2009-05-19

ප‍්‍රභාකරන් ඉවරයි

ප‍්‍රභාකරන් ඉවරයි

පොට්ටු-සුසෙයි ඇතුළු කොටි නායකයෝ මරුට

චාල්ස් ඇන්තනීගේ සිරුර හඳුනා ගනී

දශක තුනක් තිස්සේ ශ‍්‍රී ලංකාවාසීන් බියවද්දමින් ජන ජීවිත බිලිගත් ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු සියලු කොටි නායකයන් හමුදා ප‍්‍රහාර හමුවේ මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

ප‍්‍රභාකරන් සමඟ මියගිය අය අතර මුහුදු කොටි නායක සුසෙයි හා බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන්ද සිටින බව අනාවරණය වී වෙයි.

හමුදා ප‍්‍රහාරවලින් මියගිය ත‍්‍රස්ත මළ සිරුරු 250 කට වැඩි ප‍්‍රමාණයක් ඊයේ (18) උදෑසන වනවිට වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇතැ’යි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

එම සිරුර අතර ප‍්‍රභාගේ පුත් චාල්ස් ඇන්තනී ඇතුළු තවත් කොටි නායකයන්ගේ සිරුරුද ඇති අතර ඒවා මේ වනවිට හඳුනාගෙන ඇතැයි යුද හමුදාව කීය.

කොටි නායක ප‍්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනිගේ මළසිරුර සමඟ කොටි පොලිස්පති ඉලංගෝ, දේශපාලන අංශ ප‍්‍රධානී නඩේෂන්, හා ඔහුගේ බිරිය, සන්නද්ධ අංශ නායක රමේෂ්, බුද්ධි අංශ නියෝජ්‍ය නායක කපිල් අම්මාන්, කොටි සාම ලේකම් කාර්යාලයේ ප‍්‍රධානී පුලිදේවන් හා සුදර්මන් ඇතුළු ත‍්‍රස්තවාදීන් පිරිසකගේ මළසිරුරුද ඊයේ (18) උදෑසන වෙල්ලමුල්ලවයික්කාල් ප‍්‍රදේශයේ දී යුද හමුදාව විසින් සොයාගෙන තිබේ.

මියගිය අය අතර සිටි නඩේසන් ගේ බිරියද කොටි සාමාජිකාවක ලෙස කි‍්‍රයාකළ අයෙකි. මේ සිරුරු සොයා ගැනුණු වෙල්ලමුල්ලිවයික්කාල් උතුරු ප‍්‍රදේශයේ අනාරක්ෂිතව ඇති වර්ග කිලෝමීටර් සියයක පමණ ප‍්‍රදේශයේ 53, 58 සේනාංක, විශේෂ බළකාය හා කමාන්ඩෝ බළකාය එක්ව ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින අතර මේ කණ්ඩායමේ ප‍්‍රහාරවලින් ප‍්‍රභාගේ පුතා ඇතුළු කණ්ඩායම මියගොස් ඇත.


ප‍්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනිගේ මළසිරුර

මියගිය ත‍්‍රස්තවාදීන් අතර සිටින සුදර්මන් නමැත්තා චාල්ස් ඇන්තනිගේ සමීපතම හිතවතකු බවද මොවුන් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ලකර පලායාමට උත්සාහකර ඇති බවද හෙළිව තිබේ.

කොටි නායකයන් හමුදා ප‍්‍රහාර හමුවේ මියගියේ ඔවුන් සතුව තිබූ සියලුම සම්පත් ද කොටි සංවිධානයට අහිමිකරගනිමින් බව හමුදා ප‍්‍රකාශකවරයා පැවැසීය.

ත‍්‍රස්තවාදීන් කෙසේවත් බලාපොරොත්තු නොවූ ආකාරයේ උතුරේ මානුෂීය මෙහෙයුම පුරා කි‍්‍රයාත්මක වූ යුද උපක‍්‍රම ත‍්‍රස්තවාදීන්ට දැවැන්ත පරාජයක් ලබාදීමට හේතුවිය. ඔවුන් අවසානයේ උත්සාහ කෙළේ සාමාන්‍ය ජනතාවගේ වෙස් ගෙන පලායාමට වුවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරේ ඔවුන් හඳුනාගැනීමට යුද හමුදාවට කිසිදු අපහසුවක් වී නැත.

කොටි නායකයන් සියල්ලම ඝාතනය කරමින් ත‍්‍රස්තවාදය අවසන්කර උතුරේ මානුෂීය මෙහෙයුම මේ ආකාරයෙන් ඉතා සාර්ථකව නිමාකිරීමට හැකිවීම නිසා උතුරේ බළ සේනාංකාධිපතිවරු සෙසු නිලධාරීන් ඇතුළු වීරෝදාර හමුදා භට පිරිස් අප‍්‍රමාණ සතුටකට පත්වී සිටින බවද කීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා