|
2008-06-29
චිත‍්‍රපට සංස්ථා හිටපු අධ්‍යක්ෂ ගේ කොටි සැලැසුම
චිත‍්‍රපට සංස්ථා
හිටපු අධ්‍යක්ෂ ගේ
කොටි සැලැසුම
තව විනාඩි පහක්
දෙන්න කියමින්
ඇය හොඳටම හැඬුවා
වැල්ලවත්ත බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන්නේ පුංචි යාපනය ලෙසිනි. ද්‍රවිඩයන් විශාල
පිරිසක් එම ප‍්‍රදේශයේ පදිංචි වි සිටීම ඊට හේතුව වී තිබේ. වැල්ලවත්ත පොලිස් වසමේ
සුපිරි නිවාස විශාල සංඛ්‍යාවක අයිතිකරුවන් වන්නේ ද්‍රවිඩයන් ය.
පසුගිය කාලපරිච්ඡේදයේදී වැල්ලවත්ත ප‍්‍රදේශයේ කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී පුපුරණ
ද්‍රව්‍ය ගිනිඅවි මෙන් ම එල්ටීටීඊ සාමාජිකයන් ද අත්අඩංගුවට ගැනිණි.
ඒ නිසා
වැල්ලවත්ත ප‍්‍රදේශයට පොලිස් ඇස නිතරම යොමුව තිබේ. ප‍්‍රදේශයේ බොහොමයක් නිවෙස්
හිමියන් තම නිවාස ඉතා විශාල මුදලකට ද්‍රවිඩ ජාතිකයන්ට කුලියට හා අත්පිට මුදලට
විකිණීම නිසා වැල්ලවත්ත අද බොහෝදෙනකු හඳුන්වනුයේ පුංචි යාපනය ලෙසිනි.
එම
පදිංචිකරුවන් බොහොමයක් වන්නි කිලිනොච්චි සහ මුලතිව් ආදි ප‍්‍රදේශවලින් දරු පවුල්
පිටින් පැමිණියවුන් වීම විශේෂයකි.
මොවුන් අතර එල්ටීටීඊ කි‍්‍රයාකාරීහු ගැවසෙති. රැඳී සිටිති. සැලසුම් කරති. ඒ නිසා එම
පොලිස් වසමේ පදිංචිකරුවන් සෑම දෙනකුම පොලිසියේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ. ඒ
සඳහා විශේෂිත වූ ඒකකයක් මෙන් ම සෝදිසි කිරීම් සඳහා පොලිස් පිරිසක් ද යොදවා සිටිති.
දෙහිවලට නුදුරු ප‍්‍රදේශයන්හි දුම්රිය තුළ පසුගියදා පුපුරා ගිය බෝම්බත් සමඟ
වැල්ලවත්ත කෙරෙහි නිලධාරීන්ගේ ඇස යොමු විණි.
ඒ අනුව කි‍්‍රයාකාරී වූ පොලිසිය නිවෙස්
සෝදිසි කිරීමකදී ලියාපදිංචි නොවූ ද්‍රවිඩයන් මෙන්ම සැකසහිත කිහිප දෙනෙක් ම ප‍්‍රශ්න
කිරීම සඳහා වැල්ලවත්ත පොලිසියට රැගෙන ආහ. පොන්රාසා ඉන් එක් අයෙකි. ඔහු පොලිසියට
ගෙනැවිත් තිබුණේ මාස තුනක් තිස්සේ ඔහු රැඳී සිටින බව පොලිසියට නොදන්වා සිටීම
හේතුවෙනි.
වැල්ලවත්ත බෙන්තරආරච්චි පෙදෙසේ පදිංචිව සිටි ‘පොන්රාසා’ ගැන නිලධාරින් අතර සැකයක්
ඇතිවූයේ ඔහු කිසිවක් නොදත් අයකු ලෙස හැසිරීමයි. ප‍්‍රශ්න කිරීම සඳහා කිරුලපන
පොලිසියට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් ද වැල්ලවත්ත අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත
කර තිබිණි.
‘පොන්රාසා’ නිකම්ම අත්නොහැරිය නිලධාරිහු නොයෙකුත් උපක‍්‍රම යෙදීමෙන් අනතුරුව පැය
කිහිපයකට පසු එක් වචනයක් ගත්තේ අසීරුවෙනි.
“ඔව් සර්... මං එල්ටීටීඊයේ පුහුණු වුණා... ඒත් මම මොකටවත් ගියේ නැහැ... මාව ඒ අය
බලහත්කාරයෙන් බංකර කපන්න දැම්මා...”
පොන්රාසා කීවේ එපමණකි. දැඩි පරිශ‍්‍රමයකින් හෙළිකරගත් ඒ තොරතුරු ඔස්සේ නිලධාරීහු
තවදුරටත් පරීක්ෂණ කළහ. පැය නවය දහය එකදිගට පොන්රාසා ගෙන් නොයෙකුත් දේ විමසද්දී
අවසානයේ ඔහු මරාගෙන මැරෙන කළු කොටියකු බව අනාවරණය විය.
‘පොන්රාසා’ මුලතිව් පදිංචි කරුවෙකි. කොටි සංවිධානයේ මරාගෙන මැරෙන පුහුණුව ලැබුවෙකි.
ඔහුට අයත් කාර්යබාරය වූයේ ප‍්‍රභූ ඉලක්කයකි.
වැල්ලවත්තේ නිවෙසක පදිංචිව සිටි මොහු
කාලයක් පොලිසියේ ලියාපදිංචි වී සිටි අයෙකි. තම ඉලක්කය සපුරා ගැනීමේ නියෝගය
ලැබෙනතුරු අවසන් මාස තුනක්ම පොලිසිය වෙත තොරතුරු ලබා නොදීමට ඔහුට සිදුවිණි.
“මම බ්ලැක්ටයිගර් ටේ‍්‍රනිං ගත්තා සර්... මගේ සයනයිඩ් එක කාමරේ තියෙනවා... සර්ලාට
මං ඒක දෙන්නම්...”
‘පොන්රාසා’ ගේ ප‍්‍රකාශය මත පොලිසිය විසින් ඔහු රැඳී සිටි නිවසේ තිබි එල්ටීටීඊය ඔහු
වෙත නිකුත්කර තිබු සයනයිඩ් කරල සොයාගන්නා ලදී.
තවදුරටත් ප‍්‍රශ්න කිරීමේදී ‘පොන්රාසා’ තමා ප‍්‍රභූ ඝාතනයක් සඳහා ඔත්තු බැලු අයුරු
ද පොලිසියට පවසන්නට වූයේය. හිල්ටන් හෝටලය අසල බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව සහ
කුරුඳුවත්ත ‘ඔඩෙල්’ රෙදිපිළි ආයතනය අසල ප‍්‍රභූ ඉලක්කය එනතුරු තොරතුරු එක්රැස්කොට
අදාළ නියෝජිතයන්ට ලබාදී තිබුණේය.
සයනයිඩ් කරල සොයාගත් පොලිසිය එම නිවෙස තවදුරටත් සෝදිසි කිරීමේදී නිවෙසේ කුස්සියේ
බිත්ති කුහරයක ජංගම දුරකථන දෙකක් හා හැඳුනුම්පතක් සඟවා තිබියදී සොයා ගත්තේය.
හැඳුනුම්පතේ තවත් නමක් සඳහන්ව තිබිණි.
“ඇත්ත කියාපන්... උඹ ටාගට් එකට ගියානම්... ඒකට යන්න කෝ උඹට බඩු...”
පොන්රාසා කළු කොටියකු බව හඳුනාගත් පොලිසිය අනිවාර්යෙන්ම ඔහු සතුව පුපුරණද්‍රව්‍ය හෝ
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් හෝ තිබිය හැකි බවට සැකකොට එය ලබාගැනීමට නොයෙකුත්
උපක‍්‍රම යොදන්නට විය. ඒත් ‘පොන්රාසා’ ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළේ එවන් දෙයක් තමන්ට
නොලැබුණු බව කියමිනි.
“එහෙනම් ඉතිං උඹට ආපහු පණපිටින් යන්න නම් හම්බවෙන්නේ නැහැ...”
අවසානයේ ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූයේ පුපුරණ ද්‍රව්‍ය කොටහේනේ කඩ කාමරයක සඟවා ඇති
බවට ඔහු ප‍්‍රකාශ කිරීමත් සමඟය.
“කඩේ අරින්නේ උදේ හතට සර්...”
පසුදා පහන් වන විට ම පොලිස් කණ්ඩායම සිවිල් ඇඳුමෙන් සැරසී කොටහේනේ අදාළ කඩය අසල
රැඳුණේ කිසිවකුටත් හඳුනාගත නොහැකි අයුරිනි. පවතින වර්ෂාව මෙහෙයුමට බාධාවක් වුවත්
පැමිණි කාර්යය කරනතුරු කාගේත් අවධානය යොමුවී තිබුණේ කඩය දෙසටය.
“කඩේ අරිනකම් එතනට යන්න නරකයි... කඩේ එකත් මේකට සම්බන්ධ ඇති... අපි එකපාරට පැන්නොත්
මිනිහා බඩුහංගන්න පුළුවන්...”
උදේ හත අට නවය වුවද කඩය විවෘත නොවිණි. නිලධාරීන්ට එතනින් වෙනත් කාර්යයක් සඳහා යෑමට
ද මෙය බාධාවක් විය. දහවල් දෙකට පමණ කඩේ ඉදිරිපස ලෑලි එක දෙක විවෘත වෙද්දී කාගේත්
සිත්වලට දැනුණේ සැනසුමකි. ගනුදෙනුකරුවන් ලෙස කඩයට ඇතුළුවූ ඔවුන් දුටුවේ එහි සිටි
මැදිවියේ පුද්ගලයෙකි. දෙමළ චිත‍්‍රපට පුවරු හා චිත‍්‍රපට වීඩියෝ රැසක් කඩයේ වූයේය.
“කෝ... බඩු...”
“මොන බඩුද... සර්... මං මේ චිත‍්‍රපට සංස්ථාවේ...” නිලධාරින්ට කිසියම් තැතිගැන්මක්
ඇතිවිණි. ද්‍රවිඩයකු වූ ඔහු චිත‍්‍රපටි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයකු බව කියමින්
සිය හැඳුනුම්පත් පෙන්වූයේය.
“කෝකටත් චෙක් කරලා බලමු...”
පොලිසියේ උපාය සාර්ථක විණි. සී4 වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ නවයහමාරක්, ඩෙටනේටර් සහ
බැටරි, ඇතුළු විනාශකාරී කි‍්‍රයා සඳහා යොදා ගැනෙන බඩුබාහිරාදිය පොලිස් අත්අඩංගුවට
පත්විණි. චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු යැයි තමා හඳුන්වාගත් පුද්ගලයා ද
තක්කුමුක්කු වී සිටියේය. දේවදාසන් කොටුවූයේ එලෙසිනි. තවදුරටත් කඩ කාමරය සෝදිසි
කිරීමේදී සොයාගත් කාන්තා ඇඳුම කාටත් ප‍්‍රශ්නයක් විය. ඊට හරිහැටි පිළිතුරක් නොදීම
නිසා දේවදාසන් ද පොලිසිය වෙත රැගෙන ගොස් ප‍්‍රශ්න කිරීම්වලට භාජනය කරන ලදී.
“ඒක තමයි සර්... කොටුවේ පුපුරුවාගත්ත කෙල්ලගේ ඇඳුම...”
නිලධාරීන්ට මෙය අදහාගත නොහැකි විණි.
“අර ස්ටේෂන් එකේ පුපුරුවාගෙන මැරුණු ගෑනිගේ...” නිලධාරියෙක් කතාව අදහාගත නොහැකිව
ඔහුගෙන් යළිත් ප‍්‍රශ්න කරන්නට වූයේය.
“ඔව්... සර්...”
ඉකුත් පෙබරවාරි මස තුන්වැනිදා කොටුව දුම්රිය පොළේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල
කළ ‘රාධා’ නමැති කොටි කාන්තාව හැඳ සිටි ඇඳුම මෙය විය. එම ප‍්‍රහාරයෙන් පාසල්
ශිෂ්‍යයන් ඇතුළු දොළොස්දෙනෙක් මරුමුවට පත්වූහ.
‘රාධා’ වව්නියාවේ සිට පෙබරවාරි තුන්වෙනිදා අලුයම කොළඹට පැමිණියේ දුම්රියෙනි. ඒ
දිනවල නිදහස් උත්සවය සඳහා කොළඹ පෙරහුරු පැවැත්වෙමින් තිබු අතර කොටින්ගේ උපාය වූයේ
එයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමය. “උඹට තියෙන්නේ... ආමි බස් එකකට පැනලා
පුපුරුවාගන්න...” කොටින් ඇයට දුන් නියෝගය එය විය. පෙරහුරු සඳහා සහභාගිවී යන එන
ති‍්‍රවිධ හමුදා හා පොලිස් නිලධාරින් රැගත් බසයක් විනාශ කිරීමෙන් නිදහස් උත්සවය
කඩාකප්පල් වන බවට කොටි සැක කළහ. රාධා කොළඹට ආවේ ඒ අනුවය. කොළඹ කොටුව දුම්රිය පොළේදී “ රාධා” වෙන අයකුගේ බාරයට පත් වූවාය. ඒ වනතුරු ජීවිතේ
කිසිම වතාවක් කොළඹට පැමිණි නොසිටි ඇයට එතැන් සිට ගුරුහරුකම් ලැබුණේ ඔහුගෙනි. ඒ
වනවිටත් රෑ බෝවී තිබූ නිසා “ රාධා” ට අවට ගැන එතරම් අවබෝධයක් නොතිබිණි.
දේවදාසන්ට දුරකථන ඇමතුමක් ලැබුණේ ඉන් අනතුරුවෙනි.
” උදේ දහයට කෙල්ල උඹේ කඩේට එවනවා. උදේ දහයට කඩේ ඇරපන්..එතනදි අවශ්‍ය බඩු දීල කෙල්ල
ටාගට් එකට යවපන් ..”
දේවදාසන් පසුදා උදේ දහයට කඩය විවෘත කොට ඇයගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේය. රාධා
කඩයට පැමිණි වහාම ඔහු කඩය යළි වසා ඇයට අවසන් උපදෙස් දුන්නේය.
” මෙතන තියෙනවා සුයිසයිඩ් කිට් එක උඹ ඕක ඇඳගෙන මේ නොම්මරේට කෝල් එකක් දීපන්
...එතකොට මං දොර අරින්නම් “
තමා සමඟ සිටි කෙනා අත තිබූ දුරකථනය ඇයට දුන් දේවදාසන් කඩය ඉදිරිපිටට වී කතාබහක නිරත
වූයේ කාටත් සැක නොසිතන ලෙසිනි. කාලය වේගයෙන් ගෙවී ගියේ පැයක්ද පසුකරමිනි.
”කෝ ..බං ඉවර නැද්ද ? ටික මොහොතකින් දේවදාසන් කඩයේ දොර පළුවක් විවෘත කළේ ඇය කුමක්
කරන්නේදැයි දැක බලා ගන්නා අටියෙනි. ඒ වනවිටත් ඇය පුපුරණ ද්‍රව්‍ය ඇට වූ ඇඳුම් ඇඟලා
ගෙන සිටියාය. ඇය ඉකි ගසා හඬන්නට වීම දේවදාසන්ටද ප‍්‍රශ්නයක් විය.
” මොනවා කරන්නද නංගී අපිට දෙන ඕඩර් එකනේ . උඹ අඬන්න එපා. ඉවසපන්. “
දේවදාසන් සමඟ සිටි තරුණයා ඇය සනසන්නට වූයේය.
”අයියේ මට තව විනාඩි පහක් දෙන්න. මට කෝල් එකක් ගන්න ඕනෑ “
එයටද ඉඩ ලැබුණි. ඇය කාටදෝ කතා කළේ හඬමිනි. එයද අවසන් විය. ඇය යළි ඔවුන් වෙත හැරුණේ
හිතට ධෛර්යද ගනිමිනි.
” මොකවත් පේන්නේ නැහැ නේද ..”
” හරි ..අපි යමු “
ඇය චැලි බයික් එකට නංවාගත් දේවදාසන් පොලිස් මුරපොළ මඟ හරවමින් ඇය ගෙනැවිත් පිටකොටුව
බැස්ටියන් මාවත පිටුපස පාරෙන් පැමිණ කුකුළු මස් කඩ පෙළ අසලින් බස්සවා ඇය නොපෙනී
යනතුරු මොහොතක් බලා සිටියේය .
ඇයට කොටුව දුම්රිය පොළ අමුතු තැනක් විය. ඒ ඇය කිසිදා කොළඹ නොපැමිණ නිසාය. ඇයගේ
ඉලක්කය හමුදා බස්රියක් වුවද දුම්රිය පොළේ සිටින පොලිස් හා හමුදා නිලධාරින් දුටු ඇයට
බියක් ඇතිවිය .
” කොටින්ම කියනවා නම් කෙල්ල කරකවල අතහැරියා වගේ ..එකී මුකුත් දන්නේ නැහැ. ආමි බස්
කොහෙන් යනවද දන්නේ නැහැ. බැරිම තැන කෙල්ල ස්ටේෂන් එක ඇතුළට ගිිහින් සෙනඟ ඉන්න තැන
පුපුරුවා ගත්තා. “
ඒ වන විට දේවදාසන් කොටහේනේ තම තාවකාලික කාමරයට පැමිණ සිටියේය .
”මෙන්න මේ දැන් ලැබුණු ප‍්‍රවෘත්තියක් මීට සුළු මොහොතකට පෙර කොටුව දුම්රිය පොළ
තුළදී මරාගෙන මැරෙන කෙල්ලක් “ දේවදාසන් කලබලයට පත් වූයේය. ඇයට දී තිබූ ‘ටාගට් ‘ එක
මෙය දැයි ඔහුට සැක සිතිණි. ඔහු තම ජංගම දුරකථනය ගත්තේ අදාළ අංශවලට කතා කිරිම සඳහාය.
දේවදාසන් ගේ කි‍්‍රයාකලාපය ගැන මෙලෙස තොරතුරු අනාවරණය වෙද්දී ඔහු කොළඹ එල්.ටී.ටී. ඊ
සන්නද්ධ අංශයේ ප‍්‍රබලයකු බවට පොලිසියට හඳුනාගත හැකිවිය. කොළඹ හත ප‍්‍රදේයේ
එල්.ටී.ටී. ඊ. කි‍්‍රයාකාරකම් මෙන්ම ප‍්‍රභූ ඝාතන සඳහා මරාගෙන මැරෙන කොටි
සාමාජිකයන් යොමු කිරීම මොහුගේ කාර්ය භාරය වී තිබූ බව පොලිසිය කියයි”
” එල්. ටී. ටී. ඊ.ය මුලින්ම දේවදාසන් විශ්වාස කරලා නැහැ. ඒ වන කොට මෙයා චිත‍්‍රපටි
සංස්ථාවේ අධ්‍යක්ෂකයකු ලෙස කටයුතු කරනවා.
” හරි අපි උඔට මිනිහෙක් එවනවා. උඹට පුළුවන් නම් බී. එම්. අයි. සී. එච්. එක වීඩියෝ
කරලා මෙයා අතේ එවපන්. “
දේවදාසන් කි‍්‍රයාත්මක විය. සිය නිල හැඳුනුම් පත උපයෝගී කර ගනිමින් බණ්ඩාරනායක
සම්මන්ත‍්‍රණ ශාලාවට ගිය ඔහු කිසිදු කරදරයක් නැතිව ශාලාවේ ඇතුළුවීම් පිටවීම් ඇතුළු
සියල්ල වීඩියෝ කළේය. ආරක්‍ෂක අංශ වලින් ඔහුට කිසිදු බාධාවක් එල්ල නොවිණි.
එල්.ටී. ටී. ඊ යට උවමනා වූයේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට පැමිණෙන ප‍්‍රභූවරයකු
ඝාතනය කිරීමය. එය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ වන්නට පුළුවන.
වීඩියෝ පටිය එල්.ටී.ටී ඊයට ලැබුණේය. ඒ දෙදහස් හතර පහ වසර තුළදීය. 2004 සිට 2006
දක්වා මොහු චිත‍්‍රපටි සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු විය.
2004 දී රාජ්‍ය නාට්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ
ශාලාවේය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට සහභාගි වීමට නියමිතව
සිටියාය. මේ බව එල්.ටී.ටී. යට දැනුම් දෙනු ලැබීය.
” හරි අපි උඹ මේ වැඩෙන් තමයි විශ්වාස කරන්නේ අපි එවන මිනිහා උඹ ඇතුළට අරගෙන ගිහින්
පෙන්නපන් “
දේවදාසන් සිය කාර්යය බාර ගත්තේය. එල්.ටී. ටී . ඊය එවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු
ඔහු සිය හැඳුනුම්පත උපයෝගී කර ගනිමින් සම්මන්ත‍්‍රණ ශාලාව කරා රැගෙන ගියේය. ඔහු
එතනින් නතර නොවීය. ජනාධිපතිනිය සිටි අසුනට පිටුපසින් එල්.ටී.ටී ඊ සාමාජිකයාද සමඟ
අසුන්ගෙන සිටින ඡායාරූපයක් ඔහු උතුරට යැව්වේ තමන්ට කළ හැකි “වැඩ” පෙන්වමින්ය.
එල්.ටී.ටී. ඊ නායකත්වය ඔහු විශ්වාස කළේ ඉන් පසුවය. ඒ අනුව සැළසුම් සකස් විය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රභූ රැස්වීමකදී අදාළ ඉලක්ක
ගැනීම අදහස වූයේය. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඔවුන්ගේ ඉලක්කය වූහ.ඊට කලින් ඔහු
පොලිසීයට කොටු විය.
“අපි ඔහුගේ කාමරය සෝදිසි කළා. එහිදී සොයාගන්නට ලැබුණා. අගමැතිවරයා සහභාගිවීමට
නියමිතව තිබූ උත්සවයකට මොහුට ලැබුණු ආරාධනා පත‍්‍රයක්...උත්සවය පැවැත්වීමට තිබුණේ
බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ...සමහර විට මොහුගේ මෙවර ඉලක්කය මෙය වෙන්න
පුළුවන්. “ පොලිස් ප‍්‍රධානියෙකු කීය.
” අපි ප‍්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. මෙයා ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා
ඝාතනය කිරීම සඳහාත් ඔත්තු බලලා තියෙනවා. මෙයාගේ රාජකාරිය තිබුණේ කොළඹ සීමාවේදී.
ඇමැතිතුමා පුවත්පත් හා කැබිනට් සාකච්ඡා සඳහා පොල්හේන්ගොඩ ප‍්‍රවෘත්ති
දෙපාර්තමේන්තුවට පැමිණි විටදී ඝාතනය සැළසුම් කිරීම ඉන් එකක්.
ඒ අතරතුර යොදවන ලද තවත් කණ්ඩායමක් විසින් ඇමැතිතුමා වැලිවේරියේදී ඝාතනය කළා. එතකොට
තමයි මෙයා දන්නෙත් මෙයාට අමතරව තවත් අය අදාළ ඉලක්කවල ඉන්නවා කියලා.” හෙතෙම තවදුරටත්
කීය .
ජනාධිපතිවරයා යන එන ගමන් බිමන් සොයන්නත් එල්.ටී.ටී. ඊයේ විශේෂ කණ්ඩායමක් යොදවලා
තියෙනවා. ඒ අතර මෙයාටත් ඒ තොරතුරු රැස් කරන්න උපදෙස් දී තියෙනවා”
කෙසේ වෙතත් මොහු මේ වන විට ප‍්‍රකාශ කර ඇති තොරතුරු සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වෙන බව
පොලිසිය කියයි. ද්‍රවිඩ චිත‍්‍රපට පිළිබඳ හසළ දැනුමක් ඇති මොහු චිත‍්‍රපට සංස්ථාව
තුළ ද්‍රවිඩ අංශයක් පිහිටුවීමටත් උත්සුක වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතික්ෂේප කළත් විජිත හේරත් මහතා අමාත්‍යවරයාව සිටි අවදියේ
ද්‍රවිඩ මන්තී‍්‍රවරයකු මාර්ගයෙන් චිත‍්‍රපටි සංස්ථාවට එක් වූ ඔහු ජනතා විමුක්ති
පෙරමුණේ කි‍්‍රයාකාරියකු ලෙස ද, කටයුතු කර තිබේ. මොහු සමග අත්අඩංගුවට පත් පොන්නරාසා
බෝම්බ සෑදීම පිළිබඳ පළපුරුද්දක් ලැබූ අයෙකු බවද කියැවේ. සැකපිට අත්අඩංගුවට පත්
මොවුන් තවත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ බව පොලිසිය විශ්වාස කරයි. මේ වන තුරු
ඔවුන් ඒ සම්බන්ධව කිසිවක් ප‍්‍රකාශ නොකරන බව පොලිසිය කියයි. එහෙත් පරීක්‍ෂණ දිගටම
කි‍්‍රයාත්මක කෙරේ.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ෂණ ඒකකය
හා කිරුලපන පොලිසියට අනුබද්ධිත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්‍ෂණ
පවත්වති.
පොලිස් පරික්ෂණ ඇසුරෙන් ලිපිය සැකසිණි.
කීර්ති මෙන්ඩිස්
|