අයවැය ගැන පක්ෂ විපක්ෂ අදහස් | දිනමිණ

අයවැය ගැන පක්ෂ විපක්ෂ අදහස්

ජයසිරි මුණසිංහ
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර
උපාලි කරුණාරත්න
අනුර ප්‍රේමලාල්

සියලු මත ලබාගෙන හදපු අයවැයක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න

ඉතාම හොඳ ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. සංවර්ධන අය වැයක් කියලත් කියන්න පුළුවන්. මේක මේ රටේ තත්ත්වයෙන් ගොඩ ගෙන සහන ලබාදෙමින් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. සියලු දෙනාගේම මත ලබාගෙන මෙවර අයවැය සකස් කර තිබෙනවා. 2015 අයවැය සකසන අවස්ථාවේ කලබලකාරී තත්ත්වයක් රටේ තිබු‍ණා. නමුත් අද වනවිට ආණ්ඩුව ස්ථාවර වී සිටින අවස්ථාවක කිසිඳු අපහසුවකින් තොරව මෙවර අයවැය සකසන්නට හැකිව තිබෙනවා.

මෙවර අයවඅයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අන් කවරදාටත් වඩා මුදල් වෙන්කර තිබෙනවා. දළ දේශීය නිෂ්පා‍දිතයෙන් සියයට 1.71ක් වෙන්කර තිබෙනවා. මුළු සෞඛ්‍ය ගත්විට සියයට 3.11 දක්වා ගමන්කර තිබෙනවා. පොරොන්දු වූ සියයට 3ක අගය ඉක්මවා ඉදිරියට ගොස් තිබෙනවා.

පොඩි මිනිසුන්ව පීඩනයට පත් කරලා

මන්ත්‍රී මහින්ද රාජපක්ෂ

සෑම ක්ෂේත්‍රයකම පොඩි මිනිසුන්ව පීඩනයට පත් කරන අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා 2017 අයවැය ගැන වැඩිදුරටත් මාධ්‍ය අදහස් දක්වමින් ජනතාවට කිසිඳු සහනයක් නැති මේ අයවැයේ සැබෑ ස්වරූපය ක්‍රියාත්මක වෙද්දි ජනතාවට දැනේවී. මේ අයවැයට එරෙහිව විරුද්ධව ඡන්දය දෙන බව පැවසු රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ජනතාවට ලණුවක් දී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට සහයෝගයක් දී ඇති බව ද පැවසීය. මේ අයවැය පිළිබඳව ජනතාව නිසි වේලාවේදි පිළිතුරුදෙයි යැයි ද කීය.

ජාත්‍යන්තර වෙළෙඳාම ජයගන්නා යෝජනා තිබෙනවා

ඇමැති කබීර් හෂිම්

වසර දහයක් පුරා බිදවට්ටා තිබු රටේ ආර්ථිකය තිරසාරව ගොඩනැඟිමේ යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් වී තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂිම් මහතා ප්‍රකාශ කෙළේය. 2017 අයවැය පිළිබඳව අදහස් දක්වමින් කතා කළ ඇමැතිවරයා දේශිය කර්මාන්ත නංවාලිම සමඟ ජාත්‍යන්තර වෙළෙදාම ජයගන්නා යෝජනා මෙන්ම රටේ වාණිජ ව්‍යාපාර පාඩු නොලබා පවත්වා ගෙන යාමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හදුන්වාදි ඇතැයි කීය. ජනපති ,අගමැති උපදෙස් මත රට නංවන අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවිම පිළිබදව සතුටුවන බවද කී ඇමැතිවරයා ජනතාවට පීඩාකාරි ණය බර පටවා නැති නිසා සහන හිමි වී ඇති බවද කීය.

පක්ෂ, පාට භේදයකින් තොර අයවැයක්

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක

පාසල් දරුවාගේ සිට සෑම අංශයක් සඳහාම මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා. ගොවියා, කර්මාන්තකරුවා, ධීවරයා, රජයේ සේවකයා, ආයෝජකයා ඇතුළු සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම අවධානය යොමු කර තිබෙනවා. වියදම් අවමකර තිබෙනවා. රටම පිළිගන්නා අයවැයක් වෙනවා. මෙය පක්ෂ, පාට භේදයකින් තොරව අගය කළ යුතු වෙනවා. සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව ජනතාවගේ සහන මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

එය මෙවර අයවැයෙන් ඉතාම පැහැදිලි වෙනවා. මේ ආණ්ඩුව බලයට පැමිණ ඉදිරිපත් කළ අයවැය තුළින් ජනතාවට විවිධ සහන රැසක් ලබා දෙන්නට සමත්ව තිබෙනවා.

උතුරු නැඟෙනහිර නිවාස ගැටලුවට අය වැයේ අවධානය

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

ඉතාම හොඳ අයවැයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙවර අය වැයෙන් අවධානය ‍යොමු තිබෙනවා. එය අගය කරනවා.මේ රටේ පාසල් දරුවන් සම්බන්ධයෙන් මෙවර අයවැයේ දී අවධානය යොමු කර තිබෙනවා.

එයත් අගය කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් අයවැයක් දෙස රටේම ජනතාව විශාල බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ අයවැය සම්බන්ධයෙන් ද ජනතාව විශාල අපේක්ෂාවන් තියාගෙන ඉන්නවා.

පොදු ජනතා අවශ්‍යතා ගැන  අවධානය යෙමුව තිබෙනවා

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

අපේ අමාත්‍යාංශය මඟින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වෙනුවෙන් අයවැයට අමතරව මුදල් වෙන් කර තිබෙනවා. හදබිම ආයතන වැනි ආයතන හරහා යම් යම් දේ කරන්න පුළුවන්. පොදුවේ ජනතාවගේ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර, දිඟු කාලීනව රට සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර, රට ණය බරින් මුදවා ගැනීම පිළිබඳව සිතා ඊට ප්‍රමුඛත්වය දී තිබෙනවා.

පසුගිය කාලයේ රජයේ සේවක වැටුප් විශාල ලෙස ඉහළ දැම්මා. ඒ අයවැයේ දී අනුමත කළ දෑ ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා.

අර්බුදයේ කැඩපතයි

අනුර කුමාර දිසානායක

මෙවර අය වැයෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙතෙක් මේ රජය අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ උද්ගත ආර්ථික අර්බුදයේ කැඩපතයි.ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න ජනතා අත්‍යවශ්‍ය භාණ්ඩමත බදු බර පැටවිම් කර තිබෙනවා.විවිධ බදු ක්‍රම තුළින් ජනතා සහනයන් වෙනුවට කප්පාදුවක් දක්නට තියෙනවා.මෙතෙක් පනවා තිබු බදු වෙනුවට අලුත් බදු පැනවීමක් කරලා තියෙනවා.

කාබන් බද්ධ අලුත් එකක්, රථ වාහන දඩ බද්ධ,මේ නිසා ආර්ථික අර්බුදයේ ගැඹුරුතම අවස්ථාව එනවා.විශ්‍රාම වැටුප් අරමුදල ඇතුළු අනෙකුත් අරමුදල් සුරාගෙන කෑමේ ප්‍රයත්නයක මුදල් ඇමැතිවරයා නියැලී තියෙනවා.අයවැය පියවන උපාය මාර්ග මේ තුළ නෑ.පසුගිය අයවැයෙන් දුටු ආර්ථික දැක්ම ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක් මේ තුළ නෑ. ගිය අයවැයෙන් වෙන් කළ මුදල් ප්‍රයෝජන ගත්තේ නෑ. එවා යළි හරවා ආවා රජයට ඕනෑ කලේ ඒක .මේ අයවැයත් ගියවර මෙන් තවත් හුදු ලියවිල්ලක් පමණයි.

රටේ සියලු අංශ ගැන අවධානය යොමු කළ අය වැයක්

ඇමැති සාගල රත්නායක

රටේ සියලු අංශ පිළිබඳව අවධානය යොමු කර ඉදිරිපත් කළ අය වැයක් ලෙස මෙවර අය වැය හැඳින්විය හැකි බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. රටේ ආර්ථිකය සහ ආයෝජන නංවන්න සුදුසු වැඩ පිළිවෙළක් මේ අයවැය තුළ තිබෙනවා. රටේ ආර්ථිකය තුළ විප්ලවීය වෙනසක් ඇති කරන්න පුළුවන් වැඩ පිළිවෙළක්ද මේ අයවැය තුළ තිබෙනවා. ඒ වගේම රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහාද වැඩි අවස්ථාව ලබාදී තිබෙන බවද ඇමැතිවරයා කීය.

ජනතා බලාපොරොත්තු මේ අය වැය තුළ නෑ

මන්ත්‍රී විමල් වීරවංශ

ජනතාව බලාපොරොත්තු වු කිසිඳු සහනයක් මේ අය වැය තුළ නැති අතර බදු වැඩි කොට අය කිරීම පමණක් සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක් වු වීරවංශ මහතා මෙසේ පැවසීය.මෙම අයවැය ඉදිරිපත් කරන කොට අට වම්බටු නව සුංගම් කියලා කියන්න පුළුවන් වේවි කියලා හිතුවා .නමුත් ඒක එහෙම නොවේ. අටවම්බටු කියන්නේ වම්බටු ජාති අටයි. නව සුංගම් කියන්නේ බදු වර්ග නවයයි. මෙහි අර්ථය දීලා අටක් නවයක් බදු ගන්නවා කියලයි .නමුත් මේ අයවැය පිළිබඳ කියන්න තියෙන්නේ නොව වම්බටු එහෙත් නව සුංගම් කියලයි.

අයවැය ගැන සුබවාදීව බලන්න

මුදල් ඇමැති රවී කරුණානායක

මෙය සුබවාදී අයවැයක් වෙනවා. රුපියල් 50,000 ට අඩු ආදායමක් ලබාන කිසිවකුට වැඩි බදු අය කිරීමක් නැහැ. අයවැයක් ලෙස බාධා ඇති නොවන ලෙස මෙය ඉදිරිපත් කර තිබෙනවා. සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම හොඳින් අවධානය යොමුකර තිබෙනවා. විවිධ පිරිස්වලට මේ සම්බන්ධයෙන් විවේචන තිබෙන්න පුළුවන්. ‍නමුත් මෙවර අයවැය ඉතාම හොඳ අයවැයක් වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. පීඩාවට පත්ව සිටි අයට සහනයක් දීම අවශ්‍ය වෙනවා. අපි ඒ සහනය ලබාදී තිබෙනවා.මේ අයවැය සම්බන්ධයෙන් සුබවාදීව බලන ලෙස ඉල්ලනවා.

තාක්ෂණයට විද්‍යාවට මුල්තැන දී තිබෙනවා

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න

පසුගිය දශකයේ තිබුණ ආර්ථික පිළිවෙත සහ අපේ ආර්ථික පිළිවෙත අතර විශාල වෙනසක් තිබෙනවා. අපේ ආර්ථික පිළිවෙත සමාජයීය ආර්ථික පිළිවෙතක් ගොඩනැඟීම වෙනවා. එහිදී මුල්තැන ලබාදෙන්නේ මානව සම්පතට බව කියන්න කැමැතියි. අද ඉදිරිපත් කරන ලද අයවැයෙන් එය පැහැදිලි වෙනවා. පාසල් දරුවන්ට රක්ෂණ ක්‍රමයක් දී තිබෙනවා. මීට පෙර ඉතිහිසයේ කිසිඳු දවසක එවැන්නක් සිදුවී නැහැ. සනීපාරක්ෂක පහසුකම් අවම පාසල් 1000කට එම පහසුකම් ලබාදෙන්නට මුදල් වෙන්කර තිබෙනවා. තාක්ෂණයට විද්‍යාවට මුල්තැන දී තිබෙනවා. පරිගණක පහසුකම් දෙන්න පියවර ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලවලට යන පිරිස ඉහළ නංවන්න පියවර ගෙන තිබෙනවා. විශ්වවිදයාලවලට නොයන දරුවන්ටත් අධ්‍යාපනය ලබාගන්නට සහන ක්‍රමයකට ණය ලබාදෙන්න කටයුතුකර තිබෙනවා.

නව අදහස දක්වන්න