුලි උප කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබිණ.

 

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT