බ්ලූ කාබන් පද්ධති වර්ධනයට අන්තර් ජාතික සහයෝගිතාව වර්ධනයට පියවර | දිනමිණ

බ්ලූ කාබන් පද්ධති වර්ධනයට අන්තර් ජාතික සහයෝගිතාව වර්ධනයට පියවර

බුද්ධිකා ඉඹුලාන

ශ්‍රී ලංකාවේ “Blue Carbon” පරිසර පද්ධති සංරක්ෂණය උදෙසා අන්තර්ජාතික සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳව වැඩසටහන ඇරැඹේ.

මෙම වැඩසටහනේ අදාල ගිවිසුම් හුවමාරු කිරීම පසුගියදා ඕස්ට්‍රේලියානු රජයේ නිළධාරින් සහ නාරා ආයතන නිළධාරින් අතර ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේදී සිදු කෙරිණි.

ලංකාව ඉන්දියන් සාගරයේ දූපතක් ලෙස පිහිටා තිබීමෙන් සමස්ත දිවයින වටාම සමුද්‍රිය පරිසර පද්ධතිය දක්නට ලැබෙන අතර එය අප රටෙහි ජෛව විවිධත්වය, සමාජ හා ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමට ඔසවා තැබීමට ඉවහල් වේ.කඩොලාන, මුහුදු,තෘණ, වගුරු බිම්, කලපු හා මෝය පරිසර පද්ධතීන් දිවයින වටා විශාල වශයෙන් ව්යාාප්තව ඇති අතර ඒවා ජෛව විවිධත්වය අතින් ඉතා ඉහල වැදගත් කමක් ගන්නා අතර එමගින් දේශගුණික විපර්යාස පාලනය, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම, ධිවර හා ආර්ථික කටයුතු නගා සිටුවීමට ඉවහල්වීම සහ අනෙකුත් පාරිසරික ආරක්ෂන සේවා ඉටු කිරීමට ඉවහල් වේ. එසේම මෙම පරිසර පද්ධතීන් මගින් වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතියේ කාබන් සංචිතය ඉහළ නැංවීම හා පරිසරය තුල සක්‍රියව කාබන් හුවමාරුව සිදු කිරීම උදෙසා වන මෙහෙය අති මහත්ය.මෙම පරිසර පද්ධතීන් මගින් තිර කර ගන්නා හා ඒ තුල සංචරණය වන කාබන් “Blue Carbon” ලෙස හැදින්වේ. ගොඩබිම පරිසර පද්ධතියට සාපේක්ෂව වෙරළ පරිසර පද්ධතිය තුල කාබන් සංචිතය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය දෙගුණයක සිට සිව් ගුණයක් දක්වා ඉහළ අගයක් ගනී.

ශ්‍රීලංකාව තුළ මානවක්‍රියාකාරකම් හේතු කොට ඉතා සීඝ්‍රයෙන් “Blue Carbon” පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් පවතින අතර ගොඩනැගිලි හා ධීවර කටයුතු සඳහා කඩොලාන හා ආශ්‍රීත පරිසර පද්ධතිය අවභාවිතය, තෙත් බිම්‍ ගොඩ කිරීම, නාවික/ධිවර කටයුතු සඳහා වෙරළ හෑරීම සහ ජලජ වගාවන් ආශ්‍රිත ඉඩම් අත්හැර යාම් වැනි ක්‍රියාකාරකම් මේ සඳහා තර්ජනයක් වෙමින් පවතී. එබැවින් ජෛව විවිධත්වය සුරැකීම, සමාජ ආර්ථික සහ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීම වැනි කරුණු සලකා බලා මෙම පරිසර පද්ධතීන් රැක ගැනීම ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් වන බව නාරා ආයතනය කියයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කාර්මික පර්යේෂණ සංවිධානය (Common Wealth Scientific & Industrial Research Organization- CSIRO) මගින් ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඇතිව පැවැත්වූ ඉන්දීය සයුරේ “Blue Carbon” පිළිබඳ සමුළුවට (Indian Ocean Conference on Blue Carbon - IORO) අනුව ශ්‍රීලංකාව තුළ“Blue Carbon” පරිසර පද්ධතිය සුරැකීම උදෙසා අන්තර් ජාතික මට්ටමේ සහයෝගීතාවය ඇති කිරීම සඳහා ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියානු රජය අතර පාර්ශවකරුවන් ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා ආයතනය) සහ පොදු රාජ්‍යමණ්ඩලීය විද්‍යා හා කාර්මික පර්යේෂණ සංවිධානය එකඟතාවය අත්සන් කිරීමට නියමිතව ඇත. එහිදී පාරිසරික වශයෙන් වැදගත් මෙහෙයක් ඉටුකරන මෙම “Blue Carbon” පරිසර පද්ධතිය රැක ගැනීම උදෙසා වන වැඩ පිළිවෙලයන් ලෙස දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, දැනුම හා තාක්ෂණය හුවමාරු කිරීම සහ පර්යේෂණ කටයුතු වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වේ. කඩොලාන, මුහුදු තෘණ, වගුරු බිම් ආදියේ කාබන් සංචිතය පිළිබඳ නව අධ්‍යයනයන් සිදු කිරීම, ගංඟා, ගං මෝය ආශ්‍රිත අධ්‍යයනයන් වැඩි කිරීම, කොරල් පරිසර පද්ධතීන් අධ්‍යයනය, දේශගුණික විපර්යාස හා තිරසාර ලෙස වෙරළ පරිසර පද්ධතිය සංවර්ධනයට අදාල අධ්‍යයනයන් කිරීම මෙහිදී අරමුණු කොට ඇත. මෙහිදී නාරා ආයතනය තුල තාක්ෂණික සම්පත් වැඩි දියුණු කිරීමට ද අවස්ථාවක් ලැබෙන අතර දෙපාර්ශවයන් අතර දැනුම හුවමාරුවට ද අවකාශ සැලසේ.

 

නව අදහස දක්වන්න