2008-12-03

මුම්බායි වලට ප‍්‍රහාරයක් එල්ල වෙතැයි

මුම්බායි වලට ප‍්‍රහාරයක් එල්ල වෙතැයි
අමෙරිකාව අනතුරු අඟවලා

සී. එන්. එන්. - ඒ. බී. සී. පුවත් සේවා කියයි

ඉන්දියාවේ මූල්‍ය අගනගරයවන මුම්බායි හි තරුපහේ හෝටල් හා ව්‍යාපාරික මර්මස්ථාන ඉලක්ක කැරගනිමින් මුහුදෙන් එල්ලවිය හැකි ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් අමෙරිකා බුද්ධි අංශ ඉකුත් ඔක්තෝබරයේදී ඉන්දීය සමගාමීන්ට අනතුරු අඟවා තිබී ඇති බව සී. එන්. එන් හා ඒ. බී. සී. පුවත් සේවා පෙරේදා වාර්තා කැර ඇත.

ඉකුත් පෙබරවාරියේදී අත්අඩංගුවට ගත් ලෂ්කර් කි‍්‍රයාකාරිකයකු ඔහුගෙන් ප‍්‍රශ්නකළ නිලධාරීන් හමුවේ සිය සංවිධානය මුම්බායිහි තරුපහේ හෝටල්වලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව අනාවරණය කැර ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් පතද වර්තා කැර තිබේ.

මුම්බායි සුපිරි හෝටල් හා ව්‍යාපාරික මර්මස්ථාන ඉලක්ක කැරගත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් මුහුදෙන් එල්ල විය හැකි බවට අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් ඉන්දීය බුද්ධි අංශයට අනතුරු අඟවා ඇත්තේ ඉකුත් ඔක්තෝබර් මස මැදදී බව නිර්නාමික අමෙරිකා බුද්ධිඅංශ නිලධාරියකු ප‍්‍රකාශ කැර තිබේ.

තවත් බුද්ධි අංශ නිලධාරියකු ටජ්මහල් හෝටලය ඇතුළු ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලවිය හැකි සුවිශේෂි ස්ථාන කීපයක් ගැනද සඳහන් කෙරී තිබුණු බව ප‍්‍රකාශිතය.

සී. එන්. එන්. වාර්තාවට අනුව මෙවන් අනතුරු ඇඟවීමක් අමෙරිකා බුද්ධි අංශයෙන් සිදුකැරුණු බවත්, වරක් නොව දෙවරක්ම සිදු කැරුණු බවත් ඉන්දීය ආරංචිමාර්ග තහවුරු කැර තිබේ.

ඉකුත් දා පුද්ගලයන් 172 නකු ඝාතනය වී තවත් 300 ක් තුවාල ලත් මුම්බායි ත‍්‍රස්ත ප‍්‍රහාරයට ත‍්‍රස්තයන් කණ්ඩායමක් පැමිණ තිබුණේ රබර් ඩිංගි බෝට්ටුවල නැගී මුහුදෙනි.

මේ අතර ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් ඒ. බී. සී. පුවත් සේවයට පවසා ඇත්තේ සිදුවිය හැකි මූදු ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් ලෂ්කර් -ඉ - ටයිබා ත‍්‍රස්ත සංවිධානයේ නායකයා සතු යැයි පැවසෙන පකිස්තාන ලිපිනයකට යොමුකළ චන්දු‍්‍රිකා දුරකතන ඇමතුමකට සවන්දීමට නොවැම්බර් 18 දා ඔවුනට හැකි වූ බවය.

මුම්බායි ප‍්‍රහාරයේ ත‍්‍රස්තයන් සතුව තිබුණු ජංගම දුරකතන පෙර ගෙවුම් සිම් කාඩ්පත් විමර්ශනයට ලක්කරන අමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් පකිස්තාන හා අමෙරිකානු සබඳතා කීපයක් ගැනද තොරතුරු සොයා ගෙන ඇතැයි වර්තාවේ. මේ එක් සිම් කඩ්පතක් අමෙරිකාවේදි මිලදී ගත්තක් ලෙසද සැලකී තිබේ.

මේ අතර හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත් වාර්තාවෙන් දැක්වුණු පරිදි පූර්ව අනතුරු ඇඟවුම් නොතකා තිබීම ජනතාව කුපිත කිරීමට හේතුවී ඇතැයිද පැවැසී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා