Friday, March 29, 2024
Home » 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උලෙළ දා

11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උලෙළ දා

by sachintha
February 12, 2024 1:55 am 0 comment

‘කැඩුණු – බිඳුණු – සිතින් උපන් සෝභානුරාවය – 2024’ ගායන අභිෂේක ප්‍රසංගය, 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උලෙළ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09දා පැල්මඩුල්ල, ලෙල්ලොපිටිය Silver Ray ‌හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති පැල්මඩුල්ල, රිල්හේන පිහිටි මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ, පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ ජාතික සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර, කුරුවිට, ගම්පහ සහ පිළියන්දල ප්‍රදේශවල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථාන තුනෙහිදී, විශෝධනය වූ තරුණයන් අතර පවත්වන ලද ගායන තරගයෙන් අවසන් වටයට තේරී පත්වූ තරගකරුවන් අට දෙනා අතර ජයග්‍රාහකයා තෝරා පත් කර ගැනීමේ අවසන් මහා තරගය සෝභානුරාවය 2024 ගායන ප්‍රසංගය යටතේ පැවැත්විණි. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ, ප්‍රවීණ ගායන ශිල්පීනි නිරංජලා සරෝජනී, ගායන ශිල්පී රොහාන් ශාන්ත බුලේගොඩ, විශාරද සූර්යා දයාරුවන්, විශාරද රනිල් මුදුන්කොටුව යන මහත්ම මහත්මීන් ‌අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය වශයෙන් කටයුතු කරන ලදි.

සෝභානුරාවය 2024 ප්‍රසංගයට දායකත්වය ලබා දුන් අය සඳහා ඇගයීම් සම්මාන ප්‍රදානයද සිදු විය. විශෝධනලාභීන් ඇගයීමද මෙහිදී සිදු වූ අතර, සබරගමුව පළාත් ආණ්ඩුකාර නීතිඥ නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තලතා අතුකෝරළ, හිටපු කථානායක ‌දේශබන්ධු, කරූ ජයසූරිය, වැඩ බලන ‌පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, K. D. U. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සමන් උපසේන යන මහත්ම මහත්මීන්, රත්නපුර මැණික් ව්‍යාපාරිකයන්, පතල් හිමිකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මිතුරු මිතුරෝ සංසදය තුළින් පුනරුත්ථාපනය වූ ගායන ශිල්පී විරාජ් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ඇවලාන්ච් සංගීත කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සංගීතය සැපයූ අතර, සෝභානුරාවය 2024 ගායන තරගයේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා වූ ඉෂාර දිල්ශාන්ට ජයග්‍රාහී කුසලානය පිරිනැමීම අධිකරණ අමාත්‍යතුමා අතින් සිදු විය. දෙවන ස්ථානය සෙනේශ් සංකල්පට හිමිවූ අතර, තෙවන ස්ථානය අමිල උදාරට හිමි විය.

විනිශ්චය මණ්ඩලය සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීමද සිදු විය.

ප්‍රවීණ නිවේදක නජිත් මාතරගේ නිවේදන කටයුතු සඳහා දායකත්වය ලබා දී තිබුණි. ඇවලාන්ච් සංගීත කණ්ඩායමේ පළමු සංවත්සරය සැමරීම සහ ඔවුන්ගේ නවතම වීඩියෝව එළි දැක්වීමද මෙහිදී සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT