2012-01-27

 

සංවර භාවය ඇතිකර ගනිමු . . !

සංවර භාවය ඇතිකර ගනිමු . . !

අපි, තමන්ගේත්, අනුන්ගේත් සියළු දෙනාගේම යහපත පිණිස කටයුතු කිරීමට කියනවා ධර්මයේ හැසිරෙනවා කියල. එතකොට තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස, හිතන්න පුරුදු වෙනවා. තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වචන පාවිච්චි කරන්න පුරුදු වෙනවා. තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිසම මේ කය හසුරුවන්න පුරුදු වෙනවා. ඒකට තමා ධර්මයේ හැසිරීම කියල කියන්නෙ.

මේ විදියට, තම තමන්ගේ අභ්‍යන්තර ජීවිතය තම තමන් විසින් සකස්කර ගන්න ඕන. ඒ සදහා අපි කොහොමද හිතන්න ඕනේ ?

මම මටත් යහපත පිණිස, අනුන්ටත් යහපත පිණිස කටයුතු කරන්න ඕනෑ කියල හිතන්න. ඒකට තමන් කැමති වෙන්න.

එහෙමනම් තමාටත් අනුන්ටත් යහපත පිණිස කටයුතු කරන කෙනා ධර්මයේ තමයි හැසිරෙන්න ඕන. ඒ කියන්නෙ කුසල් වැඩෙන විධියට, කුසල් ඇතිවෙන විධියට අපි කටයුතු කරන්න ඕන. අකුසල් පිරිහෙන විධියට අපි කටයුතු කරන්න ඕන.

එහෙම කටයුතු කිරීමට අපි කියනවා සංවරවීම කියල. එතකොට ඒ සංවරවීම කායික වශයෙනුත් සංවර වෙන්න ඕන. වචනයත් සංවර කරගන්න ඕන. සිතත් සංවර කරගන්න ඕන. ඒ සංවරකම ඇතිකර ගැනීමෙන් තමයි මේ නිවන් මග ආරම්භ කරගන්න පුළුවන් වෙන්නෙ.

සංවරවීම පුරුදු නොවී නිවන්මඟ ගැන අපිට කතාකරන්න පුළුවන්කමක් නෑ. බොහෝ අය එකපාරට හිතෙන්නෙ මම සමාධිය හදාගන්නට ඕන, එහෙම නැත්නම් මාර්ගඵල හදාගන්න ඕන. ඇතිකර ගන්න ඕන. එහෙම නැත්නම් සෘර්ධි හදාගන්න ඕන. ඇතිකර ගන්න ඕන. මේ වගේ අදහස් එනවා සමහර අයට.

අපි ඉක්මනින් කළ යුත්තෙ මොකක්ද? සංවර බව ඇතිකර ගැනීමයි. කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියාවල සංවරභාවය ඇතිකර ගැනීම තමයි අපි මුලින් කළ යුත්තෙ. ඒ නිසා කය සංවර කරගන්ට, වචනය සංවර කරගන්ට පුරුදු වෙන්ට මුලින්. ඒ ඔස්සේම අපිට හිත සංවර කරගන්ට පුළුවන් කමක් තියෙනවා.

එතකොට මේ සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගැනීමෙන්ම නිවන් මඟට බැසගන්ට අපට පුළුවන්කම තියෙනවා. එතකොට අපි අන්න ඒ විධියට කටයුතු කළොත් අපිට අපේක්ෂා කරන්නට, ප්‍රාර්ථනා කරන්නට දෙයක් නෑ, සමාධිය ඇතිකර ගන්ට පුළුවන්කම තියෙනවා. මාර්ගඵල ඇතිකරගන්ට පුළුවන්වෙයි. ඉතින් බොහෝ පින්වත් අය හිටියොත් තවත් යම් යම් හැකියාවන් ඇතිකරගන්ට පුළුවන්කමක් තියෙයි. නැති වෙන්නෙ නෑ. අපි දන්නෙ නෑ ඒ ගැන.

අපි ඒ දේවල් ප්‍රාර්ථනා කරල වැඩක් තියෙනවද? අපිට ප්‍රාර්ථනා කරල ඒ දේවල් ගන්න පුළුවන් කමක් නෑ. එහෙමනම් අපි කළ යුත්තෙ කුමක්ද? සංවර භාවය ඇතිකරගන්න පුරුදු වීමයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!