2008-06-30

වෛද්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

ශල්‍යකර්මයකින් පසු සිසුවෙක් මිය යාමේ සිද්ධිය:

වෛද්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

පන්නිපිටිය ධර්මපාල විදුහලේ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ ලබා සිටි නුවන් මධුසංක නම් පාසල් සිසුවාගේ උඩ දත් පෙළේ ශල්‍ය කර්මයක් කිරීමෙන් පසු හදිසියේම මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ශල්‍යකර්මය කළ වෛද්‍ය හර්ෂ ජයසුන්දර මහතා ලබන ජුලි මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කිරීමට මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා පියවර ගත්තේය.

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. ආර්. පී. සමරනායක මහතා එම මියගිය පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර එකී පරික්‍ෂණයේදී එම දරුවා හට කරන ලද ශල්‍ය කර්මයෙන් ලේ ගැලීමක් සිදු වී ඇති බවට අධිකරණය වෙත සාක්කි ලබා දෙමින් දන්වා සිටියේය.

තවද එම පාසල් සිසුවාගේ ලේ අධික ලෙස වහනය වූ නිසා කම්පන තත්Àවයකට පත් වූ බවද තමා අවසන් නිගමනයට එමගින් එළඹි බවද අධිකරණ වෛද්‍යවරයා අධිකරණය වෙත තවදුරටත් දන්වා සිටියේය.

කොස්ගම බොරළුගොඩ ප‍්‍රදේශයේ පදිංචි ජී. ඒ. නුවන් මධුසංඛ නැමැති 17 හැවිරිදි පාසල් සිසුවා මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත.

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති එම පාසල් සිසුවාගේ වැඩිදුර පරීක්‍ෂණයේදී කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. ආර්. පී. සමරනායක මහතා සාක්කි දෙමින් මෙසේද පැවසීය.

මා 2001 වර්ෂයේ වෛද්‍යවරයකු ලෙස පත්වුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුව ලැබුවා. පසුව පශ්චාත් උපාධිය ලබා ගැනීම සඳහා 2005 කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කළා.

එදා සිට එම අංශයේ සේවය කරනවා. මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය මගේ 368 වැනි පරීක්‍ෂණයයි. වයස අවුරුදු 17ක පමණ පිරිමි ළමයාගේ ප‍්‍රතිකාර වශයෙන් පපුවට ඇතුල් කරන බටය සඳහා වූ කැපීමක්ද, ඉදිකටු වලින් විදීමත් ඇතිවී තිබෙනවා. ශල්‍ය කර්මය සඳහා කළ කැපුමක් හැරෙන්නට වෙනත් කිසිම තුවාලයක් නැහැ.

සිරුරේ පටල දිව මොලය සහ ගලනාලය ආමාශය සහ කුඩා බඩවැලේ මධ්‍යම ප‍්‍රමාණය ඉතා තද සුදු පැහැයෙන් යුක්තවිය.

පෙනහළු දෙකම සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා බර ඊට වඩා ගණකමින් පිහිටා තිබුණි. මෙම ළමයාව ශල්‍ය කර්මයන් තුනකට භාජනය කැර තිබෙනවා. ශල්‍යකර්මයෙන් පසුව ලේ ගැලීමක් සිදු වී තිබෙනවා.

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මෙම මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් දන්තායතනයේ දන්ත ශල්‍ය වෛද්‍ය හර්ෂ ජයසුන්දර මහතා ලබන ජුලි මස 29 දින අධිකරණය වෙත සාක්කි සඳහා සිතාසි නිකුත් කළේය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා