වැඩිහිටි වන්දනාව නොදත් උගත්තු! | දිනමිණ

වැඩිහිටි වන්දනාව නොදත් උගත්තු!

පුවත්පත් වාර්තාවක් පාදකකොට අද අපගේ වැකිය පෙළගස්වන්නට කැමත්තෙමු. පළමුව වාර්තාවට අදාළ සිද්ධිය දෙසට අවධානය යොමු කිරීම වැදගත් ය. එම සිද්ධිය මෙසේ ය. හෙට්ටිපොළ පොලිස් ස්ථානයේ නිලධාරීහු නගර සංචාර මෙහෙයුමක නිරත වූහ. හෙට්ටිපොළ නගරය නරක එකක් නොවූවද අයාලේ ගිය තරුණයන් පස්දෙනකු පොලිස් භාරයට ගැනිණි. සැක සහිත ලෙස හැසිරීම, රංචු ගැසීම හා ගංජා නම් තහනම් මත්ද්‍රව්‍ය තබාගැනීමත් ඔවුනට එරෙහිව නැඟුණු චෝදනා විය. ගංජා සුරුට්ටු ළඟ තබාගත් දෙදෙනා උසාවියට ඉදිරිපත් කිරීමට තීන්දු වූ අතර සෙසු තිදෙනා නිදහස් කිරීම සඳහා චූදිතයන්ගේ මාපියන් පොලිසියට කැඳවන ලදී.

හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපතිගේ ඉලක්කය වූයේ චූදිතයන්ට වැඩිහිටි කරුණාව ලබාදී ඔවුන් සුමඟට ගැනීම ය. ඒ අනුව චූදිතයන් සියලු දෙනාට ම නියම වූයේ මවට හා පියාට දණ නමස්කාරකොට අදාළ ගාථා ශබ්ද නඟා කියවා වැඩිහිටියන් කමා කරවා ගැනීමය. චූදිතයෝ හතරදෙනෙක් මවට හා පියාට වඳින ගාථා කියා ඔවුන් කමා කරගත්හ. එහෙත් එක් තරුණයෙක් පොලිස් අණට කීකරු නොවී එහෙට - මෙහෙට ඇඹරෙන්නට විය. පොලිසිය කරුණු විමසනවිට පැහැදිලි වී ඇත්තේ එම තරුණයා මවට වඳින ගාථාව හෝ පියාට වඳින ගාථාව හෝ නොදන්නා බව ය. පුදුමයකට මෙන් ඔහු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය ජයගත් තැනැත්තෙකි.

ඉහත කී වාර්තාවේ වැදගත්ම පණිවිඩය ලෙස අපට පෙනීයන්නේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවන දරුවන්ගේ තත්ත්වය සතුටුදායක නොවන බව ය. දැනට බැලූබැල්මට පෙනීයන්නේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගෙන් බහුතරය ළඟ විනය නැති බව ය. ශික්ෂණය නැති බවය. ඒ පමණක් නොව ඔවුන්ට ප්‍රතිපත්තියක් නැති බව ද බොහෝ අවස්ථාවලදී පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව පමණක් නොව; මුළු ආසියාවේම සංස්කෘතික චර්යාවන් පෙළගැසී ඇත්තේ වැඩිහිටියාට හා ප්‍රවීණයාට ගෞරව දක්වන ආකාරයෙන් ය. අපේ පැවැත්ම රැඳී ඇත්තේ ද ඒ මතය. ඒ අතර ශ්‍රී ලංකාවේ විශේෂය වන්නේ බෞද්ධ සම්ප්‍රදායට අනුව මවට මෙන්ම පියාට ද වන්දනා කරන ගාථා තිබීම ය. මේ ලක්ෂණය වෙනත් කිසිදු සංස්කෘතියක දකින්නට නොලැබෙන බව අපගේ පිළිගැනීම ය.

හෙට්ටිපොළ සිද්ධිය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ උගත් සමාජය ගැන ද, පොදු සමාජය ගැන ද යම් තීන්දුවක් ගත හැකි ය. හැබෑවටම ගතහොත් අපේ සමාජයේ හර පද්ධතීන් බිඳවැටී ඇත. සාරධර්ම පිරිහී ඇත. ඉහත සිද්ධියට සමාන සිදුවීම් දිනපතාම වාර්තා වන බව ජනමාධ්‍ය ඇසුරු කරන අය හොඳින් දනිති. මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා රජය උපරිම ශක්තිය හා උපායමාර්ග යොදවා ඇති නමුදු තවදුරටත් මත්ද්‍රව්‍ය භාවිතය රට තුළ තිබේ. හිරගෙදර සිට පවා එය මෙහෙයවන පාතාල නායකයෝ අපට සිටිති. මේ තත්ත්වය ඇතිවූයේ දීර්ඝ කාලයක සිට ඒවා නොසලකා හැරීම සහ ඇතැම්විට දේශපාලකයන්ගේ සහයෝගය මේ සදාචාර විරෝධී ක්‍රියා සඳහා ලැබීම නිසා ය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ චර්යාව ගතහොත් එය ගැන සෑහීමකට පත්වීමට සාධක නැත. එක අතෙකින් නවකවදය ක්‍රියාත්මක කරමින් ප්‍රචණ්ඩකාරී දේශපාලනය කරා පිරිස් ඇද ගැනීමේ ක්‍රියාවලියක් දියත් වෙයි. තව අතෙකින් බලනවිට ශිෂ්‍ය ප්‍රජාව ඉගෙනීම පසෙක තබා රජයට එරෙහිව විරෝධතා දැක්වීමට පාරට බැස සිටිති. කොටින්ම බුද්ධිමත් ප්‍රජාවගේ විශාල කඩාවැටීමක් අපට දකින්නට ලැබේ.

රටේ සදාචාරය ගොඩනැඟීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතු බව රජය විශ්වාස කරයි. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා විශේෂ පියවර ගෙන ඇත. දහම් පාසල් අධ්‍යාපනය නැංවීම සඳහා තවත් පියවර ගෙන ඇත. නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා අධිකරණ පද්ධතිය සවිමත්කර ඇත. සංහිඳියාව ගොඩනැඟීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. දේශපාලන සදාචාරයක් ඇති කිරීම සඳහා ද වත්මන් ආණ්ඩුව ක්‍රියාකර තිබේ. එහෙත් මේවාට එරෙහිව විපක්ෂ දේශපාලන ව්‍යාපාර හඬනඟයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ අධිකරණයේ ප්‍රතිසංස්කරණ ගැන තමන් කළකිරීමට පත්වන බව ය.

පවත්නා තත්ත්වය ගතහොත් පන්සිල් පදපහ පිළිබඳව කියා ගත නොහැකි බෞද්ධ උපාසකයන් පමණක් නොව; භික්ෂූන් වහන්සේ ද දැකගත හැකි ය. කතෝලික පල්ලියට යන සමහරු බයිබලය නොකියවති. ඉස්ලාම් අදහන සමහරු කුරානය නොකියවති. මේ සියල්ලෙන්ම පෙනීයන්නේ රටේ පිරිහීමය. ජනතාවගේ සදාචාරය කඩාවැටීමය. මේවා පිළිබඳ සමාලෝචනයක් සිදුවීම ඉතා වැදගත්ය. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය ඊ. එෆ්. ෂූමාකර් වරක් කියා සිටියේ රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන සාධකයක් වන්නේ ජනතාවගේ ශික්ෂණය හෙවත් විනය බවය. විනය නැති තැන රටක් නැති බව එයින් පැහැදිලිවේ.

මවට හා පියාට වඳිනා ගාථාව නොදන්නා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගැන අපි අනුකම්පා කරමු. එහෙත් ඒ අනුකම්පාව භූමිකම්පාවක් වීමට පෙර රටේ සදාචාරය ගොඩනැගීම සඳහා අප උනන්දුවිය යුතුය.

 


නව අදහස දක්වන්න

Or log in with...