සිනමා දිරියට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා | දිනමිණ

සිනමා දිරියට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

රජය ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය යෝජනා ක්‍රමවේදයෙන් සිනමා කර්මාන්තයේ නියැළී සිටින අයටත් ප්‍රතිලාභ හිමිවන අයුරින් එය පුළුල් කළ යුතු යැයි ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා යෝජනා කරයි.

සිනමා ක්ෂේත්‍රයට පැමිණ වසර පහක් වැනි ඉතාම කෙටි කාලයකින් චිත්‍රපට 16 තරම් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයා ලෙස වාර්තා තබා සිටින ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා, සිනමාශාලා හිමිකරුවකු සහ එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ද වේ.

කර්මාන්තයක් ලෙස සිනමාව ගතහොත් එහි නියැළී සිටින ප්‍රධානම පාර්ශ්වකරුවන් දෙදෙනා වනුයේ “චිත්‍රපට නිෂ්පාදකවරයා” සහ චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයන “සිනමාශාලා හිමියා” බව අවධාරණය කරන අරෝෂ ප්‍රනාන්දු මහතා, මේ දෙදෙනාගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන්නට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පෙලී සහන රජයේ ණය යෝජනා ක්‍රමවේදය පුළුල් කළ යුතුව ඇතැයි යෝජනාකොට සිටියි.

මෙම අනගි යෝජනාව සාර්ථකව ක්‍රියාවට නැංවීමට රජය සාධනීය ක්‍රියාමාර්ග ගතහොත් එතුළින් දේශීය සිනමාව කර්මාන්තයක් ලෙස නඟාසිටුවීමටත්, ඊට වසන්තය එක් කිරීමටත් හැකිවන බවද අරෝෂ ප්‍රනාන්දු මහතා පෙන්වාදෙයි.

කොළඹ ආනන්ද විදුහලින් මූලික අධ්‍යාපනය ලබා, ඕස්ට්‍රේලියාවේ සුවින්ග්බුනේ සහ ආර්. එම්. අයි. ටී. විශ්වවිද්‍යාලවලින් උපාධි පහක් ලබාගෙන ඇති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, විදුලි සංදේශ, ව්‍යාපාර කළමනාකරණය, ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර රැසක පුළුල් දැනුමක් ඇති විද්වතෙකි. ඔහු ජාත්‍යන්තර තරුණ නායකත්ව සහ ව්‍යවසායක බලගැන්වීම් සඳහා වූ සමුළු, සංවාද මණ්ඩපවලට අප රට නියෝජනය කළ අයෙකි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම, ඉන් රටේ ආර්ථිකයට සිදු කළ හැකි බලපෑම, සිනමා කර්මාන්තයේ වසන්තය ඇති කිරීම ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අරෝෂ ප්‍රනාන්දු මහතා දක්වන අදහසුයි මේ.

අපේ රට දියුණුවෙමින් පවතින රටක මට්ටමේ සිට දියුණු වූ රටක් බවට පත්කිරීමට වසර 70ක නිදහස් ශ්‍රී ලංකාව පාලනය කළ විවිධ රජයන් කටයුතුකොට තිබේ. රටේ මූලික ආර්ථික යටිතල පහසුකම්, මංමාවත්, අධිවේගි මාර්ග, සන්නිවේදන, විදුලිබල, වරාය, ගුවන්තොටුපළ දියුණු කිරීමට සෑම රජයක්ම අඩු වැඩි වශයෙන් කටයුතු කොට ඇත.

එමෙන්ම රටේ වටිනාම සම්පත වන මානව සම්පතේ වටිනාකම්, කුසලතා හැකියාවන් වැඩිදියුණු කර ගැනීම උදෙසා ද රජයන් විවිධ පියවරගෙන ඇත. නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය, සෑම දරුවකුටම අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කිරීම ඇතුළු වසර 2030 වනවිට අප විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැක්මන්ට අනුව ළඟාකරගත යුතු සහශ්‍ර සංවර්ධන ඉලක්ක, අභිමථාර්ත 17ක් ජයගැනීමට වැඩකටයුතු කරමින් සිටියි. මේ සියලු ජයග්‍රහණ රටට, රටේ ජනතාවට ලබාදීමට විවිධ රජයන් ගත් උත්සාහයන් අතර, රටේ නව ව්‍යවසායක පාරාදීසයක් බිහිකිරීමට මුල් තැන ලබාදුන් ප්‍රමුඛතම වැඩපිළිවෙළක් ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය යෝජනා ක්‍රම හැඳින්විය හැකිය.

පුරා දශක තුනක් තිස්සේ මහා විනාශකාරී අඳුරු, ම්ලේච්ඡ යුද්ධයක් පැවැති රටේ මේ වනවිට සාමය ස්ථාපිත කොට වසර 09ක් ඉක්ම ගොස් ඇත. එනමුත්! සැබෑ ලෙස රටේත්, ජනතාවගේත් ආර්ථික දියුණුවට අප අප රටේ දසත විසිරී තිබෙන භෞතික හා මානව සම්පත හරිහැටි යොදා ගැනීමට අපොහොසත්ව ඇත. ඒ බව කිවයුතුව ඇත්තේ කනගාටුවෙනි.

රටේ සාමය, සහජීවනය ස්ථාපිත වී ඇති මොහොතක, එම වාසිය රටේ සෑම අංශයකම දියුණුවට යොදාගැනීමට අප සූදානම් විය යුතුය. ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම ඉතා වටිනා ආකාරයට පෙළගස්වා ඇත. එය අගය කළ යුතු කරුණකි. මෙම පෙළගැස්සවීම වඩාත් අර්ථාන්විත කිරීම උදෙසා යම් යම් යෝජනා රජයට ඉදිරිපත් කිරීම අපගේ වගකීම වේ.

ඒ අනුව සිනමා කර්මාන්ත‍ය දියුණු කරලීම හරහා පොදුවේ රටේත්, රටේ ජනතාවගේත් ආර්ථික දියුණුව සැලසීම මෙන්ම පොදු ජනතාවගේ විනෝදාස්වාදය හා සතුට, ප්‍රීතිය ඇතිකොට මානසික සුවතාවය ආරක්ෂා කිරීම උදෙසා මේ යෝජනා ඉදිරිපත් කරන්නෙමු.

ලෝකයේ ඕනෑම රටක ජනතාවගේ මානසික ආතතිය, අවිවේකය දුරු කිරීමට යොදාගන්නා එක් ක්‍රමවේදයකි, සිනමා කර්මාන්තය තුළින් ජනිත චිත්‍රපට නැරඹීමට ඉඩකඩ ලබාදීම යැයි කිවහොත් ඊට වාදයක් ඇති නොවේ.

ඉන්දියාවේ ආර්ථික හා මානව සුවය රැකගන්නා ප්‍රබලතම කර්මාන්තයකි සිනමා කර්මාන්තය. එමෙන්ම ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ පවා එසේම වේ. අප රටේ ද පොදු ජනතාවගේ සුවය සඳහා විනෝදාස්වාදය සඳහා හොඳ, උසස් ගණයේ චිත්‍රපට නිෂ්පාදනය කළයුතුය. මේ අන්දමේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට දැනට ක්ෂේත්‍රයේ සිටින නිෂ්පාදකයින්ට මේ කර්මාන්තයට ප්‍රවේශවීමට කැමැති නිෂ්පාදකයින්ට රජය මූල්‍ය පහසුකම් ලබාදිය යුතුය.

උසස් හා පවුලේ සැමට එකට සිට රසවිඳිය හැකි චිත්‍රපට බිහිවිය යුතුය. ඒවා රසවිඳීමට සිනමාශාලාවකට ගියවිට, එම අත්දැකීම් විඳ ගැනීමට ප්‍රේක්ෂකයාට ඉහළ පහසුකම් සැපයිය යුතුය. මේ දෙයාකාර ක්‍රියාකාරකම ඉටු නොවන විට සිනමාශාලා වැසීයාම, ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඈත්වීම සිදුවීම වැළැක්විය නොහැකිය. ඒ අනුව නව සිනමා නිෂ්පාදකයන්ට පහසු හා සරල ක්‍රමවේද සහිතව චිත්‍රපට නිපදවීමට අරමුදල් සැපයීමට රජය යම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු යැයි යෝජනා කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමු.

ස්කෝප් සිනමා සමාගමේ සභාපති නවීඩ් කාදර් මහතා,

ඇත්ත වශයෙන්ම රටේ සිනමාවේ දියුණුවට අත්‍යවශ්‍යයම සේවාවක් ලෙස උසස් රස වින්දනයකින් යුතුව චිත්‍රපටයක් නැරඹීමට ප්‍රේක්ෂක ජනතාවට අවශ්‍ය පහසුකම ලබාදීම හැඳින්විය හැකිය. මේ යටිතල පහසුකම් ලබාදීම සඳහා අප රටේ සෑම සිනමාශාලාවක්ම ඉක්මනින් වැඩිදියුණු කළ යුතුය.

අප අද ලෝකයේ දියුණු රටවල සිනමා පට නරඹන ප්‍රේක්ෂකයින්ට අත්විඳීමට ලැබෙන පහසුකම් අප රට තුළ සිනමාශාලාවේදී ලබාදීමට හැකිවන සේ සිනමාශාලා වැඩිදියුණු කරමින් සිටියි. ඒ අනුව කොළඹ, කොල්ලුපිටිය ලිබර්ටි සිනමාශාලාව වැඩිදියුණු කර ඇත.

ඊට අමතරව කොළඹ අලුතින්ම ගොඩනැඟෙන මහා මන්දිරයක් බඳු වූ කොළඹ සිටි සෙන්ටර් හි නවතම පහසුකම් සහිත සිනමාශාලා 06ක් ඉදිකොට ඇත. ඒ සඳහා රුපියල් මිලියන 350ක ආයෝජනයක් සිදු‍කොට ඇත.

සිනමාශාලාවල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ හැරවුම් ලක්ෂය ලෙස අප ලිබර්ටි සිනමා ශාලාවේ කළ වෙනස්කම් දක්වන්න පුළුවන්. අපි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයාට ඉහළ, ගුණාත්මක සේවාවක් ලබාදීමට කැපවූ පරම්පරාවක්. අපේ සීයා ජබීර් කාදර්, මාගේ තාත්තා ඉමිතියාස් කාදර්, දැන් මම තුන්වැනි පරම්පරාවේ අය ලෙස මේ කර්මාන්තයේ යෙදී සිටිනවා.

අපේ රටේ සිනමා කර්මාන්තය දියුණු වුණොත් සිනමා ක්ෂේත්‍රයේ විශාල පිරිසකට ආදායම් මාර්ග සැලසෙනවා. රංගන ශිල්පීන්, තිරරචකයෝ, අධ්‍යක්ෂවරු, කාර්මික වේෂ නිරූපණ ශිල්පියෝ, දුර බැහැර පළාත්වල ජනතාව, රූගත කරන ප‍්‍රදේශවල අයට පවා ආර්ථික වාසි අත්වෙනවා.

අපේ ‍රටේ රංගන ශිල්පීන්ට, පිටරට චිත්‍රපටවල රංගනයන්ට එක්වීමට අපේ අධ්‍යක්ෂවරුන්ට ජාත්‍යන්තරයට යන්න පවා මේ දේ උදව් වෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රදර්ශකයෝ පිළිබඳව වඩාත් මිත්‍රශීලී හා යහපත් ආකල්පයකින් බලන්න ඕනෑ. ඒවාගේම ඔවුන් ඉටුකරන සේවය අගය කරන්න ඕනෑ. අපි අපේ නවතම සිනමාශාලා මේ මාසය නිමාවීමට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.

සිනමාශාලාවේ පුටු, තිරය, ශබ්ද පරිපාලනය, ආලෝකකරණය ගැන පමණක් නොව චිත්‍රපටය නැරඹීමට එන අයගේ ආහාරපාන අවශ්‍යතා පවා ඉතා සැලකිල්ලෙන් ඉටු කිරීමට අප මේ සිනමාශාලා තුළ කටයුතු යොදා ඇතැයි ස්කෝප් සිනමා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි හා අධ්‍යක්ෂ තුෂාන් රංගන මීමනගේ මහතා ප්‍රකාශ කෙළේය.

තුෂාන් මීමනගේ මහතා කලක් ඊ. ඒ. පී. සිනමා මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු වූවේය.

ලෝකයේ ඉතාම දියුණු සිනමාශාලාවක චිත්‍රපටයක් නරඹන ප්‍රේක්ෂකයකු ලබන අත්දැකීම, ඒ අයුරින්ම අප සිනමාශාලා හයේ චිත්‍රපට නරඹන අයෙකුට ලබාගත හැකිය. එවැනි අත්දැකීමක් අප රට තුළ ප්‍රේක්ෂකයකුට ලබාගත හැක්කේ අප සිනමාශාලාවලදී පමණක් යැයි කීවද එහි වරදක් නැත.

සිනමාශාලා වෙත වැඩි ප්‍රේක්ෂක පිරිසක් කැන්දා ගනිමින් රටේ සිනමා කර්මාන්තය දියුණු කිරීමට රජයට වැදගත් යෝජනා මාලාවක් විද්වත් කමිටුවක් විසින් භාරදී තිබේ. එම කමිටු වාර්තාව ඉක්මනින් ක්‍රියාත්මක කළහොත් රටේ ආර්ථිකය, සිනමා කර්මාන්තය තුළින්ද විශාල දියුණුවක් ලබාගනු ඇත.

ජයසිරි මුණසිංහ


නව අදහස දක්වන්න

Or log in with...