ඊළඟ - ජනාධිපතිවරණය! | දිනමිණ

ඊළඟ - ජනාධිපතිවරණය!

ජනාධිපතිවරණයක් පිළිබඳ ප්‍රවාද ගණනාවකින් දේශපාලන කරළිය ගිනියම් වී තිබේ. ඒවා සංකේන්ද්‍රණය වී ඇත්තේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ය. මේ අනුව ජනාධිපති අපේක්ෂකත්වය, ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂාව හා ඊට අදාළ නෛතික ප්‍රතිපාදන විමැසීමත් ලහි - ලහියේ සිදුවෙයි. ඒ හැරෙන්නට ජනබලය උරගා බැලෙන උද්ඝෝෂණ හා විරෝධතා වැනි උපායමාර්ගද නාට්‍ය ශාලාව තුළ රඟ දැක්වෙයි. මේ සියල්ලෙන්ම කුලමත් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය බව ඉතා පැහැදිලි ය. හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳ අදහස ජනගත කරන්නේ ඒකාබද්ධ විපක්ෂය යි. එයින් බලවත් සේ කැලඹීමට පත්වී ඇත්තේ ද එම දේශපාලන ව්‍යාපාරය යි.

හදිසි ජනාධිපතිවරණයක් යන අදහස කෙතරම් මුළාවක් ද. එය ජනතාව නොමඟ යවනසුලු ප්‍රෝඩාවක් ද යන්න පැහැදිලි වන්නේ මීට දින දෙකකට ඉහත දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයකින් ය. ජනාධිපතිවරයා කියා සිටියේ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමේ කිසිඳු අදහසක් තමන්ට නැති බවය. එතුමා සිය අදහස තවදුරටත් තහවුරු කළේ නියමිත දිනට එක දිනයක් හෝ කලින් ජනාධිපතිවරණයක් නොපවත්වන බව ය. මේ අදහස ස්ථිර ය. මන්ද යත්; ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සම්පූර්ණ බලය බලයේ සිටින ජනාධිපතිවරයා සතු වන බැවින් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන සන්දර්භය ගතහොත්; දේශපාලන ව්‍යාපාරයක් හදිසි ජනාධිපතිවරණයක් කෙරෙහි උනන්දු වන්නේ කවර හේතු සාධක මත ද යන්න වටහාගැනීම අසීරුය. 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති බලතල සීමාකර ඇත. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් වැඩි බලතල පාර්ලිමේන්තුවට හිමි වෙයි. පාර්ලිමේන්තුවේ ප්‍රධානයා හා නායකයා අගමැතිවරයා ය. මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයකු නොව; අගමැතිවරයකු පත් කිරීමට දේශපාලන පක්ෂ උනන්දු විය යුතු බව ජනාධිපතිවරයා ‍ෙපන්වා දෙයි. ඒකාබද්ධ විපක්ෂය එක් කෝ මෙය වටහාගෙන නැත. නැතහොත් ඔවුන් රටේ ව්‍යවස්ථාව, නීතිය හා සම්ප්‍රදාය පිළිගන්නේ නැත.

ඒකාබද්ධ විපක්ෂය නිරීක්ෂණය කරන කල පෙනී යන්නේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් වෙත ඔවුන් ඇදීයන බව ය. ඒකාධිපති නායකයෙක් හා එක ප්‍රභූ පවුලක් වටා ඔවුන්ගේ දේශපාලනය ක්‍රියාත්මක වෙයි. නාසිවාදය ක්‍රියාත්මක කළ මිනීමරු හිට්ලර් පවා ඔවුන්ගේ‍ දේශපාලනයට අනුව නිවැරැදි නායකයෙකි. අවශ්‍ය පාලකයෙකි. ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයකට වැදගත් වන්නේ පුද්ගලයා නො ව; ප්‍රතිපත්ති හා වැඩසටහන් ය. පුද්ගල බද්ධ දේශපාලන ව්‍යාපාර හිටිහැටියේ පිබිදී හිටිහැටියේ දියවී යයි. ඒකාබද්ධ විපක්ෂයට ද එම ඉරණම අත්වීමට ඉඩ තිබේ. සැප්තැම්බර් පහ උද්ඝෝෂකයන් ඩාලි පාරේ දී සිය පක්ෂ මූලස්ථානයට “හූ” කියන්නේ එහි පෙරනිමිත්තක් ලෙස ය.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය වටහාගැනීම සඳහා සරල උදාහරණ කිහිපයක් දැක්විය හැකි ය. මහරගම නගරාධිපති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තැනැත්තෙකි. ඔහුගේ හැසිරීම ගත් කල සිහිපත් වන්නේ පුංචි හිට්ලර් කෙනෙකි. ඔහු සිය සේවකයන් දණගස්වා ඔවුනට දඬුවම් දෙයි. ඉන් නොනැවතී ඔවුනට පහර දෙයි. මේ පුද්ගලයා හඳුන්වන්නේ “මහරගම සෑර්” යන අනර්වර්ථ නාමයෙන් ය. මාවනැල්ල, අරණායක ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධය නියෝජනය කරන සාමාජිකයෙක් කසිප්පු ජාවාරමක යෙදී සිටිය දී අත්අඩංගුවට පත්විය. ඒකාබද්ධය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවකට එක් වී ඇති තවත් හිමි නමක අත්අඩංගුවට පත් වී ඇත්තේ පන්සලට පැමිණි දොළොස් හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක්කිරීම නිසා ය.

2015 ට පෙර මෙබඳු දූෂිතයන් බේරාගැනීමට නායකයෙක් සිටියේ ය. ඔහු ස්ත්‍රී දූෂකයන්ට හොඳින් සැලකුවේ ය. මිනීමරුවන් බේරාගත්තේ ය. පාතාල සාමාජිකයන්ගේ සැප - දුක සොයා බැලීමට රිමාන්ඩ් බන්ධනාගාරයට ගියේ ය. දේශපාලකයා දූෂිත නම්; ඔහු වටා පාතාලය රොක් වීම නතර කළ නොහැකි ය. මේ දෙපිරිස එකිනෙකා මත යැපෙති. පවුල්වාදී ආඥාදායක දේශපාලනය ගමන් කරන්නේ රටේ නීතිය අභියෝගයට ලක් කරන තැනකට ය. 2015ට පෙර පැවැති තත්ත්වය විමසන විට එය හොඳහැටි පැහැදිලි වෙයි. මේවා මත යැපුණු පිරිසට එම දේශපාලන පසුබිම අමතක කිරීම අසීරුය. මන්ද? ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එකී පරිසරය තුළ නිසා ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2014 දී හදිසි ජනාධිපතිවරණයකට යන්නේ ඒ සඳහා තවත් වසර දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබිය දීය. එබඳු තීන්දුවක් ගැනීමට සිදුවන්නේ ඇයි? එක අතෙකින් රටේ ආර්ථිකය පිරිහී තිබිණි. තව අතෙකින් වංචා දූෂණ හා අක්‍රමිකතා උත්සන්න වී තිබිණි. තවත් අතෙකින් ජාත්‍යන්තරයේ බලපෑම ද ප්‍රබලවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ශ්‍රී ලංකා රජයට එරෙහිව දිගින් - දිගට ම චෝදනා එල්ල කරන්නට පටන් ගත්හ. මීට අයත් වූයේ යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය වීම පමණක් නො වේ. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම, නීතිය හා සාමය ස්ථාපිත නොකිරීම, ජනමාධ්‍ය නිදහසට බාධා කිරීම ඇතුළු තවත් චෝදනා ගණනාවක් එකල රජයට එල්ල විය.

හිටපු ජනාධිපතිවරයා ඉහත අභියෝගවලට මුහුණ දී ගත නොහැකිව පැන ගියේ යැයි කියන්නට පුළුවන. එහෙත් අද වන විට එබඳු අවාසනාවන්ත තත්ත්වයක් දකින්නට නැත. ලෝක ණය කන්ද ඉතා සෙමෙන් වුව පහත් වෙන්නට පටන්ගෙන තිබේ. ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස පිළිගත්තේ ය. ඒ අනුව බලවත් රටවල් සමඟ ද, ජගත් සංවිධාන සමඟ ද එකඟතා ඇතිකරගන්නට වත්මන් ආණ්ඩුව සමත් විය. එක්සත් ජාතීන්ගේ 73 වන මහ සමුළුව ලබන සතියේ පැවැත්වීමට නියමිත ය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට සහභාගී වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වෙනුවෙන් ක්‍රියාකරන ආකාරය ද, සාමය හා සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාකරන ආකාරය ද මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. එය හොඳ අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය.

මේ අනුසාරයෙන් බලන විට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ කිසිදු අව්‍යතාවක් නැත. ආණ්ඩුව විසිරවීමේ අවශ්‍යතාවක් ද නැත. එහෙත් ඒ පිළිබඳ සිහින දකින කෙනකුට බාධා කිරීමේ අයිතියක් කිසිවකුට නැත.

 


නව අදහස දක්වන්න

Or log in with...