තමාව සම්පූර්ණයෙන් අමතක කරලා දාන්න එපා | දිනමිණ

තමාව සම්පූර්ණයෙන් අමතක කරලා දාන්න එපා

නදී කම්මලවීර

‘දු ෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය.. කටු පොකුර සිපගන්න හෙට මලක් වනු පිණිස..‘ජීවිතයේ යථාර්ථය සේකර ගෙ කවි පදවැලෙන් මුමුණමින් ඇය ආ ගමන් මඟෙ මතක අප හා බෙදා ගන්නට මෙවර සති මැද කතා බහට එක් වන්නේ සම්මානනීය රංගන ශිල්පිනි නදී කම්මලවීර ය.

* ඔබ ඔබව හඳුන්වා දෙන්න?

මං දන්නෑ කෙටියෙන් කොහොම මාව හඳුන්වලා දෙන්නද කියලා.

* පාසල් ජීවිතය පිළිබඳ මතකය?

සමහර ගුරුවරුන්ගෙන් වෙච්ච කෙණෙහිලිකම් ඇරුණාම ඉස්කෝල කාලේ හරිම සුන්දරයි. ගොඩාක් යාළුවො හිටියා. කීඩා කළා. මං මුලින්ම ගියේ අංගොඩ රාහුල විද්‍යාලයට. අම්මාගේ උත්සහය නිසා පස්සේ කොළඹ ගෝතමී බාලිකාවට ඇතුළත් වුණා. ඇය එදා මං වෙනුවෙන් කරපු ඒ දුෂ්කර දේ මගේ ජීවිතේට සාධනීය විදියට බලපෑවා. කලින් පාසලේ හිටපු ගණන් ටීචර් කෙනෙක් හැමදාම ඉස්කෝලෙට ආවේ බිලා. ඇය ළමයින්ට නින්දා කර කර වේවැලකින් ගහනවා. ඔය ගැටලුව නිසා මට සෑහෙන කාලෙකට ගණන් එපා වුණා.

 පස්සෙ කාරුණික දක්ෂ ගුරුවරයෙක් හමු වුණාට පස්සේ මං ගණන් ශූරියක් වුණා. මම ටිකක් ඉගෙන ගන්න දක්ෂ නිසා අම්මා නිතරම උනන්දු වුණා කොළඹ ඉස්කෝලෙකට දාන්න. ඒත් මම පහේ ශිෂ්‍යත්වෙ පාස් වුණේ නෑ. ඒ කාලේ තිබුණු ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ විභාගෙනුත් මම ෆේල්. ඒ අසමත්කම මට සෑහෙන්න පරාජිත හැගීමක් ගෙනාවා. ගෝතමී බාලිකාවට ගිය පළවෙනි දවස මට හොඳට මතකයි. ශිෂ්‍යත්වේ, ඇතුළත් වීමේ විභාග සමත් ළමයි හිටපු පන්තියකට ගියහම නොගැළපෙන තැනකට හොර පාරකින් ඇවිත් වගේ හැඟීමක් එදා මට දැනුණා. මං එදා හිතාගත්තා කොහොමහරි මේ අයගෙ මට්ටමට එනවා කියලා.

* පුංචි කාලේ දකින අනාගත හීනය?

ටීචර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියා. කාලයක් කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉගැන්නුවා. ඊට පස්සෙ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගැන්නුවා. මං හිතන්නෙ මං හොඳ ටීචර් කෙනෙක්.

* නිළියක වීමේ කැමැත්ත ඇති වෙන්නේ?

මං උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලෙට යන්න බලාගෙන ඉන්න කාලෙ දී සෝමලතා සුබසිංහ මිස්ගෙ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වුණා. එතනින් තමයි රඟපෑමේ පිස්සුව හැදුණේ. පොඩි කාලෙ නොයෙක් දේවල් අනුකරණය කරන්න, හිස් පීරියඩ්වලදි යාළුවෙක් එක්ක පන්තියේ ළමයි ඉස්සරහ පොඩි පොඩි විහිළු කතා රඟපාලා ඉස්කෝලේ ප්‍රසිද්ධයි. ඒ හැර කවදාවත් පාසල් වේදිකාවට ගොඩ වෙලා නෑ. පාසලේ කිසිම නාට්‍යකට මාව අරගෙනත් නෑ. පොඩි කාලේ මට නිළියක් වෙන්න ලොකු ආසාවක් තිබුණෙත් නෑ.

* පළමු ආදරයේ මතකය?

මට වයස දාසයක් විතර කාලේ බදුලු කෝච්චියේ කොළඹ ඉඳන් බණ්ඩාරවෙල යද්දි, මුණ ගැහිච්ච තරුණයෙක් කෙරෙහි ඇති වුණු ප්‍රේමනීය හැගීම තමයි ආදරය පිළිබඳ පළමු අත්දැකීම. ඒ හැගීමේ නැවුම් බව අදටත් මතකයි. නානු ඔය ස්ටේෂන් එකෙන් බැහැලා ගියාට පස්සේ කිසි දවසක ඔහු මට මුණ ගැහුණේ නැහැ. ඔහු එවපු ලියුම් කවදාවත් මගේ අතට ලැබුණේ නැහැ. එය ඒ කාලේ මාව වෙවුලුවා හළ හැගීමක්.

* ඔබ උපාධිධාරිණියක්, ඉන් ඔබ නිසි ප්‍රයෝජනය ගෙන තිබෙනවාද?

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ජිවිතේට වටිනා දේවල් එකතු වූ බව මං දන්නවා. එය උපාධිය ලබා ගැනීමෙන් සුදුසුකම අත්පත් කරගැනීමට වඩා ලොකු දෙයක්.

* ඔබ කලින් කල රැකියා කිහිපයක නියැළෙනවා?

මං විවිධාකාරයේ රැකියා කිහිපයක්ම කළා. පාසල් ගුරුවරියක්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක්, රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරක චරියක්, පරිවර්තිකාවක් සහ රංගන ශිල්පිනියක්. කලක් මං පිටරට ජීවත් වුණා. එහෙදි වෙන රස්සා කිහිපයක් කළා. එක අතකට ඉතිං අමුතු දෙයක්. දිගු කලක් එකම තැනක රැකියාව කරගෙන ඉන්න බැරි මොකක්ද අවුලකුත් මට තියෙනවා. කලින් කලට නොයෙක් දේවල් කරන්න ලැබීමත් හොඳයිනෙ. රැකියාවක් විදියට ඉස්සරහට තව මොන මොන දේවල් කරයිද දන්නෙ නෑ. කිසිම දෙයක් නොකර වෘතීය කලාකරුවෙක් වෙන්න පුළුවන් නම් මං වෙන රස්සා හොයන්නේ නෑ. ඒත් ප්‍රායෝගිකව එය යථාර්ථය නෙමෙයි.

* ඔබ එක්තරා නිර්මාණ සමූහයකට පමණක් සීමා වී සිටිනවාද?

මම සීමා වෙලා නැහැ. මේ වැඩ විතරයි කියලා කිසිම සීමාවක් ස්වයංව පනවගෙන නැහැ. මම කැමැතියි විවිධ මාදිලියේ නිෂ්පාදනවල වැඩ කරන්න.

* ඔබ ඇගැයීම් ලබමින් ඉබි ගමනේ යන රංගන ශිල්පිණියක් ?

Slow and steady.මට එක දිගට වැඩ ලැබෙන්නෙ නෑ . ඔහේ ඕන එකක් කරනවා කියලා හැමදේම කරන්න යන්නෙත් නෑ. මේ විදිය හොඳයි කියලා හිතෙනවා.

* ඉතාලි රූපවාහිනි කතා මාලාවක චරිතයකට පණ පෙවීමට අවස්ථාව ලැබෙනවා?

‘පාඔලෝ සොරෙන්ටීනෝ‘ කියන ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ The Young Pope කියන ටෙලි සීරිස් එකේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ මා ලද සුන්දරම, වටිනාම අත්දැකීමක්.

* ඔබ කලක් විදෙස් ගත ජීවිත් වෙන්න තීරණය කරනවා?

මට කාලයක් තිස්සේ ආසාවක් තිබුණා වෙන රටක ජීවත් වෙන්න. ඒ අත්දැකීමට මං ආසයි. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න වීසා එකක් තිබුණු නිසා මං ගියා. ටික කාලයක් ඉන්න කොට ලංකාවට එන්න ඕනේ කියලා දරුණු විදියට හිතෙන්න පටන් ගත්තා. ආයිත් ආවා.

* දිගටම ලංකාවේ රැඳේවිද?

ඔව්.

* ජීවිතයේ ගත් වැරැදී තීරණ?

වැරැදි තීරණ කියලා දෙයක් නෑ. ඒ ඒ කාලෙට අපි ගන්න තීරණ ඒ වටපිටාවේ තිබූ දේවල්, අපට දැනුණු හැටි, අප විශ්වාස කළ දේවල්, ආස කළ දේවල් ආදිය මතයි රඳා පවතින්නේ. එතකොට තීරණයක හරි වැරදි බව කාලයට, අවස්ථාවට අනුව සාපේක්ෂයි.

* නැවත හදා ගත නොහැකි තැන් ජීවිතයේ තිබෙනවාද?

ජීවිතේ කියන්නෙ ‘හදාගන්න’ පුළුවන් දෙයක් නෙමෙයි. එය සිදුවීම්, හැල හැප්පීම් එක්ක ගලාගෙන යනවා. පහුවෙච්ච තැන්වලින් අත්දැකීම් ලබා ගැනීම පමණයි අපට කළ හැක්කෙ.

* ඔබ ජීවිතයේ වූ දරුණුම කඩා වැටීම?

‘දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය, කටු පොකුර සිපගන්න හෙට මලක් වනු පිණිස‘..සේකර ගෙ කවිය වගේ තමයි. ජීවිතේ වේදනාකාරී අත්දැකීම් තියෙනවා. ඒත් මං කිසිම වෙලාවක කඩා වැටිලා නැහැ. ජීවිතේ අත ඇරලා අපේක්ෂා බිඳ වට්ටවාගෙන නැහැ. එහෙම යන්නෙත් නැහැ.

* ඒ වේදනාකාරි අත්දැකීම් ජය ගන්නේ කොහොමද?

අමාරු අවස්ථාවල පීඩාවෙන්, වේදනාවෙන් ඉඳලා තියෙනවා. මං දැන් ඉගෙනගෙන ඉන්නේ, අපිම අපිව ගොඩ අරගෙන, ශක්තිමත් කර ගත්තෙ නැත්නම් සදාකාලික අඳුරක ගිලෙන්න පුළුවන් බව. ජීවිතේ කියන්නේ, විශාල දෙයක්... අපි විවෘතව ඇස් මනස් ඇරලා බලන්න සූදානම් නම්... සතුට, සැනසීම ගෙන දෙන දේවල් තියෙන්න පුළුවන්. මොන තත්ත්ව යටතේ වුණත්, මගේ හිත තුළ සාමය රඳවගන්න, තරගය, පළි ගැනීම, පසුතැවීම වැනි නිසරු හඹා යෑම්වලින් මිදෙන්නයි මම වෑයම් කරන්නේ. එය හැමවෙලේම මුළුමනින්ම සාර්ථක වෙන්නෙ නෑ. ඒත් පුළුවන් තරම් උත්සාහ කරනවා. මා තුළම මට ප්‍රියමනාප පුද්ගලයෙක් විදිහට ඉතුරු වෙන්න.

* මේ ගමන් මඟේ වඩාත් සතුටු වූ දවස?

එහෙම එක දවසක් නම් කරන්න ඔළුවට එන්නෙ නෑ. එක එක දේවල් නිසා එක එක විදිහට සතුටු වෙච්ච දවස් ඕන තරම් තියෙනවා.

* ජීවිතයේ මග හැරුණු, අහිමි වූ දේවල් ?

මං හිතන්නෙ නෑ මට කිසිම දෙයක් අහිමි වෙලා තියෙනවා කියලා. තිබුණොත් හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවා. එවැනි දේ අපි කාටත් පොදුයි නේ. මඟ හැරිච්ච දේවල් ගැන කල්පනා කළොත් ඒ ඒ කාලවලදි මට මේ මේ දේවල් කරන්න තිබුණා නම් කියලා හිතෙනවා.

* තවත් ගැහැනියකට දිය හැකි හොඳම උපදෙස?

මුළු ජිවිතේම කවුරුහරි පිරිමියකුට බාර දීලා තමන්ව සම්පූර්ණයෙන් අමතක කරලා දාන්න එපා.

* ඔබේ ජීවිතයේ වඩාත් තෘප්තිමත් විය හැකි දේ?

හිතේ සාමය සතුට තියෙනවා නම් ,අපට අපවම ප්‍රියමනාප නම්, හෘද සාක්ෂිය නිදහස් නම්, තමන්ගේ වටිනාකම ගැන තමන් තුළම අභිමානයක් තියෙනව නම් ඒ තමයි තෘප්තිමත් බව.

* ආදරය විවාහය තුළ ඔබ රැවැටී තිබෙනවාද?

නැහැ. ජීවිතයේ ඒ ඒ කඩඉම්වලදී ආදරය කළ අය මට අවංකවම ආදරය කළ බව මං විශ්වාස කරනවා. මං විවාහ වුණේ මා උන්මාදයෙන් ආදරය කළ පුද්ගලයා සමග. ඔහු ගැන කිසිදාක නිමා නොවන සෙනෙහසක් මා තුළ තියෙනවා. ඔහු තුළත් මා ගැන එවැන්නක් ඇති බව මා දන්නවා.

* විවාහය, ආදරය සහ පවුල් ජීවිතය ඔබ විග්‍රහ කළොත්?

මේ ත්‍රිත්වයෙන් ආදරය තමයි සුන්දරම විඳීම. විවාහය සහ පවුල් ජීවිතය කියන බැඳීම් ඇතුළෙ විශාල වගකීම් රැසක් පැටවෙනවා. එය පුද්ගල බැඳීම්වලට වඩා සමාජ සම්මත මත පිහිටා සිටිය යුතු ආයතනික බැඳීම්. විවාහය සහ පවුල් ජීවිතය තුළ මා කම්පනීය අත්දැකීම් ලබා තිබෙනවා. නමුත් එයත් එක්තරා ආකාරයක විදීමක්.

* අද ඔබේ ප්‍රේමය, ජීවිතය සහ විඳිම නතර වී තිබෙන්නේ කොතැනද?

මට ප්‍රේමයෙන් තොරව පවතින්න බැහැ. ආදරය කිරීම, ආදරය ලැබීම කොයිතරම් සුන්දර දෙයක්ද? මා සදාකාලිකව ප්‍රේමය සොයනවා. සුවදායි ලෙස එය ලැබෙන විට මං එය විඳිනවා.

* ඔබ සහ කසුන් ගේ බැඳීම?

අපි කොන්දේසි විරහිතව එකිනෙකා කෙරෙහි සෙනෙහසද, හෘද්‍යාංගම බවද පළ කරනවා. අපේ දරුවාගේ මව්පියන්, සමීපතම මිතුරන්, ජීවන සහකරුවන් ආදී භූමිකා කිහිපයක්ම අපි දෙන්නට තියෙනවා.

ටානියා මෝසස්
ටෙරන්ස් ද සිල්වා

නව අදහස දක්වන්න