උතුම් දළදා සමිඳු සෙවණේ මගේ මවුබිම සදා රැකුණේ | දිනමිණ

උතුම් දළදා සමිඳු සෙවණේ මගේ මවුබිම සදා රැකුණේ

ඓතිහාසික සෙංකඩගල පුරවර ඇසළ පෙරහැර මංගල්‍ය නිම්ත්ෙතනි

අති උතුම් දළදා වහන්සේ යනු ලාංකික බෞද්ධයන් විසින් පමණක් නොව ලෝකවාසී බෞද්ධයින් විසින් මහත් හරසරින් පිළිගන්නා වූ පරම පූජනීය වස්තුවයි. එම නිසා දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසත් වැඩසිටින මාලිගය ගන්ධකුටිය ලෙසත් අතිශයින් සම්භාවනාවට පාත්‍ර වේ. දළදා වහන්සේ වෙත පැමිණ වන්දනාමාන සිදුකිරීමත්, පුදපූජා පැවැත්වීමත්, තම තමන්ගේ ජීවිතයේ අනුස්මරණීය අවස්ථාවක් ලෙස බෞද්ධයෝ සලකති.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් කලක් ගතවූ පසු ආමිස පුද පූජා පැවැත්වීම බෞද්ධයන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතු කොටස්වලට අයිතිවාසිකම් කියන්නට බොහෝදෙනෙක් අරගල කළ බව මහාපරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. මගධ, විශාලා, කපිලවස්තු, අල්ලකප්ප, රාමගාම, පාවා, කුසිනාරා යන රජවරුන් අතර හා වේඨදීපක බමුණා අතර සමසේ බෙදී ගියේය. ද්‍රෝණ බමුණා භෂ්මාවශේෂ බෙදීමට ගත් භාජනය ද පසුව පැමිණි මෞරිය වංශිකයෝ රැගෙන ගියහ. එම භෂ්මාවශේෂ හා ධාතු තැන්පත්කොට ඒ ඒ ස්ථානවල ස්ථූප ඉදිකෙරිණි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ධාතු කොටස් හතකි. සතර දළදාව, ලලාට ධාතුව අකු ධාතුව, හා ග්‍රිවා ධාතුව වශයෙනි. සතර දළදාවන්ගෙන් එක් දාඨාවක් තාවතිංසයෙහි ද එකක් ගාන්ධාර දේශයේ ද තවෙකක් කාලිංග දේශයේ ද අනෙක නා ලොව ද පිහිටි අතර අනෙක් දන්ත ධාතුන් තිස්හයද, කේශ ධාතුන් හා ලෝම ධාතුන් එක බැගින් දෙවිවරුන් රැගෙන ගිය බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ.

ලක්දිව ලියවී ඇති දළදා සිරිත, දාඨාවංශය, දළදා පූජාවලිය ආදී ධාතු වංකථාවන්හි සඳහන් අන්දමට ඉහතින් සඳහන් කළ සතර දළදාවන්ගෙන් දෙකක්ම වර්තමානය වන විට පිහිටා තිබෙන්නේ ලංකාද්වීපයෙහිය. නා ලොව තිබූ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස රජුගේ කාලයෙහි ‍මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම්තෙර කෙනකුන් විසින් නාග භවනයෙන් ගෙනවුත් ගිරි අබා රජු විසින් තම මෙහෙසියගේ නමින් කරවන ලද සෝමවතී චෛත්‍යයේ තැන්පත්කර ඇත. මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි තැන්පත්ව ඇතැයි සලකනු ලබන්නේ ලක්දිවට වැඩම වූ අනික් දන්ත ධාතුන් වහන්සේය. ප්‍රථමයෙන් කාලිංග දේශයේ තැන්පත්කර තිබූ එම වාම දළදා වහන්සේ ගුහසීව රජ්ජුරුවන් හා පඬි රජු අතර ඇති වූ යුද්ධයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හේමමාලා හා දන්ත කුමරුට බාරදී ඇත. ඒ දෙදෙනා විසින් 4 වන සියවසේ එනම්, ක්‍රි.ව. 310 දී ලක්දිව රජකළ සිරිමේඝවර්ණ රජුගේ කාලයේ ලක්දිවට වැඩම කරවන ලදී.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කළ දා පටන් දළදා වහන්සේ උදෙසා විවිධ පුද පූජා පැවැත්වූ අතර දළදා පෙරහර ද ආරම්භකොට එය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චාරිත්‍ර ලේඛනයක් ද පිහිටුවා ඇත. එම චාරිත්‍ර ප්‍රකාරව පසු කාලවල සිටි රජවරුන් දළදා පෙරහර පවත්වා ඇත. එපමණක් නොව, මෙය ලක්දිව වාර්ෂික රාජකීය උත්සවයක් බවට ද පත්කර ඇත. පස්වැනි සියවසේ ලක්දිවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ දේශාටන වාර්තාවන්හි සියසින් දුටු දළදා පෙරහර පිළිබඳ දීර්ඝ විස්තරයක් කර ඇත.

අනුරාධපුර යුගයේ පටන් පැවැති දළදා පෙරහර වරින්වර ඇතිවූ ආක්‍රමණවලදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට නොහැකි වුවත්, අනෙකුත් සමයන්හිදී දළදා වහන්සේ උදෙසා දර්ශනීය මාලිගා කරවා පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, යාපහුව ආදී යුගවල සිටි රජවරුන් හා භික්ෂූන් වහන්සේලා අඛණ්ඩව දළදා පෙරහර පවත්වා ඇති බව මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් වේ.

මෙසේ රාජධානියෙන් රාජධානියට වැඩම කළ දළදා වහන්සේ අන්තිමට මහනුවර රාජධානියට වැඩම කෙරිණි. ක්‍රි.ව. 1590 දී කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රාජ්‍යය පෘතුගීසීන්ගේ අනුග්‍රහය ඇතිව සිටි දොන් පිලිප් තෙමේ මරා විමලධර්මසූරිය යනුවෙන් රජ විය. දෙල්ගමු රජමහා විහාරයේ කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩමවා ප්‍රථමයෙන් දෙමහල් ප්‍රාසාදයක් හා නැවත තෙමහල් ප්‍රාසාදයක් බවට පත්කොට දළදා වහන්සේ එහි ස්ථාපනය කරන ලදී. වර්තමානය දක්වා ප්‍රතිසංස්කරණය වෙමින් පවතින්නේ එම දළදා මන්දිරයයි.

කෝට්ටේ රාජධානි සමයේ ආරම්භ වූ විදේශීය ආක්‍රමණ සිංහල රාජාවලිය අවසන් වන තෙක්ම පැවතුණි. පෘතුගීසී, ඕලන්ද හා ඉංග්‍රිසි ආක්‍රමණිකයින් විසින් රාජ්‍ය සංස්ථාව තුළ දළදා වහන්සේ සතුව පැවැති බලපෑම අවබෝධ කරගෙන දළදා වහන්සේ පැහැරගැනීමට හා විනාශ කිරීමට විවිධ උපක්‍රම යොදන ලදී. රාජ්‍ය උරුමය අපේක්ෂා කළ ඇතැම් රජවරුද දළදා වහන්සේ පැහැර ගැනීමට මාන බැලූහ.

එම හේතු නිසා කෝට්ටේ රාජධානි සමයේ පැවැති සිංහල රාජාවලිය අවසානය තෙක් දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පූජා චාරිත්‍ර, ප්‍රදර්ශන හා පෙරහර ප්‍රසිද්ධියේ සිදු නොවීය. එතෙක් ඒ ඒ කාලවලදී සැදැහැවත් රජවරු හා භික්ෂූන් වහන්සේලා රහසිගතව අවශ්‍ය කරන සියලු පූජාවන් පැවැත්වූහ. ක්‍රි.ව. 1818 දී දළදා පෙරහර නැවැත්වූ බව සඳහන් වූවත්, මූලාශ්‍රාගත තොරතුරුවලට අනුව මාලිගා අභ්‍යන්තරය තුළ ඒ සියලු පූජා විධීන් හා පෙරහැර ආදිය සිදුකළ බව වාර්තා වේ. එබැවින් දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පූජා චාරිත්‍ර හා පෙරහර අඛණ්ඩව සිදුකළ බව කිව හැකිය. ක්‍රි.ව.1818 දී දළදා පෙරහර වීදි සංචාරය කිරීම තහනම් වූ අතර 1928 දී රැස් වූ ඉංග්‍රීසි පාලකයන් හා නිළමේවරුන්ගේ එකඟත්වය මත නැවත පෙරහර වීදි සංචාරය කරන්නට අවශ්‍ය කටයුතු යෙදීය.

දළදා වහන්සේ වැඩම කළ දිනයේ සිට රාජ්‍යයේ රැකවරණ හා බහුමාන සිදුකරමින් රාජ්‍යයේ සංකේතය බවට පත්වූ දළදා වහන්සේගේ භාරකාරත්වය වෙනත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ භාරකාරත්වයට නිල වශයෙන් ලැබුණේ ඉංග්‍රීසි ආණ්ඩු සමයේදීය. එවකට ලංකා රාජ්‍යයේ සිටි වික්ටෝරියා රැජින විසින් මල්වතු අස්ගිරි හා දියවඩන නිළමේතුමන් වෙත භාරකාරත්වය පැවරූ බව සඳහන් වේ. එවක පටන් වර්තමානය දක්වා දළදා වහන්සේ උදෙසා පවත්වන දෛනිකව පැවතෙන අලුයම තේවාව, නව පෑ තේවාව හා සන්ධ්‍යා තේවාව හා සතිපතා පැවැත්වෙන නානුමුර මංගල්‍යයට අමතරව පැවැත්වෙන ප්‍රධාන මංගල්‍යයන් සතරකි. එනම්,

1.අලුත් සහල් මංගල්‍යය

2.අවුරුදු මංගල්‍යය

3.කාර්තික මංගල්‍යය

4.පෙරහර මංගල්‍යය

වශයෙනි.

මෙයින් අලුත් සහල් මංගල්‍යය දුරුතු පොහෝ දිනයේ දීත්, අවුරුදු මංගල්‍යය බක් මාසයේදීත්, කාර්තික මංගල්‍යය ඉල් මාසයේදීත්, පෙරහර මංගල්‍යය ඇසළ මාසයේදීත් පවත්වනු ලැබේ. මෙයින් ඇසළ පෙරහර ආරම්භ වූයේ ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවිවරුනට පුද පූජා පවත්වා දේව ප්‍රසාදයකත් සුව සලසා ගැනීමත්. සමෘද්ධිය ළඟා කර ගැනීමත් පරමාර්ථ කරගෙන මහනුවර, දෙවුන්දර, අලුත් නුවර, නවගමුව, රත්නපුරය, කතරගම ආදී නගර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන වාර්ෂික උත්සවයෙකි. දළදා මාලිගාව කේන්ද්‍රකරගෙන පැවැත්වෙන පෙරහර වර්ග කිහිපයකි. වෙසක්, පොසොන් පෙහෝ දිනයන්හි පැවැත්වෙන මාලිගාවේ පෙරහරත්, මල්වතු අස්ගිරි උභය මහාවිහාර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන උපසම්පදා මංගල්‍යයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහර පහත් ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ පෙරහරත් මීට අයත් වේ.

ඇසළ පෙරහරේ ආරම්භය පිළිබඳව විවිධ මතවාද පවතී. ලක්දිවට විජය ඇතුළු ආර්යයන්ගේ පැමිණීම සිදු වූ මොහොතේ ඔවුන් විසින් එකල දඹදිව පැවැති ආෂාඪ නමින් හැඳින්වෙන උත්සවය ලක්දිවදී ද ආරම්භ කරන ලදී. පාලි භාෂාවෙන් ආෂාඪ යනු ඇසළ මාසය හැඳින්වීම සඳහා යොදන වචනයයි. එබැවින් මෙය ඇසළ මාසය පදනම් කරගෙන පවත්වන ලදී. එසේම පුරාතනයෙහි පැවැති සුරාසුර යුද්ධයෙහිදී සුරයන් විසින් අසුරයන් පරාජය කරන ලද්දේ ඇසළ මාසයේ අමාවක දිනයේදී ය. ඒ අනුව අමාවක දිනයෙන් කප් සිටුවීම ආරම්භකොට පසළොස්වක දිනයෙන් අවසන්වන පෙරහර සුරයන්ගේ එම ජයග්‍රහණය සිහිකරනු වස් පවත්වන බව තවත් මතයකි.

වංකනාසික රජුගේ කාලයේ සොළීන් මෙරටට පැමිණ සිරකරුවන් 12000ක්, පාත්‍ර ධාතුව, සිව් දේවාලයන් රන් ආබරණ, පත්තිනි දෙවියන්ගේ රන් සළඹ ද රැගෙන ගිය බව ඇසූ ගජබා රජු ඉන්දියාවට ගොස් එහි ලක්දිව සිරකරුවන් ද ඉන්දියන් සිරකරුවන් 24000ක් ද අනෙකුත් සියලු භාණ්ඩ ද රැගෙන ලංකාවට පැමිණීම සිහිකරනු වස් ඇසළ පෙරහර පැවැත්වෙන බව තවත් මතයකි.

මුල් යුගයේ ඇසළ පෙරහර පැවතියේ සිව් මහා දේවාලයන්හි එක්වීමෙනි. වර්තමානයේ මේ දේවාල සතරට මුලින් දළදා මාලිගාවේ පෙරහර ගමන් කරයි. මුල් කාලයේ දළදා පෙරහර පවත්වා ඇත්තේ තනිවමය. වර්තමාන ශාසන පුනරුදයේ පුරෝගාමී චරිතය වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රා‍ජෝත්තමයාණන් වහන්සේ ලක්දිවට උපසම්පදා ගෙන ආ පුවර උපාලි මහා ස්වාමීන්ද්‍රයාණන්ට සිව්මහා දේවාලයන්හි පෙරහර පෙන්වූ බවත්, උන්වහන්සේ විසින් බෞද්ධ ප්‍රබෝධය ඇතිකරනු පිණිස දළදා වහන්සේ සිහිකරනු වස් පැවැත්වූ පෙරහර ද මීට සම්බන්ධ කරන ‍ලෙස ද දන්වා තිබේ. ඒ අනුව සංඝරාජ මාහිමියන්ගේ අනුශාසනා ඇතිව සද්ගුණවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දළදා පෙරහර ද මීට සම්බන්ධ කරන ලදී. එවක් පටන් ඇසළ පෙරහර යන නාමයෙන් පැවැත්වුවත් බොහෝදෙනා විසින් හඳුන්වනු ලබන්නේ දළදා පෙරහර යනුවෙනි. එතැන්පටන් මෙය ලක්දිව පැවැත්වෙන බෞද්ධ රාජ්‍ය උත්සවයක සිරිගනු ලැබේ.

කප් සිටුවීම

දළදා පෙරහර පවත්වනු ලබන්නේ සිව්දේවාලයන්හි කප් සිටුවීමෙත් අනතුරුවය. මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සාදනු ලබන නැකතට අනුව කප් සිටුවීම සිදුකරනු ලබයි. අමාවක පොහොයට දින කිහිපයකට පෙර සිව්දේවාලවලින් පිරිසක් මල් හා එල හට නොගත් කොස් ගහක් වෙත ගොස් එය පිරිසුදු කොට සුවඳ පැන් හා සුවඳ දුම් ගෙන නාවා මල් පහන් පුදා ගස කපාගනු ලබයි. මෙසේ කරන්නේ එම ගහට අධිගෘහිත දේවතා‍ෙවක් සිටීනම්, එය හැරයන ලෙස ආයාචනා කිරීමක් වශයෙනි. ඉන්පසු රියනක් බැගින් සිව් දේවාලයන්ට දී අමාවක දිනයේ දී කප්, කුඩා කොඩි, සේසත්, හේවිසි, හොරණෑ මධ්‍යයේ දේවාල භූමිවල සිටුවනු ලැබේ. මෙසේ කප් සිටුවීම තුළින් සංකේතවත් කරන්නේ දෙවියන් වැඩම කරවීම සඳහා යැයි සමහරු කල්පනා කරති.

එතැන් පටන් දින පහක් සන්ධ්‍යා යාමයේ ඒ ඒ දේවාලවල කපු මහත්වරු හේවිසි බෙර, හොරණෑ, කුඩ, සේසත් ආදියෙන් යුක්තව කුඩා පෙරහරකින් සිය දේවාලයන්ට අයත් ආයුධ කප වටා වැඩම කරවති. මෙය හඳුන්වන්නේ දේවාල පෙරහර යනුවෙනි.

කුඹල් පෙරහර

කප් සිටුවා දින පහකට පසු දේවාල භූමියෙන් පිටත්කරනු ලබන රන් ආයුධ රන්සිවිගෙයක හිඳුවා එම රන්සිවිගෙය ඇතෙකු පිට තබා ඒ ඒ දේවාලයන්හි බස්නායක නිළමේවරුන්, වෙනත් නිලධරයන් මහත් හරසරින් යුක්තව පැමිණ දළදා මාලිගාව ඉදිරිපිට සිටිති. මෙසේ සිටින්නේ දළදා පෙරහර ඉදිරියෙන් ගමන් කිරීම නිසාය. එළිමහනේ ගමන් කරනු ලබන මෙය හඳුන්වන්නේ කුඹල් පෙරහර නමිනි. කුඹල් පෙරහර පැවැත්වීම පිළිබඳ කරුණු තුනක් ඉදිරිපත් වේ.

1.විශ්වකෝෂයේ සඳහන් වන්නේ “ඉසේ සිට පිළියක් ව්‍යාගක් බඩහැල බද්දා කලස් දෙකක් අතින්ගෙන වලන් කදක් ගෙන්වාගත් අතවැසියෙකු ද සමඟ මේ පෙරහර දිරියෙන් පැමිණ ඒ කලස් දෙක හඳුන්කුනමේ තබා” යන හෙයින් එය කුඹල් පෙරහර වන බවය.

වර්තමානයේද කුඹල්කරු විසින් මෙසේ අලුතින් සාදාගත් කුඹල් රැගෙන පෙරහර ආරම්භයට පෙර ඒ හේවිසි මණ්ඩපයේ තබා පෙරහර ආරම්භ කරයි. ඉහත විශ්වකෝෂ ප්‍රකාශයට අනුව හඳුන්කුනම යනුවෙන් හඳුන්වන්නේ දළදා හිමි වැඩසිටින මාලයේ ඉදිරිපස කොටසයි. එහි වලන් කද තබා පෙරහර ආරම්භ කරයි. එහෙත් වර්තමානයේ එය හේවිසි මණ්ඩපයේ තැන්පත් කිරීමෙන් පසු පෙරහර ආරම්භ කරනු ලබයි.

2.කුඹලා තම ගෙය සෑදීම සඳහා සංචාරය කරන සීමාව මෙන් පෙරහර ද ගමන් කරන නිසා කුඹල් පෙරහර යනුවෙන් හඳුන්වනු ලැබේ.

කුඹලා යම් ස්ථානයක මැටි ගෙය බඳින අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය කරන මැටි සපයාගන්නේ ඒ අවටින්ය. ඒ සඳහා වැඩි දුරක් නොයන අතර ගෙය බඳින ස්ථානයේ සිට වටේට රවුමට ගොස් මැටි සපයාගනී. කුඹල් පෙරහර ද මාලිගාවෙන් පිටත්ව සතර දේවාල වටා ගොස් නැවත ගෙවදී. එබැවින් කුඹලාගේ ගමන් මාර්ගය මෙන් පෙරහර ද ගමන් කරන බව තවත් මතයකි.

කුඹල් පෙරහරේ වැඩි කල එළියක් නොතිබීම

කුඹල් පෙරහර ආරම්භවූ දිනයේ සිට පෙරහරේ ගමන් ගන්නා දියවඩන නිළමේ, බස්නායක නිළමේවරු සුදුපැහැති වස්ත්‍ර පැලඳගෙන සිටිති. නැට්ටුවන් ද එසේමය. අලි ඇතුන් ද සරසන්නේ සුදු පාටිනි. අනෙකුත් සැරසිලි අඩුය. එසේම පෙරහරේ යන පන්දම් ප්‍රමාණය ද අඩුය. මේ විවිධ හේතු නිසා පෙරහ‍රේ වැඩි කල එළියක් නොමැතිවීම ද කුඹල් පෙරහ‍රේ විශේෂත්වයකි.

රන්දෝලි පෙරහර

කුඹල් පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසු රන්දෝලි පෙරහර ආරම්භ වේ. රන්දෝලි පෙරහරේ විශේෂත්වය වන්නේ සිව්මහා දේවාලයන්හි රන්දෝලි (දේවාභරණ වැඩමවන වාහන විශේෂය) පෙරහරේ අගට එකතුකිරීමය. මෙය මුල් කාලයේ පෙරහරේ එක් පසෙකින් ගමන්කර ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියෝගය පරිදි පෙරහරේ අවසානයේ ගෙන යනු ලබයි. මෙය වර්තමානයේ ද මේ ආකාරයෙන්ම පැවැත්වේ. රන්දෝලි පෙරහර සම්බන්ධයෙන් තවත් මත කිහිපයක් පවතී.

1.කුඹල් පෙරහරට වඩා රන්දෝලි පෙරහර අලංකාරවත්ය. මුලින් දියඩන නිළමේ,බස්නායක නිළමේවරු ආදීන් මෙන්ම නැට්ටුවන්, අලි, ඇතුන්, නිල්, රතු, කහ ආදී විවිධ වර්ණයන්ගෙන් යුත් වස්ත්‍ර පැලඳගෙන ගමන් කරයි.

2.සංස්කෘතිකාංග වැඩිවීම, කුඹල් පෙරහරේ ගමන්කරන්නේ ඒ ඒ පළාත්වලට අයත් කොඩි, සේසත් ආදී මූලික අත්‍යවශ්‍ය දේ පමණක් වුවත්, රන්දෝලි පෙරහරේ ඒ සියල්ල සමඟ විවිධාකාර සංස්කෘතිකාංග ද එක්කොට අලංකාරවත් කර ඇත.

3.මුල් කාලයේ අගමෙහෙසිය රන්දෝලාවේ ගමන් කළ බව කියැවෙන අතර දළදා පෙරහර එකතුවීමෙන් පසු එය නුසුදුසු නිසා දෝලාවන්ට පිටුපසින් ගමන්කොට ඇත.

4.දිය කපන අවස්ථාවේදී ද රන් දෝලාවෙන් රැගෙන යනු ලබයි. පැරැණි දිය හා දිය කපන කඩුව ගැටඹේ තොට දක්වා ගෙනගොස් අලුතින් ගන්නා දිය හා කඩුව නැවත දෝලා මත තබාගෙන රැගෙන ඒම සඳහා අවශ්‍ය වේ.

දිය කැපීම

රන්දෝලි පෙරහර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වී පසුදා දිය කැපීම සිදු කරනු ලැබේ. දිය කැපීම සිදු කරන්නේ ගැටඹේ තොටේදීය. දිය කැපීම සිදුකරන්නේ සිව් මහා දේවාලයන්හි මූලිකත්වයෙනි. දිය කැපීම චාරිත්‍රයක් හැටියට සිදුකිරීම පිළිබඳ මත දෙකකි.

1.පැරැණි සුරා සුර යුද්ධය පවත්වා දෙවියන් එයින් ජයග්‍රහණය කොට ඔවුන් යුද්ධය සඳහා යොදාගත් ආයුධ සෝදා දැක්වීම නිරූපණය කිරීම එක් මතයකි.

2.ගජබා රජුගේ කාලයේ ඉන්දියාවට රැගෙන ගිය සිරකරුවන් රැගෙන ඒම සඳහා ලක්දිව සිට සොළී රටට ගිය ඒ රජුගේ සේවකයකු වූ නීල මහා යෝධයා මුහුද ‍දෙබෑ කළ අයුරු දැක්වීම සිහිකිරීම සඳහාත් දිය කැපීම සිදුකරන බව තවත් මතයකි.

පෙරහර අවසානයේ කප් උදුරා දියේ පාකර යවන්නේ දෙවියන් නැවත විමන්වලට යාම සනිටුහන් කිරීමටය. දිය කැපීමේ මංගල්‍යයෙන් පසු අලුත් දිය හා කඩු ආබරණ ආදිය නැවත පෙරහරෙන් වැඩමවා සිව්දේවාලවල තැන්පත් කිරීමේ කාර්යයෙන් පසු ඇසළ පෙරහර නිමාවට පත්වේ. ඉන්පසු දියවඩන නිළමේ, බස්නායක නිළමේවරු ආදීන් රාජ්‍ය කරවන ප්‍රධානියා වෙත ගොස් පෙරහර සාර්ථකව සිදුකළ බව ප්‍රකාශ කිරීමෙන් පසු එකී රාජ්‍ය උත්සවයේ කටයුතු නිමාවේ.

සංලාපය හේමමාලා රන්දුනු


නව අදහස දක්වන්න

Or log in with...