MISTY VILLAGE MANDARAMNUWARA | මන්දාරම්නුවරට චාරිකාවක් | දිනමිණ

MISTY VILLAGE MANDARAMNUWARA | මන්දාරම්නුවරට චාරිකාවක්

නලින් දිල්රුක්ෂ

 

පමා වී ඉර පායන වේලාසනින් ඉර බැස යන පුරවරය ලෙසටය මන්දාරම් නුවර හැඳින් වෙන්නේ. පැති දෙකකින් මන්දාරම් නුවරට ළගා විය හැකිය. එක් මාවතක් වන්නේ මහ නුවර හරහා පදියපැලැල්ලෙන් හැරී මන්දාරම් නුවරට ළගා වීමය.

අනිත් මාවත නම් නුවරඑළිය හරහා කඳපොළ හයිෆොරස්ට් වතුයාය මැදින් ගෝනපිටිය  ගුඩ්වුඩ් වතුයාය හරහා මන්දාරම් නුවරට ළගාවීමය.

ඉපැරණි මන්දාරම් නුවර තේ කර්මාන්ත ශාලාව අසල අපේ වාහනය ගාල් කළ අපි එතැන් සිට කෙටි මාවත් ඔස්සේ සුන්දර හෙල්මලු වගාවන් නරඹමින් වනගත පරිසරයට ඇතුළු වූයෙමු.

අපේ අරමුණ වූයේ වනය තුළ සැගව පවතින කොළපතන ඇල්ල නම් වූ දිය ඇල්ල නැරඹීමයි. එක පසෙකින් පිදුරුතලාගල කන්ද දිස්වෙයි. අපේ ගමන් මග වැටී ඇත්තේ පිදුරතලාගල කන්දේ පහළම පෙදෙසකිනි. තවත් පසෙකින් රන්කොටියාගල බොක්ක දිස්වෙයි. මෙහි කෝටියක් වටිනා රන් නිදන්කොට ඇතැයි ජනප්‍රවාදයේ පවතින බව අපේ මග පෙන්වන සොයුරා අප හා පැවසීය. කඳුවැටි බඩ වැටි මැදින් දිවෙන අඩි පාරේ ක්‍රමයෙන් ඉහළට යන විට වන මැද ඇතින් කොළපතන කොමලිය සිය සුදෝ සුදු වරලස උණා දමා හැඩ වැඩ වී ඇද හැලෙන හැටි අපි දුටිමු. එහි නැරඹූම් ස්ථානයෙන් නොනැවතුණු අපි කීප දෙනෙක් දිය ඇල්ලේ නියම සුන්දරත්වය විඳගන්නට තරමක් අසීරු පල්ලම බසිමින් ඇල්ල පාමුලටම පිවිසියෙමු. එතැන කදිම ස්වාභාවික ජල තඩාගයකි. නොකිළිටි දිය දහර අපේ සිරුරුවලින් කිලිටි වීදෝ යන සැකය ඇතත් අපි සිත් සේ දිය කෙළියේ යෙදුනේ ගමනේ විඩාවට එය කදිම ඔසුවක් වූ බැවිණි. ඉන් නොනැවතුණු අපි සයගයන් හතර දෙනෙක් දිය ඇල්ලට සමාන්තර කැළැ මාර්ගයෙන් දිය ඇල්ලේ මැද ප්‍රමාණයක් දක්වා කඳු තරණයේද යෙදුණේ සිතේ ඇති ආශාව නිසාමය.  ඒ සඳහා පළපුරුදු කඳුනගින්නන් දෙදෙනකු අප සමග සිටිම අපට මහත් ශක්තියක් ම විය. එසේ පළපුරුදු මග පෙන්වන්නන් නොමැතිව ඒ මග ගමන් කිරිම අනතුරු දායකය.

ඔබ කඳු නැගිමට ප්‍රිය කරන අයෙක් නම් ඇල්ල බැලීමෙන් අනතුරුව මේ කඳවැටිය තරණය කිරිමට අවස්ථාව තිබේ. පිදුරතලාගල කන්ද මට්ටමටම ආසන්න උසකට මේ මග ඔස්සේ ගමන් කර හැකි අතර එසේ යන්නේ නම් අනිවාර්යෙන්ම ගමන් මග පෙන්නන්නෙකු සමග යන්න.

තවද මේ මන්දාරම් නුවර අවට වන පෙත මැද දිය ඇලි කීපයක්ම තිබෙන බවත් ලංකාවේ දෙවැනියට උසම ඇල්ල වූ කුරුඳු ඇල්ල ද පිහිටා ඇති බවත් ගම්වාසීන් ගෙන් අපි දැනගතිමු. එහෙත් අපේ පිරිස වැඩි කමත් කාලය හරස්ව ඇති නිසාත් අපි ඒ අවස්ථා මග හැරියෙමු.

මන්දාරම් නුවර චාරිකාවකට එක්වන ඔබ ට ඉතා පහසුවෙන් නැරඹිය හැකි ස්ථාන ‌මොනවාද?  එහි පරිසරටය හානියක් නොවන්නට කිසිවකුට බාධාවක් නොවන අයුරින් කඳවුරු ගසන්න තියන තැන් මොනවද? නවාතැන් කොහොමද යන්න පිළිබඳව විමසා බැලෙන වාර්තාමය රුප රචනයකි මේ.

බොහෝ පිරිස් මන්දාරමු නුවර ගොස් කොළපතන ඇල්ල පමණක් නරඹා එන වග අපි දනිමු. එහෙත් මන්දාරම්නුවර අවටම පවතින මේ සුන්දර ස්ථාන මගහැර ගනිති. කබරගල ඇල්ල ඇතිනිවල ඇල්ල රන්කොටියාබොක්ක නැරඹුම් ස්ථානය පෙයාර්ස් ගොවිපල ආදිය එයයි. බලන්න මේ විඩියෝව. පරිසරයට හානියක් නොකොට මේ ස්ථාන සුරකින එක ඔබේ වගකීමකි.

නව අදහස දක්වන්න