සුළඟින් වාවින්න පරගහකැලේ නිවාස 25කට හානි | දිනමිණ

සුළඟින් වාවින්න පරගහකැලේ නිවාස 25කට හානි

පියසේන වතුදුර දිගාමඩුල්ල සංචාරක

නාමල්ඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වාවින්න පරගහකැලේ ගම්මාන හරහා 17 වැනිදා සවස හමා ගිය සුළි සුළඟක් නිසා නිවාස 25කට පමණ හානි සිදු වී ඇත. 17 වැනිදා සවස 4.30ට පමණ චණ්ඩ මාරුතයක් සමඟ පැය එක හමාරක් පමණ ඇද හැළුණු මහ වැස්සත් සමඟ මේ හානි වූ නිවාසවල පදිංචිව සිටින අයට බලවත් අපහසුතාවකට ලක් වීමට සිදු වුණා .

වාවින්න සහ පරගහකැලේ අතර කි.මී. 04ක පමණ පරතරයක් හරහා මේ සුළඟ සහ වැස්ස බලපෑ බව ගම්වාසීහු පවසති.

සුළගේ වේගය නිසා නිවාසවල වහල ගලවාගෙන ගොස් ඇති අතර විශාල මාරගස් සහ කුඹුක් ගස්වල අතු ගැලවී ගොස් විදුලි සහ දුරකතන රැහැන් කැඩී ගොස් ඇති අතර එම අවස්ථාවේ සිට මේ වනතුරු විදුලිය සහ දුරකතන අක්‍රියව පවතී.

වාවිව්ව මංගලාරාම විහාරස්ථානයට ද ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී අලාභ සිදු වී ඇත.

අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී සිසිර ධර්මසිරි මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් ද , නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත පුෂ්පකුමාර මහතා සහ උප සභාපති එල් ආරියදාස මහතා ද සිදු වී ඇති අලාභ හානි පිළිබඳව සොයා බැලීමට 18 වැනිදා උදේ එම ගම්මානවලට ගොස් සිටියහ.

මේ අලාභ හානි සිදු වූ ගම්වාසීන්ට නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමට අදාළ ආයතන සමඟ සාකච්ඡා කර කටයුතු යොදන බව නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත පුෂ්පකුමාර මහතා පැවසීය.

අම්පාර මහ දිසාපති තුසිත පී. වනිගසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී මේ ගම්මාන වලට සුළඟින් සිදු වී ඇති අලාභ හානි පිළිබඳව මේ වන විට නිලධාරීන් පරීක්ෂා කරමින් සිටිනවා. සිදු වී ඇති අලාභ හානි තක්සේරු කර විනාශ වු නිවාසයක් වෙනුවෙන් උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25 ක් ගෙවනවා . සිදු වී ඇති අලාබය තක්සේරු කරනු ලැබු වහාම වන්දි ගෙවීමට සියලු කටයුතු සුදානම්යැයි ද මහ දිසාපතිවරයා පැවසීය.

 

නව අදහස දක්වන්න