සෙනෙවිරත්න රතු ජීප් රථයට වෙඩි තබනවා දුටුවා | දිනමිණ

සෙනෙවිරත්න රතු ජීප් රථයට වෙඩි තබනවා දුටුවා

කුමුදු හෙට්ටිආරච්චි
ඉෂාරා සිල්වා

සෙනෙවිරත්න අතේ වූ කලු පැහැති බෑගය ඔසවා රතු පාට ජීප් රථයට වෙඩි තබනවා දුටු බවත් වෙඩි තැබූ පසු බෑගය එම ස්ථානයේ බිම දමා දුවවිත් යමු යමු කියා තමා පැමිණි යතුරු පැදියේ පිටුපසින් ඔහු වාඩි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේදී දෙවැනි දිනටත් සාක්කි දුන් ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ප්‍රීති විරාජ් මනම්පේරි ඊයේ (24) පැවසීය.

එදින තමා පැදවූ පල්සර් වර්ගයේ යතුරු පැදිය ගංගාරාමය අසල වූ නාවික හමුදා බුද්ධි කාර්යාලයේ කාමරයක් තුළ ග්ලයින්ඩරයක් වැනි එකකින් කැබලිවලට කපනවා පසුදින උදේ තමා දුටු බවත් එම යතුරු පැදි කොටස් ගැන පසුව විමසීමේදී එම කොටස්, මුහුදට දැමූ බව ප්‍රසාද් පවසා සිටි බවත් සාක්කිකරු ඊයේ (24) වැඩිදුරටත් පවසා සිටියේය.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ විශේෂ ජූරි සභාවක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

2006 නොවැම්බර් මස 09 වැනිදා හෝ 10 වැනිදා අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි ‍පොලිස් නිලධාරී ලොකුවැල්ල මුරගේ ලක්ෂ්මන් යන අයව වෙඩි තබා ඝාතනය කිරීම, ඒ සඳහා අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 05ක් යටතේ විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුවේ 01, 05 හා 06 වන විත්තිකරුවන්ගෙන් පලනිසාමි සුරේෂ් නොහොත් සාමි මිය ගොස් ඇති අතර සිවකාන්තන් විවේකානන්දන් නොහොත් චතුරන් හා ෆේඩියන් රොයිස්ටන් යන අය අතුරුදන්ව ඇති බැවින් එම විත්තිකරුවන් නොමැතිව මෙම නඩුව විභාගයට ගැනේ.

හිටපු නාවික හමුදා නිලධාරීන් වන හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර, දිලිවලගෙදර ගාමිණී සෙනෙවිරත්න හා කම්කානම්ලාගේ ප්‍රදීප් චාමින්ද නොහොත් වජිර යන විත්තිකරුවන් නඩු විභාගය සඳහා බන්ධනාගාරය මගින් ඊයේ(24) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද විත්තිකරුවනට එරෙහිව ඇති චෝදනා ඇති බැවින් එම පනතේ ප්‍රතිපාදන මත මෙම විත්තිකරුවන් තිදෙනා නඩු විභාගය අවසන් වෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නීතිපතිවරයාගේ කොන්දේසි සහිත සමාව ලද මෙම ඝාතන සිද්ධියට සක්‍රීයව දායක වූ ප්‍රීති විරාජ් මනම්පේරි නමැති නඩුවේ පළමු සාක්කිකරුද නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර වැඩිදුරටත් සාක්කි මෙහෙයවීම සඳහා ඔහුද බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීම මත දෙවැනි දිනටත් අධිකරණය හමුවේ සාක්කි දෙමින් ප්‍රීති විරාජ් මනම්පේරි මෙසේද පැවසීය.

මා නොවැම්බර් 10 වැනිදා උදේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයෙන් පල්සර් වර්ගයේ යතුරු පැදියෙන් බොරැල්ල කනත්ත ළඟට ගියා. මා තනිවමයි ගියේ. බොරැල්ල කනත්තේ කිතුල්වත්ත පාර කියන දෙසට මා ගියේ පෙර දින සාමි පැවසූ පරිදියි.

කියූ පරිදි එතැනට සාමි ඇවිත් සිටියේ නැහැ. පසුව මගේ ජංගම දුරකථනයෙන් සාමිට ඇමතුමක් ගත්තා.මම ඇවිත් ඉන්නෙ කෙහෙ‍ද ඉන්නෙ කියා ඇසූවිට මේ ළග ඉන්නෙ කියා සාමි කීවා. මා පසුව එතැනම සිටියා.

පසුව සාමි එතැනට ආවා. සාමි ආවෙ ත්‍රීවීල් රථයකින්. සාමිත් එක්ක තුන් හතර දෙනෙක් ත්‍රීවීල් රථයෙන් එතනට ආවා. ඔවුන් මා දන්නා හඳුනන අය. සාමි, චැරම්, හුසේන්, නිශාන්ත හා තවත් පුද්ගලයෙක් ත්‍රීවීල් රථයෙන් ආවෙ. හුසේන් මා මීට පෙරත් දැක තිබෙනවා. හුසේන් කරුණා පාර්ශ්වයේ කෙනෙක් ලෙසටයි මා හඳුනන්නෙ. ඔහු මුලින් සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ. බුද්ධි අංශ කටයුතුවලදී මට ඔහු හමුවෙනවා. හුසේන් මෙම අධිකරණයේ නැහැ.

පොඩ්ඩක් ඉන්න කියා සාමි කියූ නිසා එතැන විනාඩි 10ක් පමණ රැඳුණා. ඒඅතරතුර ත්‍රීවීල් රථ දෙකකින් වජිර, ප්‍රසාද්, සෙනවිරත්න, මෙන්ඩිස් යන අය පැමිණියා.

වජිර, ප්‍රසාද් හා සෙනෙවිරත්න එදා ත්‍රීරෝද රථයෙන් පැමිණි අය මේ විත්ති කූඩුවේ සිටින විත්තිකරුවන් තිදෙනායි.

ප්‍රසාද් කියන දෙවන විත්තිකරු මට කියුවා මාතා පාර පහුකරල මීටර් 40 – 50 පමණ දුරින් යතුරු පැදිය නතර කරන් ඉන්න කියලා. මාතා පාරෙන් එල්.ටී.ටී.ඊ නායකය එනවා කියුවා. වැඩේ ඉවර කළාට පස්සෙ මට ගංගාරම බුද්ධි අංශ කාර්යාලයට යන්න කිව්වා. ඒ අනුව මම මාතා පාර පසුකරල පේමන්ට් එක උඩ යතුරු පැදිය නතර කරන් සිටියා. එවලේ මගෙ අතේ හෙල්මට් එකක් තිබුණා. අනිත් හෙල්මට් එක මා පැලඳ සිටියා. ඒ හෙල්මට් දෙක මට ලැබුණෙ පෙර දින සාමිගෙන්.

මෙම විත්තිකරුවන් තිදෙනා ත්‍රීවීල් එකෙන් බහින විට සෙනවිරත්න කියන විත්තිකරු අතේ කළු පාට බෑග් එකක් තිබුණා.ඒ බෑග් එක නැවත දුටුවොත් මට හඳුනාගත හැකියි.

මා මාතා පාරේ පේමන්ට් එකේ යතුරු පැදිය නතර කරගෙන පැය ½ක්විතර හිටියා. මා යතුරු පැදියේ උඩ වාඩි වෙලා ඉන්න කොට මට පිටුපසින් වෙඩි ශබ්දයක් ඇසුණා. ඒ සමගම මා මාතා පාරේ ආපු රතු පාට ජීප් රථයට වෙඩි තබනවා දුටුවා. ඒ ජීප් එකට වෙඩි තැබුවෙ සෙනෙවිරත්න කියන පුද්ගලයා. වෙඩි තියන්න විනාඩි තුනක් වගේ ගත වුණා. එක පාර උණ්ඩ තොගයක් පිටවන ආකාරයටයි වෙඩි තැබුවෙ. කොහොම වෙඩි තැබුවද කියා මා හරියට නොදැක්කත් වෙඩි තැබීමට ඉලක්ක වුණේ රතු පාට ජීප් රථයයි.

සෙනෙවිරත්න කළුපාට බෑග් එක උස්සල වෙඩි තිබ්බෙ. පසුව එය එතැන දාලයි බයිසිකලයට නගින්න දුවල ආවෙ. ඒ වන විට මා පොලිස් දෙපාර්තමේන්තුවේ දස වසරක සේවා කාලයක් සපුරා තිබුණ නිසා ටී - 56 අවියකින් ඒ වෙඩි තැබීම සිදු කළ බව ශබ්දයෙන්ම හඳුනා ගත්තා. උතුරු නැ‍ඟෙනහිර මා සේවය කරන විට ටී 56 ගිනිඅවි ශබ්දය මට හොඳට හුරුයි.

වෙඩි තැබූ පුද්ගලා දුවගෙනවිත් මගේ යතුරු පැදිය පිටුපස වාඩි වී යමු යමු කියා කීවා. මගේ අතේ වූ හෙල්මටයත් ඔහු දා ගත්තා. මම කොහෙටද යන්නෙ කියා විමසූ විට අපේ ගංගාරාම පැත්තෙ ඔෆීස් එකට යමු කියා පැවසුවා. මම නාරාහේන්පිට දෙසට ගිහින් කලබලෙන් හදිසියෙන් යතුරු පැදිය පදවන් ගියා.

මම සෙ‍නවිරත්නගෙන් ඇහුව මොකක්ද ඒ කළේ කියල. උඹට වැඩක් නැහැ යමං කියල ඔහු මට කීවා. ඒ වන තෙක් මේ ඉලක්කය කාටද කියා මා දැන සිටියෙ නැහැ. පසුව ගංගාරාම බුද්ධි අංශයට මා සෙනවිරත්නව රැගෙන ගියා.යතුරු පැදියත් මා සෙනෙවිරත්නට බාර දුන්නා. පසුව මා අරලියගහ මන්දිරයට ගියා.

වෙඩි තැබීම සිදුවනවිට උදේ 8.00ට විතර ඇති. පාරෙ වාහන හා සෙනඟ සිටියා.

අරලියගහ මන්දිරයට ගිය පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොද්‍රිගු මහත්තය මට කියුව ඔහුගේ වාහනය සුද්ද කරන්න කියල. එවලෙ වාහනේ රේඩියෝව ක්‍රියාත්මක කරල තිබුණේ. එහි විශේෂ ප්‍රවෘත්තියක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා මහතා නාරාහේන්පිට දී ඝාතනය කළ බව පැවසුවා. රේඩියෝවෙන් එම ප්‍රවෘත්තිය ලැබීමට පෙර ඝාතනය කළේ කවුද කියල මම දැන සිටියේ නැහැ.

මේ සිද්ධියට පෙර මා රවිරාජ් මහතා මුණ ගැසී නැති වුවත් ඔහුගේ විස්තර දැන සිටියා. ඔහු ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ජනමාධ්‍ය මගින් ඔහු දැක තිබෙනවා. රවිරාජ් මහතා සමඟ මගේ කිසිදු අමනාපයක් නැහැ. මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වන්නත් මට හේතුවක් තිබුණෙ නැහැ.

මේ ඝාතන සිද්ධියට පසු දින මා උදේ 10.30ට විතර නාවික බුද්ධි අංශයට ගියා. එහි සෙනෙවිරත්න, ප්‍රසාද්, වජිර ඇතුළු පිරිසක් සිටියා. වෙඩි තිබ්බෙ රවිරාජ් මහත්තයට නේද කියල ඇසූ විට උඹට වැඩක් නෑ කට පියාගෙන ඉඳින් කියල ප්‍රසාද් පැවසුවා. පසුව මා නැවත අරලියගහ මන්දිරයට ගියා.

පසුදා උදේ බුද්ධි අංශයට යන විට එහි වම් අත පැත්තෙ කාමරයක මා පැදවූ යතුරු පැදිය කෑලි කෑලිවලට කපල තිබෙනව මා දුටුවා. මේ විත්තිකූඩුවේ සිටින විත්තිකරුවන් හා දෙමළ අය දෙදෙනෙක් මේ බයිසිකලය කපන තැන සිටියා. ග්ලයින්ඩරයක් වැනි එකකින් මේ යතුරු පැදිය කැපුවෙ. පසුව මා ප්‍රසාද් යන අයගෙන් යතුරු පැදිය ගැන විමසූ විට ඔහු පැවසුවා ඒ කෑලි මුහුදට දැම්ම බව.

මේ සිද්ධියෙන් පසුත් මා ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුද්‍රිගු මහතා යටතේ සේවය කළා. මේ සිද්ධිය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හෝ කිසිවකුට දැනුම් දුන්නෙ නැහැ. මේ ඝාතනය ගැන කිසිවෙකුටත් පැවසුවොත් මා ඝාතනය කරන බව පැවසූ නිසයි ඒ ගැන කිසිවෙකුට නොකියුවෙ.

මේ යතුරු පැදියෙ පිටුපස සවිකර තිබූ අංක තහඩුව වෙනස් කර තිබුණෙ. එය ව්‍යාජ අංක තහඩුවක්.

මඩකලපුව පැත්තෙ එල්.ටී.ටී.ඊ, කඳවරුවලට ගහන්න යද්දි මා යතුරු පැදි පැද තිබෙනවා. ඒ නිසා සාමි මේ කටයුත්තට මාව යොදාගන්න ඇති කියා සිතනවා.

2015 මාගෙන් රහස් පොලිසිය කටඋත්තරයක් ගත්තා. මා මීට පෙර නීතිය හමුවේ කිසිත් හෙළි නොකළේ කරුණා පාර්ශ්වයෙන් හෝ වෙනත් කවුරු ‍හෝ මා ඝාතනය කරයි යන බියටයි.

මා මහේස්ත්‍රාත්තුමියක් ඉදිරියේ මේ සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා දුන්නා. සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරය මා ප්‍රකාශ කර සිටියා. එම ප්‍රකාශයෙන් පසු නීතිපතිතුමාගෙන් මට නිවේදනයක් ලැබුණා. මට කොන්දේසි සහිත සමාවක් ලබාදෙන බව ප්‍රකාශ කර සිටි නිසා මා ඊට එකඟව කොන්දේසිවලට අත්සන් කළා. මේ කටයුතු සිදු කළේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

මේ සිද්ධියෙන් පසු දෙවරක් බුද්ධි අංශයේදී සාමි මුණ ගැසුණා. නමුත් චැරම් අද වෙනතුරු මුණ ගැසුණෙ නැහැ.ඉන් පසු සාමිවත් මට මුණ ගැසුණෙ නැහැ.

මේ අවස්ථාවේ නඩු භාණ්ඩ ලෙස මුද්‍රා තබා ඇති පාර්සලයක් අධිකරණ, අවසරය මත විවෘත කරන ලදී. එහි වූ කළු පැහැති බෑගයක් සාක්කිකරු හට පෙන්වා සිටියි.

නඩරාජා මහතාට වෙඩි තැබීමට සෙනෙවිරත්න යන අය පාවිච්චි කළ බෑග් එක මේ වගේ එකක් බව බෑගය පරීක්ෂා කරමින් සාක්කිකරු පැවසීය. තවද මේ බෑගයේ වම් පැත්තට වන්නට සිදුරක් තිබෙන බවත් බෑගයේ බැජ් එකක් තිබෙන බවත් හා එහි කාල්ටන් ඉන්ටර්නැෂනල් ලෙස සඳහන්ව තිබෙන බවත් සාක්කිකරු පැවසීය.

විත්තියේ නීතිඥවරුන් අදාළ බෑගය පරීක්ෂා කිරීම සඳහා කළ ඉල්ලීම මත අධිකරණ අවසරය මත එම බෑගය විත්තියේ නීතිඥවරුන් වෙතද ලබා දෙන ලදී.

අධිකරණ අවසරය මත ජූරි සභිකයන් විසින් ද එම බෑගය පරීක්ෂා කරන ලදී.

දිවා විවේක කාලයෙන් පසු නඩු විභාගය ආරම්භ කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීම මත සාක්කි දුන් සාක්කිකරු මෙසේ ද සඳහන් කළේය.

සෙනෙවිරත්න ත්‍රීවීල් රථයෙන් බෑගයත් අරන් බැස්ස තැනින් ඇතුළට වන්න තමයි මේ වෙඩි තැබීම සිදු කළේ. රතු පාට ජීප් රථය මාතා පාරේ සිට ප්‍රධාන පාරට දාන විටයි වෙඩි තැබීම සිදු වුණේ. වෙඩි මැද්දේ ජීප් එක ඉදිරියට ආවා.

ද්‍රවිඩ පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදන් කළ බව හා වෙනත් නඩු කිහිපයක් සම්බන්ධව අධිකරණ කිහිපයක මට එරෙහිව නඩු පවතිනවා.

සාක්කිකරුගෙන් පැමිණිල්ලේ සාක්කි මෙහෙයවීම ඉන් අවසන් විය.

විත්තියේ හරස් ප්‍රශ්න සඳහා වැඩිදුරටත් විභාගය අද (25) කල් තැබුණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ අනුජ ප්‍රේමරත්න, රසික බාලසූරිය යන මහත්වරු සමඟ නීතිඥවරු මඩුල්ලක් පෙනී සිටියහ.

රජයේ නීතිඥ විරාජ් නානායක්කාර මහතා හා ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සුහර්ශි හේරත් ජයවීර මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා නඩුවේ පැමිණිල්ල මෙහෙය වූහ.

නව අදහස දක්වන්න