මගේ පුතා උදුර ගත්ත
මගේ පුතා උදුර ගත්ත
කොළඹ බ්ලූමැන්ඩල් හි දුම්රිය හරස් මඟ අසලදී මල්ලවීර ආරච්චිගේ නාලක සුජිත් මරා දමා
දැන් මසකුත් ඉක්ම ගොසිනි. මේ වන විට එහි සැකකරුවන්ව මෝදර පොලිසිය හඳුනාගෙන සිටියි.
එහෙත් සැකකරුවන් නිවාස හැරදමා ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බැවින් මිනීමැරුමට හේතුව
හෙළිදරව් කර ගැනීම මෙතෙක් පමා වී තිබේ.
විසිහතර වියේ පසුවූ නාලක මුස්ලිම් ජාතික තරුණියක් විවාහ කර ගත්තද සිංහල ආරට ජීවත්වූ
කඩවසම් තරුණයෙකි. දෙදරු පියෙකි. දෙවතාවක්ම හිත හොඳකම නිසා අනුන්ගේ කෝන්තර වලට
බිල්ලක් වී තුවාල ලබා සිටි නාලක මරා දමද්දී සිටියේ පාදයක දැඩි ආබාධයකින් පෙළෙමිනි.
මෙවැනි අභාග්‍ය සම්පන්න සිද්ධිවලට මුහුණ දීමට ඔහුට හේතුවී තිබුණේ ත්‍රීරෝද රථ
කාර්මිකයකු වශයෙන් තම රැකියාව කරද්දීය. ඉහත දෙවතාවේදීම බොරැල්ල වනාත මුල්ලේ
දෙපිරිසක්ම ඔහුව මරා දමන බවට තර්ජනය කර තිබිණ. එහෙත් එම මරණ තර්ජන සහ නාලකගේ
ඝාතනයත් අතර සම්බන්ධකමක් ගැන මෙතෙක් අනාවරණය වී නැත.
මරා දැමූ දින රාත්‍රියේ නාලක බ්ලූමැන්ඩල් ප්‍රදේශයට ගිය බව කියන හේතුව දැන්
හෙළිදරව් වී තිබේ. ඒ ඊට දින කිහිපයකට ඉහතදී මිතුරකුට නාලක තමන්ගේ ජංගම දුරකථනය දී
තිබීමයි. මරා දමා තිබුණු දින රැයේ දුරකථනය ඉල්ලාගත් මිතුරා බ්ලූමැන්ඩල් පෙදෙසට
පැමිණි බව කියන්නේ එම දුරකථනය නැවත නාලකට දීමටය. ඒ වන විටත් ජංගම දුරකථනය ඉල්ලා ගත්
මිතුරා එය බ්ලූමැන්ඩල්හි පදිංචිකාරියක් වූ සොහොයුරියකට එය දී තිබුණු බව පැවසේ. නාලක
මිතුරා සහ හිතවතෙකු වන රියැදුරෙකු සමඟ ත්‍රීරෝද රියකින් එහි ගොස් තිබුණේ දුරකථනය
ලබා ගන්නටය. එය රැගෙන වැල්ලම්පිටිය වෙන්නවත්තේ නිවෙසට යන්නට සිතාගෙන ඔහු මිලදී ගත්
ආහාර පාර්සල් දෙකද ත්‍රීරෝද රථ රියැදුරාට දී ත්‍රීරෝද රථයෙන් පිටව ගොස් තිබිණි.
මාදම්පිටියෙන් එසේ ත්‍රීරෝද රථය නවත්වන්නට කියා නාලක මිතුරා සමඟ බැස යද්දී වේලාව
රාත්‍රී දහයට ආසන්නය. එහෙත් ඉක්මණින් දුරකථනය රැගෙන බිරියගේත් දරුවාගේත් මුහුණ
බැලීමට නැවත නිවෙසට යාමේ නාලකගේ බලාපොරොත්තුව ඉටුවීමට අපරාධකරුවෝ ඉඩ නොතැබූහ.
ජංගම දුරකථනය තම සොහොයුරියගෙන් ඉල්ලා දීමට කියමින් නාලක බ්ලූමැන්ඩල් ප්‍රදේශයට
කැඳවාගෙන ගිය මිතුරාද එතරම් යහපත් පැටිකිරියක් ඇති තැනැත්තෙකු නොවේ. ඔහුද අපරාධ
ගණනකට හිරබත් කෑ අයෙකි.නාලක හා ඔහු අතර මිතුදම එතරම් පැරණි නොවූ කෙටිකාලීන එකකි.
නාලකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ බ්ලූමැන්ඩල් පෙදෙසට ඇතුළු වූ මිතුරාගේ
වෙනත් කෝන්තරයකටදැයි සැක මතුවී ඇති එක් කරුණකි.
නාලකට උල් සහ මොට ආයුධ වලින් පහර දෙන විට ඔහු සමඟ එකට සිටි මිතුරා එම ස්ථානයේ
නොසිටි බව හඳුනාගෙන තිබේ. නාලක රැය පුරාම දහයකට වැඩි කැපුම් සහ තැලුම් තුවාල සහිතව
පණ අදිමින් වැටී සිට ඇත.
“නාලක මගේ ලොකු පුතා. මට සිටිය එකම පිරිමි දරුවාත් එයයි. එයා හරිම සැහැල්ලුවෙන්
සිටි අහිංසකයෙක්. කාත්එක්ක වුණත් පුතා ජීවත්වුණේ හරිම සහයෝගයෙන්මයි. ත්‍රීවිල් හදන
එක තමයි පුතා රස්සාවකට කළේ. ඒ නිසා පුතාට විවිධ තරාතිරමේ පුද්ගලයෝ ඇසුරු කරන්නට
වුණා. එයා රස්සාව කළ තැන්වලදී පිටස්තරයන් ඇති කරගත් ආරවුල්වලට අන්තිමේදී වන්දි
ගෙවන්නට සිද්ධ වුණේ මගේ පුතාටයි. එහෙම මිසෙක නාලක කවුරුත් එක්කවත් තරහෙන් හිටිය
කෙනෙක් නෙවෙයි. පව්කාරයෝ පුතා මගෙන් උදුර ගත්තා. අද මම ඉල්ලන්නේ අපරාධකාරයෝ අල්ලලා
නිසි දඬුවම් දෙන්න කියලා. එහෙම නීතියෙන් මිසක් වෙනත් පිළිසරණක් අද මට නැහැ. පුතාට
මේ අපරාධය කළ තැන ළඟ ළඟ ගෙවල් තියෙනවා. එහෙම තියෙද්දිත් අම්මේ අම්මේ කිය කියා මුළු
රෑම මගේ පුතා පණ අදිද්දී එක්කෙනෙක්වත් පොලිසියටවත් දන්වලා නැහැ. හිත උණුවෙන
එක්කෙනකුටවත් එදා මේ බව දැන්වූවානම් මගේ පුතා බේරගන්ඩ තිබුණා.”
නාලකගේ මව චන්ද්‍රාණි මහත්මිය ඉතාමත් දුක්බරව එසේ පවසන්නීය.
රැය පුරා ලේ ගලන තුවාල ඇතිව අඩපණව සිටි නාලකව බ්ලූමැන්ඩල් පොලිසියට හමුවන්නේ පසුදින
පෙරවරුවේ හයයි දහයට පමණය. ක්ෂණිකව රෝහල්ගත කළද රෝහල් ගත කර ටික වේලාවකින් ඔහු
මියගොස් තිබුණි.
නාලකට පහරදුන් තැන වැටී තිබී හිස්වැසුමක් සහ යකඩයක් හමුවිය. ඊට නුදුරින් තිබී
පාවහන් යුවලක්ද පොලිසිය සොයා ගත්හ. නාලක පැළඳ සිටිය බව කියන නමුත් මේ හිස් වැසුම සහ
පාවහන් ත්‍රීරෝද රථය පැදවූ මිතුරාගේ බව හඳුනාගෙන තිබේ. ත්‍රීරෝද රථ රියැදුරු
පවසන්නේ නාලක රථයෙන් බැස යන විට ඒවා ඉල්ලාගෙන ගිය බවය. එතැන තිබී හමුවු පාවහන්
නාලකගේ කකුල්වල ප්‍රමාණයට වඩා ලොකු ඒවාය. මේවා නාලක ගත්තේ එවේලේ ඔහු පැළඳ සිටි
පාවහන් කැඩුනු නිසා යැයි මිතුරා වැඩිදුරටත් කියයි. එහෙත් නාලක මරා දැමූ දින උදෑසන
නිවෙසින් පිටවෙද්දී පැළඳ ගොස් ඇත්තේ ශක්තිමත් අලුත්ම පාවහන් යුගලකි. එය එතරම්
ඉක්මණින් කැඩී ගියේද නොඑසේ නම් මේ පසුපස වෙනත් අබිරහසක් ඇද්දැයි මතුවී ඇත්තේ
සැකයකි.
නාලකගේ මළගමට සතිතුන පිරුණු ඉකුත්දා එදා නාලක රැගෙන එන්නට ගිය ජංගම දුරකථනය නාලකගේ
මවට ලැබී තිබේ. එය බොරුල්ල කනත්තේ පුතුගේ දේහය භූමදානය කළ තැන සොහොනට ගොස් සිටියදී
ඇයට රැගෙනවිත් දී ඇත්තේ එදා බ්ලූමැන්ඩල් දෙසට නාලක සමඟ ගිය මිතුරාගේ මාර්ගයෙනි.
එයින් එහා මෙහා වුණු ඇමතුම් හරහා මේ මිනීමැරුමට වැදගත් සාධක හෙළිවන්නටත් පුළුවන. ඒ
ඇතුළු පැති කිහිපයක් ඔස්සේ මෝදර පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවයි.
මෝදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුපුල් සෝමසිංහ, අපරාධ අංශයේ
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පද්මලාල්, උපපොලිස් පරීක්ෂක ඛාන් සමන්ත පොලිස් සැරයන්
27959 රංජිත් පොලිස් කොස්තාපල්වරුන් වන 66028 ජනක 2963 පි‍්‍රයදර්ශන 35758
වාසල,72919 වීරසිංහ 67117 දිනුක ආදීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
නුවන් මහේෂ් ජයවික්‍රම
|