හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කරන ශිල්ප අභිමානි - 2018 | දිනමිණ

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කරන ශිල්ප අභිමානි - 2018

වසර දහස් ගණනක පෞඪ ඉතිහාසයකට උරුමකම් ඇති ශ්‍රී ලංකේය අත්කම් හා කලා ශිල්පයන් සංරක්ෂණය හා පෝෂණය කරමින් ශිල්පීන්ගේ ආර්ථිකය හා සමාජීය තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් 1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභා හා අනුබද්ධ ආයතන පනත යටතේ, ජාතික ශිල්ප සභාව පිහිටුවා ඇත. ගෙවී ගිය දශක 4 කටත් වැඩි කාලය තුළ දේශීය හස්ත කර්මාන්තවල වටිනාකම් සංරක්ෂණය කරමින් හා සංවර්ධනය කරමින් එම ක්ෂේත්‍රයන්හි නියැළී සිටින ශිල්පීන්ගේ සුභසාධනය වෙනුවෙන් ජාතික ශිල්ප සභාව විසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබේ. එම මෙහෙවර මැනවින් සාක්ෂාත් කරමින් ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දෑතින් හැඩ වැඩ වූ විශිෂ්ට කලකෘති විදහා දැක්වෙන ශිල්ප අභිමානි- 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය සැත්තැම්බර් මාසයේ දී පවත්වනු ලබයි. මෙම ශිල්ප අභිමානි - 2018 ප්‍රදර්ශනය පැවැත්වීම උදෙසා ජාතික ශිල්ප සභාව සිදු කරන කාර්යභාර්ය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිය සවිමත් කිරීම සඳහා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දායකත්වය සපයා ගන්නේ කෙසේ ද? යනාදී කරුණු කිහිපයක් පිළිබඳව ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමිය වන හේෂානි බෝගොල්ලාගම මහත්මිය සමග සිදු කළ සාකච්ඡාවකි මේ.

ශිල්ප අභිමානි - 2018 ප්‍රදර්ශනය පැවැත්වීම උදෙසා ජාතික ශිල්ප සභාව සිදු කරන කාර්යභාර්ය කුමක් ද?

ජාතික ශිල්ප සභාව යටතේ දැනට කර්මාන්තකරුවෝ එසේත් නැත්නම් ශිල්පීන් 26,000 ක් ලියාපදිංචි වෙලා සිටිනවා.ජාතික ශිල්ප සභාව විදිහට අපි සංස්කෘතිය පැත්තෙන් සම්ප්‍රදායික හස්ත කර්මාන්තය රැක ගැනීම,ප්‍රචලිත කිරීම, වැඩි දියුණු කිරීම ආදිය අවුරුදු පතා සිදු කරනවා. එම පරමාර්ථය පෙරදැරිකර ගෙන අවුරුදු පතා දැනට කර්මාන්තයේ සිටින ශිල්පීන් ඇගයීමට ලක් කරනවා. අවුරුද්දේ මුල සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරුන් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරුන් සහභාගී කර ගනිමින් දිස්ත්‍රික්ක 25 ට ගිහිල්ලා ශිල්පීන් කැදවලා , වැඩමුළු පවත්වනවා. මේ අවුරුද්දේ තේමාව ලබා දී තිබෙන්නේ “ ස්වභාවදහමේ අනුප්‍රාණය“ ලෙසිනුයි. අවුරුද්දෙන් අවුරුද්ද අපි තේමාවන් වෙනස් කරනවා. කර්මාන්තකරුවන්ගේ නිර්මාණාත්මකභාවය වැඩි දියුණු කිරීම,සම්ප්‍රදායිකත්වය රැකීම, නිර්මාණවල ලාංකීයභාවය රැකීම යනා දී දෑ පිළිබදව දැනුවත් කිරීම තමයි අපගේ පළමු පියවර වන්නේ.

කර්මාන්ත අමාත්‍යංශය සමග එකතු වී පළාත් සභාවල, පළාත් සභා තරග පවත්වා , එහි දී ජයග්‍රහණය ලබා ගත් නිර්මාණකරුවන් ජාතික මට්ටමට ගෙන යාම අපගේ ඊළග පියවර වනවා. දැනට ශිල්පීන් 4000 ක් මෙම තරගය සදහා තරග වැදිලා තියනවා. ඒ වාගේ ම මෙම තරගයට නිර්මාණ 8000 ක් පමණ ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියනවා.

මෙවර ශිල්ප අභිමානි - 2018 ප්‍රදර්ශනය පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?

මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ සම්ප්‍රදායික ශිල්ප ක්‍රම රැක ගැනීමයි. ඒ සදහා සම්ප්‍රදායික ශිල්ප ක්‍රම ප්‍රචලිත කිරීම සිදු කළ යුතු වනවා. අපේ රටේ නිර්මාණකරුවන් කොතරම් ප්‍රමාණයක් සිටිනව ද?, එම නිර්මාණශිල්පීන්ගේ නිර්මාණ අගය කිරීම, පාරිභෝගිකයින්ට එම නිර්මාණවල කලාත්මකභාවය දැන ගැනීමට පුළුවන්කම ඇති කිරිම තමයි අපගේ පළමු පරමාර්ථය වන්නේ.

අපගේ දෙවන පියවර තමයි , යෞවන පරපුරට අපගේ හස්ත කර්මාන්ත දායාද කිරීම. ඒ සදහා ශිල්ප නවෝදා නමැති වැඩසටහනක් පසුගිය වසරේ දී පැවැත්වුවා. අප මෙම වසරේදී ශිල්ප අභිමානි- 2018 ට සමඟාමිව පාසල් සිසුන්ට වැඩමුළු පැවැත්වීම සිදු කරනවා. ඒ වාගේ ම දැනට ක්ෂේත්‍රයේ යෙදී සිටින අයගේ දැනුම වර්ධනය කිරීම , විශේෂයෙන් ම “ Export Market “ එක පිළිබඳව , සහ තමන්ගේ නිර්මාණ පරිසර හිතකාමී විදිහට සකස් කරන්නේ කොහොමද කරන්නේ කියලා දැනුවත් කිරීම සිදු කරනවා. විශේෂයෙන් මහනතාවගේ අවබෝධය සහ දැනුම වැඩි කිරීමත් ඒත් සමඟ ම දැනට කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදී සිටින අයගේ දැනුම වැඩි කිරීමත් සිදු කිරීම තමයි අපගේ බලාපොරොත්තුව වෙන්නේ.

පසුගිය වසරවලට සාපේක්ෂව , මෙවර ප්‍රදර්ශනයේ දී විශේෂයෙන් ඉස්මතු කරන්නට බලාපොරොත්තුවෙන් සිටින දෑ මොනවා ද?

අපි මූලිකව ම බලාපොරොත්තු වන්නේ දැනුම වැඩි දියුණු කර ගැනීමයි . ජනතාව එසේත් නැත්නම් පාරිභෝගිකයින් වශයෙන් දැනුවත්භාවයක් නැහැ. පාරිභෝගිකයින් වශයෙන් මුදල පිළිබඳව විතරක් නෙමෙයි, නිර්මාණවල පරිසර හිතකාමී බව පිළිබඳව හිතලා අවබෝධයෙන් යම් නිර්මාණයක් මිල දී ගන්නේ කෙසේ ද කියන එක මනාව වටහා ගන්න පුළුවන් වනවා. ඒ විතරක් නෙමෙයි , දැනට ක්ෂේත්‍රයේ සිටින ශිල්පීන්ට වෙළෙඳපළ ජය ගන්නා ආකාරයත්, වෙළෙඳපළ අවස්ථා ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෙවර ප්‍රදර්ශනයේ දී ඉන්දියාව,පකිස්ථානය,මැලේසියාව,බංලාදේශය, සහ නේපාලය යන රටවල් 05 ක සහභාගීත්වයෙන් ජාත්‍යන්තර අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ සහ එම රටවල අත්කම් නිර්මාණවල විවිධත්වය පිළිබඳව දැනුම හුවමාරුවීමක් සිදු වනවා. දකුණු ආසියානු රටවල ශිල්පවල වෙනස්කම්,ඔවුන්ගේ කර්මාන්ත සම්බන්ධ ගැටලු ය ගන්නා ආකාරය, වෙළෙඳපළ ජය ගෙන තිබෙන ආකාරය, පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගැනීම මෙහි දී සිදු වනවා.

සම්ප්‍රදායික හස්ත කර්මාන්තයට එහා ගිය නවීන දැනුම සහ තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙවර ප්‍රදර්ශනයේ දී දැක ගැනීමට හැකි වනවා ද?

අපි සෑම අවුරුද්දකම විවිධ වැඩසටහන් සිදු කරලා තියනවා. මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම සදහා නවීන තාක්ෂණය යොදා ගත යුතු වනවා. අත්කම් නිර්මාණ ක්ෂේත්‍රය තුළ දී සම්ප්‍රදායිකත්වය රැක ගෙන තමයි නවීන තාක්ෂණය භාවිත කළ යුතු වන්නේ. නවීන තාක්ෂණය “Information Tehnology“ භාවිතා කර ගනිමින් අපට බොහෝ දේවල් කර ගැනීමට පුළුවන්. දැන් ඕනෑම කෙනෙකු ළඟ මොබයිල් ෆෝන් එකක් තියනවා. ඒ වුනත් අපේ රටේ ෆේස් බුක් සමාජ ජාලය බොහෝ දෙනෙක් එලදායීව භාවිතා කිරීම පිළිබඳව දැනුවත්භාවයක් නෑ. ඒ වුනත් වෙනත් රටවල ෆේස් බුක් සමාජ ජාලය ව්‍යාපාරවලට උපයෝගී කර ගන්නවා. අපේ රටේ මෙම කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින අය අතරමැදියන්ගේ ගොදුරක් බවට පත් වෙලා තියනවා. සියයට දෙසීයක් තියලා තමයි තමන්ගේ නිර්මාණ විකුණන්නේ.

අපි දැනුවත්භාවයක් ලබා දීලා තියනවා වෙබ් අඩවි සහ ෆේස් බුක් මඟින් තමන්ගේ ව්‍යාපාර කර ගෙන යන්නේ කේසේ ද කියලා. ඒ මගින් නිර්මාණකරුවන්ට සෘජුවම ආදායමක් උපයා ගන්න අවස්ථාව හිමි වනවා. ඒ සඳහා විශේෂයෙන් “ ශිල්ප සවිය “ යනුවෙන් අලුත් වැඩසටහනක් දියත් කරලා තියනවා. පසුගිය වසරේ දී ආරම්භ කරන ලද ශිල්ප සවියෙන් , තෝරා පත් කර ගෙන සිටි අයගෙන් ශිල්ප අභිමානයෙන් ජයග්‍රහණය කළ 30 දෙනෙක් පමණ පිරිසක් නවීන තාක්ෂණය ,Information Tehnology භාවිතා කරලා ව්‍යවසාහිකයින් , ව්‍යාපාරිකයින් බවට පත් වෙලා තියනවා. විශේෂයෙන් නිර්මාණකරුවන් ව්‍යවසාහිකාවන් බවට පත් වෙලා තියනවා. එවැනි අය අලෙවි අවස්ථා හිමි කර ගෙන තිබෙන ආකාරයත්, මෙවර ප්‍රදර්ශණයේ දී දැක බලා ගන්න පුළුවන්.

ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි නොවන ශිල්පීන්ට මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වීමට හැකි වනවා ද?

ප්‍රථමයෙන් ම මේ වසරේ දී ජාතික ශිල්ප සභාව සමඟින් එක් වී ලියාපදිංචි වීම අවශ්‍ය වනවා. ඉන් පසු ඉදිරි වසරවල දී පැවැත්වෙන ප්‍රදර්ශනවලට සහ අනෙකුත් වැඩසටහන්වලට සහභාගී වීමට පුළුවන්. ජාතික ශිල්ප සභාව විසින් අමුද්‍රව්‍ය ලබා ගැනීම පිළිබද වැඩසටහන්, පුහුණු කිරීමේ වැඩසටහන් පවත්වනවා. ශ්‍රී ලංකාව පුරා ජාතික ශිල්ප සභාව විසින් පුහුණු මධ්‍යස්ථාන 112 ක් ස්ථාපිත කරලා තියනවා. ගුරු ශිල්ප පුහුණු වැඩසටහන් 75 ක් පමණ තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයෙන් ම නවකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන තිබෙනවා. ජාතික ශිල්ප සභාව විසින් අමුද්‍රව්‍ය ලබා ගැනීම , උපකරණ ලබා ගැනීමේ අවශ්‍යතාවන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිර්මාණකරුවකු වීමට අවශ්‍ය උදව් උපකාර ලබා දීම සිදු කරනවා. ඒ නිසා මෙම කර්මාන්ත ක්ෂේත්‍රයට පැමිණීමට ඇල්මක් දක්වන පුද්ගලයින්ට අපත් සමග සම්බන්ධ වෙන්න කියලා අපි කියනවා.

මෙම වසරේ දී ශිල්ප අභිමානි - 2018 ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කවදා ද?

මෙවර ශිල්ප අභිමානි - 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය සැත්තැම්බර් 12, 13,14,15 හා 16 යන දිනවල දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පරිශ්‍රයේ සෆායා , බැන්ක්වට් ශාලාවේදී පැවැත්වෙනවා. අප මහජනතාවට ආරාධනා කරනවා , මෙම ප්‍රදර්ශනයට පැමිණ උසස් නිර්මාණ දැක බලා ගන්න කියලා. මෙම ප්‍රදර්ශනයේ දී නිර්මාණ 8000 ක් ඉදිරිපත් වනවා, ඒ නිර්මාණවලින් 1500 ක් පමණක් තෝරා ගෙන ජනාධිපති සම්මාන ලබන තරගය සදහා ඉදිරිපත් කරනවා. මෙම ප්‍රදර්ශනයේ දී මහජනතාවට උසස්ම ගණයේ නිර්මාණ දැක බලා ගැනීම, ශිල්පීන් සමග කථා බහ කිරීම , සෘජුවම නිර්මාණ ශිල්පීන්ගෙන් නිර්මාණ මිල දී ගැනීම, ආදිය සදහා අවස්ථාව හිමි වනවා. ඒ විතරක් නෙමෙයි සවස් වරුවේ දී නරඔන්නන්ගේ රසාස්වාදය සදහා විශේෂ සංස්කෘතික අංග සංවිධානය කරලා තියනවා.

මෙම ප්‍රදර්ශනය මඟින් නිර්මාණ ශිල්පීන්ට ඉටු වන යහපත කුමක් ද?

මෙම ශීල්පීන් බොහෝ දෙනෙක් දුෂ්කර ගම්මානවල , දුෂ්කර ජීවිත ගත කරන අය.අපි ශිල්පීන් 26,000 ක් පමණ ලියාපදිංචි කරලා තියනවා. ඒ පිරිසගෙන් 75 % ක් කාන්තාවන්. එම කාන්තාවන් තමන්ගේ නිවෙස්වලට වෙලා තමයි නිර්මාණ සිදු කරන්නේ. ඔවුන්ට කොළඔ 07 ට ඇවිල්ලාකිය, තමන්ගේ නිර්මාණ එළි දක්වන්න පහසුකමක් නැහැ. තමන්ගේ නිර්මාණ අලෙවි කරන්න පහසුකමක් ඇත්තෙම නෑ. එවැනි කාන්තාවන් 4000 ක් පමණ මෙම ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා.තමන්ගේ නම, තමන්ගේ නිර්මාණයන්ට ස්ථානයක් , මේ ප්‍රදර්ශනයේ දී ලංකාවේ අගනුවර, කොළඔ 07 දී ලබා ගන්න පුළුවන්. මෙම අවස්ථාව ඔවුන්ට ලබා ගත හැකි ජයග්‍රහණයක් වගේ ම ආඩම්බරයක්.

විශේෂයෙන් ම , ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලමින් නව වෙළෙඳපළ ජය ගැනීම සඳහා, මෙම ප්‍රදර්ශනය තුළින් ඉටු කරන කර්යයභාර්ය කුමක් ද?

ශිල්පීන් නෙමෙයි , වැඩිපුර ඉන්නේ ශිල්පිනියන්. 75 % පමණ ශිල්පීන් සිටිනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් 51% ක් විශාල ක්ෂේත්‍රවල රැකියාවල නිරත වනවා. ඇගලුම් කර්මාන්තය, තේ කර්මාන්තය, විදේශ රැකියා යන ක්ෂේත්‍ර තුනටම වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කාන්තාවන්. නිවෙස්වලින් පිට වී ගිහින් තමයි කාන්තාවන් මෙම ක්ෂේත්‍රවල නියළෙන්නේ. එය සමාජයේ විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. මෙවැනි කාන්තාවන්ට නිවෙස්වල සිටිමන් තම පවුලට ආදායමක් උපයා ගැනීම සදහා ජාතික ශිල්ප සභාව විවිධ වැඩසටහන් දියත් කරලා තියනවා. පළාත් ප්‍රදර්ශන, පළාත් වෙළෙදසැල් අප පවත්වනවා. එහි දී ඔවුන්ට කිසිදු ගැටලුවකින් තොරව තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පුළුවන් වනවා. පරිසරයට ගැටලුවක් සිදු නොකර, පරිසර හිතකාමී දේවල් අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කර ගෙන සමාජයටත්, පරිසරයටත් කිසිදු හානියක් නොවන ලෙස තමන්ගේ භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්කම තියනවා.

ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අනාගතය පිළිබඳව ඔබට කිව හැක්කේ කුමක් ද?

ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට හොද අනාගතයක් තියනවා. යුද්දය අවසන් වීමත් සමග විවිධ සංස්කෘතික අංග කෙරෙහි මිනිසුන් නැඹුරු වීමක් දැක ගන්න ලැබුණා. විශේෂයෙන් ම යෞවන පරපුරෙහි නැඹුරු වීම අපට හොදින් දැක ගන්න ලැබුණා. ඒත් යෞවන පරපුර චිත්‍ර , සංගීතය, නැටුම් වැනි සංස්කෘතික අංගවලට වැඩි නැඹුරුතාවයක් දැක්වුවත්, පසුගිය අවුරුදු 05-06 කාලය තුළ හස්ත කර්මාන්තයට නැඹුරු වීම අඩු වීමක් දක්නට ලැබුණා. ඒකට හේතුව තමයි ඔවුන්ට හස්ත කර්මාන්තය සම්බන්ධ දැනුම අඩුකම. මෙම වසරේ පළමු වැනි වතාවට පාසැල් සිසුන් මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබදව දැනුවත් කිරීම සදහා “ ශීල්ප නවෝදා “ වැඩසටහන පාසැල් දරුවන් 30,000 කගේ සහභාගීත්වයෙන් පැවැත්වූවා. ශිල්ප නවෝදා සමස්ථ ලංකා හස්ත කර්මාන්ත තරගය සදහා 1000-1500 ක් පමණ පාසැල් දරුවන් ප්‍රමාණයක් තමයි අපි බලාපෙරොත්තුවෙන් සිටියේ . ඒ වුණත් පාසැල් දරුවන් 4000 ක් පමණ ප්‍රමාණයක් , අපේ පළමු ශිල්ප ශිල්ප නවෝදා සමස්ථ ලංකා හස්ත කර්මාන්ත තරගය සදහා එක් වි සිටියා. ඒ හින්දා වර්තමාන යෞවන පරපුර කර්මාන්ත ක්ෂේත්‍රයට තිබෙන නැඹුරුව පිළිබදව සතුටුයි. නවීන තාක්ෂණය යොදා ගෙන සම්ප්‍රදායිකත්වය රැක ගෙන, පරිසර හිතකාමීබව රැක ගෙන නිර්මාණශීලීත්වය මනාව රදා පවත්වාගෙන නිවෙස්වලට වී ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට තම වැඩ කටයුතු සිදු කර ගෙන යන්න හැකියාව පවතිනවා.

සාකච්ජා සටහන- මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න