තරුලෙන්ගල | දිනමිණ

තරුලෙන්ගල

දින දෙකක් මුළුල්ලේ නිමක් නැතිව ගල් පඩි තරණය කර හුන් අපි යළිත් ඉද්ද ගැසුවාක් බදු පඩි පේලියක් පාමුල නිරුත්තරව සිටියෙමු. අවට පැවතියේ ස්වල්ප කලබලයකි. තරුණයන් බෞද්ධ කොඩි එල්ලමින් කිසිම කලබලයක් නොමැතිව සිටි අතර තනා නිම කළ කැරකෙන වෙසක් කූඩුවක් ද ඒ අසල විය. එතරම් ලකයක් දක්නට නැති හෙයින්ම තරුලෙන්ගල රජමහා විහාරයට නිදහසේ හුස්ම ගන්නට පුළුවන් පෙනුමක් මතුව තිබුණි. පෞරාණික බව ‍රැක ගැනීමට විශේෂ සටනක් නොකළ යුතු වූ හෙයින්ම බොහෝ ස්ථාන පෙර ආකාරයෙන්ම පැවතීම ගැන මනසින් සටහනක් තබා ගතිමි.

මොණරාගල පොතුවිල් මාර්ගයේ හුලංනුගේ හන්දියේ සිට බක්මිටියාව මීරහල දක්වා ඇති මාර්ගයේ ගමන් කළ විට තරුලෙන්ගල රජමහා විහාරය හමු වේ. මෙය ප්‍රකට ආසියාවේ පිහිටි විශාලම කටාරම් කොටන ලද ලෙන් විහාරය ලෙස ය. අඩි 512ක් දිගැති ලෙන් ඇතුළත රහතන් වහන්සේලා භාවනාවේ යෙදුණු බව ජනප්‍රවාදවල සඳහන්ය. මහත් සිහිලසක් දැනෙන අයුරින් සකස් කළේ කුටි අදටත් ඒ බව ඔප්පු කර පෙන්වීමට සූදානම් ශරීරයෙනි. ඊට දෙස් දෙන්නට ආරණ්‍ය කුටි, පාදම, භෝජන ස්ථානවල ශේෂ හිස බාගත්වනම සිටිනු දුටිමි. මද නැග්මකින් පසු හමුවන විහාරගෙය ඉදිරිපිට ඇත්තේ නිධන් හොරුන්ගේ නොවක් වධ හිංසා විද, ඉනුත් නොසැලුණු ලංකාවේ දෙවැනි විශාලතම මැටි බුදු පිළිම වහන්සේ ය. එහි දිග අඩි 41කි.

ප්‍රවාදවලට අනුව පිරිනිවන් මංචකය නිරූපණය කරන පිළිම අතරින් දැනට ඉතිරිව පවතින එක් පිළිමයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තෙවසරක් ඇතුළත මේ පිළිමයේ සංරක්ෂණ කටයුතු අවසන් කිරීමද පැසසුම් ලැබිය යුතු කටයුත්තකි. එතැන් සිට බෑවුම දෙස බැලූ විට දක්නට ඇත්තේ සුවිශාල වැවකි. මේ විහාරය, මහා වැවද කරවා මත්තා උපාසිකාව විසින් සංඝයාට පූජා කරන්නට යෙදුණු බවව සාක්ෂි සැපයීමට ඉදිරියට පැමිණෙන්නේ ශිලා ලේඛන ය.

මේ ස්ථානයේ පිහිටි ශිලාලේඛන ත්‍රිත්වයක් මේ වන විට පිටපත් කර ඇති අතර එහි කාල නිර්ණය ක්‍රි:ව: 2-3 සියවසට හිමි බවට අනුමාන පවතී. එතරම් විශාල වපසරියක විහිදුණු වැවක් සමඟ මහා විහාරයක් පූජා කිරීම එකල බෞද්ධාගම කෙරෙහි පෝසතුන් තුළ පැවති ශ්‍රද්ධාවත්, එවක පැවති සම්ප්‍රදායනුත් ගැන කෙටි ඉඟි සපයන සුළුය. තරුලෙන්ගල රජමහා විහාරයට පිවිසෙන පියගැටපෙළේ ද අමුතු විශේෂත්වයකි. සෑම පියගැටකම සිමෙන්තියෙන් තැනූ, පියගැටටම ඔබ්බවූ සටහනකි. ඉන් කියැවෙන්නේ මියගිය ඥාතියකුට පින් පිණිස ඒ පියගැට තැනූ බවකි.

බුදු පිළිමයෙන් උඩට ඇති තියුණු නැග්මේ කෙළවර ආසියාවේ විශාලම කටාරම් කොටන ලද ලෙන් විහාරය සම්මුඛ වීමය. ගල් පඩි සහිත සමාන්තර නැගීමකට පසුව හමු වන තියුණු නැග්ම බිය උපදවන සුළුය. ඔබේ ඉවසීමත්, ශරීර ශක්තියත් පරික්ෂාවට ලක් කෙරෙන සුළුය. යම් මොහොතක පය ලිස්සා ගියොත් ඉරණම තරමක් භයංකාරය. දෙපස අත්වාරුවට තැනූ කේබල්වල අධාරයෙන් කළු ගලේ කෙටූ පියගැට මතින් නැග්ම අසීරු ය. ඉනුත් සෑහීමකට පත් නොවන හෙයින් ආධාරක රහිතව සුවිශාල කළුගල් මතින් බෑවුමේ ඇවිද යාම් ය.

ශුෂ්ක පරිසරය ය. දාහය හැන්දෑව නොතකමින් ඔබේ සිරුරට වධ වේදනා පමුණුවන්නට පටන් ගනී. සියොළඟ තෙතබත් කරමින් කඩා හැලෙන දහදිය මද උමතුවකින් ජලය සොයන්නට පටන් ගනී. මදි පාඩුවට දෙපස පිහිටි ඉලුක් සහ මානා පඳුරු ද ඇගේ එල්ලෙන්නට බලා හිඳියි. එහෙත් කිසිවකු ගමන නවත්වන්නට සූදානම් නැති සැටියකි. ගමනින් අඩකුත් තවත් ස්වල්පයකුත් ගිය තැන පිහිටි සුවිශාල බුදු පිළිමය කරුණාබරිතව දැවැන්තව පැතිරුණු වැව දෙස බලාගෙන සිටියි. ඊට හූවක් දුරින් සරුසාර කුඹුරුය. නිස්කාන්සුවේ උලා කමින් හිස සොලවමින් ඉන්නා ගව මහීෂාදීන් ය. බුදු පිළිමයෙන් වමට හැරුණු තැන තවත් මද නැග්මකි. එතැන සුදෝසුදට බැබළෙන වෛත්‍යයකි. ඒ කුඩා ය. පාදමේ තැනින් තැන නෙළුම් මල් ඔබ්බවා ඇති හෙයින් වඩා අලංකෘතය.

ලෙන් ඇතුළත පෘෂ්ඨයේ යම් බදාමයක් ආලේප කර ඒ මත චිත්‍ර ඇඳ තිබූ බවට වියැකී ගිය සාක්ෂි හමුවෙයි. සත්ත්ව රූප, මිනිස් රූපවල ශේෂ වඩා හොඳින් බැලූ විට හමු වෙයි. තැනින් තැන ගැලැවී ගිය බදාම ඒ නිරීක්ෂණය අවුල් කර දමන මුත් එවක මේ ලෙන්වල ජීවිතය කෙබදුව ගෙවෙන්නට ඇත්දැයි කෙටි චිත්‍රණයකට මනසින් පිවිසෙන්නට ඉඩ අහුරන්නේ නැත. ගණව වැඩුණු වනාන්තරයක් මැද, අති දුෂ්කර පිවිසීමක් සහිත ගල්ලෙනක භාවනායෝගීව සිටීම එවක මහත් ආශිර්වාදයක් වන්නට ඇත. හාත්පස වගා බිම්වලින් අහර ලැබෙන්නට හෝ නොලැබෙන්නට හැකි මුත් ජලයෙන් නම් අඩුවක් තිබෙන්නට නැත. වඩාත් පුදුම එලවන කාරණය වන්නේ මේ සා සුවිසාල ලෙනක කටාරම් කෙටීමේ තාක්ෂණයයි. ඊටත් වඩා පුදුමය එලවන කාරණය වන්නේ මේ ලෙන් කෙළවර කාකවන්තිස්ස රජුගේ අත්සන සහිත ශිලා පතුරක් තිබීමය. අතීතය මෙතරම් නූතනවාදී විය හැකි ද යන උභ‍තෝකෝටිකයේ ගිලීමට දැන් ඔබට හැකිය.

නිශ්ශබ්දතාවයේ ගිලී සිටීමට වඩා කැමැති බවක් ප්‍රකට කළ තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනාධිපති බැලුම්මහර ශාන්තසිරි හිමියන් නිවිසැනසිල්ලේ කටහඬ අවදි කළේය.

"අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුලංනුගේ කියන ගමේ කරදහෙල කියලයි මෙතනට කියන්නේ. ඒ වුණාට කාවන්තිස්ස රජ්ජුරුවො කරපු හබුතගල විහාරය කියලයි සෙල් ලිපිවල තියෙන්නේ. පර්වත ලිපි 04ක්, ලෙන් ලිපි 03ක්, පියගැටපෙළ ලිපි 02ක් තියෙනවා. ඒවායේ කියවෙනවා මෙතන මහා අරියවංස දේශනාව තිබ්බයි කියලා. මේකට අරමුදලක් පිහි‍ටුවලා කහවණු පූජාවකුත් පැවත්වුණා කියලා කියනවා. ඒ වගේම වස් වසලා හිටපු සංඝයාට වැහි සළු පූජා කළා කියලත් කියනවා. වැව් කීපයක් පූජා කිරීමක් ගැනත්පියගැටපෙළ ළඟ තියෙන සෙල් ලිපියේ කියවෙනවා. මත්තා කියන උපාසිකාව ඒ වැව කරලා පූජා කළා කියලත් සඳහන් වෙනවා.

අඩි 175ක් දිග කටාරම් සහිත ලෙන ඇතුළේ තියෙන තියෙන පිළිම වහන්සේ දැනට ලංකාවෙ තියෙන පරණම පිළිම අතරට අයිතියි. ඒකෙ විශේෂත්වය මැටි ගඩොල් විතරක් පාවිච්චි කරලා හදලා තියෙන එකයි. දැනට ලංකාවෙ තියෙන පැ‍රැණිම පිරිනිවන් මංචක දෙකෙන් එකක් තියෙන්නෙත් මේ ස්ථානයේමයි. ඒ වගේම මේ පිරිනිවන් මංචකේ සිරිපතුලට පිටිපස්සෙන් ගල් බිත්තියේ චිත්‍ර වගයක් තියෙනවා. ඒ චිත්‍ර අතර ඇත්තු, අලි, කොටි, වලස්සු, මිනිස්සු, වැව් පොකුණු වගේම අක්ෂර දකින්න තියෙනවා. ඒවාවලින් වැඩි ප්‍රමාණයක් ප්‍රාග් ඓතිහාසික යුගයට අයිතියි කියලා අඳුනගෙනන් තියෙනවා.

මෙතනින් ඉහළට යනකොට අලුතින් හදපු බුදු පිළිමෙකුයි, චෛත්‍යකුයි හම්බ වෙනවා. එතනින් එතනින් කිලෝමීටර් තුන්කාලක් විතර ඉස්සරහට යනකොට පොඩි ගල් ලෙන් තුනක් විතර හම්බ වෙනවා. එතනින් තව ටිකක් උඩට ගියාම අඩි 700 ක් විතර විසාල පර්වතයක් හම්බ වෙනවා. ඒ පර්වතයේ අඩි 512 ක් එක දිගටම කටාරම කොටලා තියෙන්නේ. ආසියාවේ දිගම කටාරම් කපපු ගල්ලෙන විදිහට හඳුන්වන්නේ ඒකයි. ඒ ලෙන ඇතුළේ තියෙනවා ඉස්සර සැතපෙන්න වගේ හදපු ආසන. ඒ වගේම ඒ ආසනෙන්, ආසනේට පොළොව තට්‍ටුවෙන් තට්‍ටුවට පහත් කරලයි හදලා තියෙන්නේ. කුටි වෙන්කරගෙන තිබ්බ පොඩි බිත්ති කොටස් දකින්න තියෙනවා. මණ්ඩපයක වාගේ නටබුන් තියෙනවා. බිත්තිය සම්පූර්ණයෙන්ම කපරාරු කරලා තිබිලා තියෙනවා.

ඒ වගේම ලංකාවෙ මෙතෙක් හමු නොවිච්ච සලකුණු හතරක් මෙතනින් හම්බ වෙලා තියෙනවා. කටාරමට පහළින් සලකුණක් යොදලා තියෙනවා. ඒක කාවන්තිස්ස රජතුමාගේ අත්සන විදිහට තමයි දැනට හඳුනගෙන තියෙන්නේ. ඒ වගේ සලකුණු තුනක් තව ලෙන්වල පිහිටවලා තියෙනවා."

දැන් සියල්ලෝම ගිලී සිටින්නේ නොපෙනෙන තරම් ඈතට විහිදුණු අතීතයක ය.

"අක්කර 180ක විතර භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරේ කටාරම් කොටලා සකස් කරපු ගල් ලෙන් 36 ක් විතර තියෙනවා. පෞරාණික අතින් අවුරුදු 2000ට වඩා වැඩියි. මේවා දේවානම්පියතිස්ස යුගයේ පටන් අරන් කාවන්තිස්ස රජ්ජුරුවෝ නැවත ප්‍රතිසංස්කරණය කරලා පූජා කරන වෙලාවෙදි මිහිඳු රහතන්වහන්සේ, සංඝමිත්තා තෙරණිය ඇතුළු මහ රහතන්වහන්සේලා 500 නමක් වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම දු‍ටුගැමුණු විහාරෙ ඉදන් හබුතුගල විහාරෙට ගල් අතුරපු පාරක් තිබ්බා කියලා සඳහන් වෙනවා. කාවන්තිස්ස රජතුමා ජයරාම්පල ඉදන් සේනාව එක්ක ඇවිල්ලා මේ රාජ ලෙනේ හිටියා කියලා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ජයරාම්පල කියන්නේ දු‍ටුගැමුණු රජ්ජුරුවෝ අනුරාධපුරේ යුද්ධයට යන්න කලින් සේනාව සංවිධානය කරලා ජයගෝෂා නඟපු තැන හැටියට සඳහන් වෙනවා. කන්දේ තව දාගැබ් කීපයක නටබුන් තියෙනවා. ඒ වගේම විහාර, ආරාම ආදියේ නටබුන් දකින්න පුළුවන්"

දැන් ඉර අවරට ය. හීන් පොඳයක් දුවගෙන මෙන් අප පසුකර ගිය හෙයින් තියුණු නැග්ම වේගවත් බැස්මක් බවට ඉබේම පෙ‍රැලුණි.

කාංචනා අමිලානි
ඡායාරූප-එරන්ද හර්ෂණ


නව අදහස දක්වන්න

Or log in with...