සමාජය නිසි මඟට මෙහෙයවීමට නීතියට වඩා දහම ප්‍රයෝජනයට ගත හැකියි | දිනමිණ

සමාජය නිසි මඟට මෙහෙයවීමට නීතියට වඩා දහම ප්‍රයෝජනයට ගත හැකියි

නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා අධ්‍යාත්මිකත්වය ගැන කතා කිරීම හරහා සමාජ ප්‍රවාහය නිසි මඟට හැරවීමට හැකි බවත් නීතිය තුළින් සමාජය මෙහෙයවනවාට වඩා දහම තුළින් එය සිදු කරන්නට හැකි බවත් අධිකරණ, බුද්ධශාසන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති එස්. දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවැසීය.

බෞද්ධ දර්ශනයට අනුව පින් පව් වල ආදීනව මෙන්ම අනිකුත් ආගම් වලින්ද ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය වටපිටාවත් ,එමඟින් ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වන ප්‍රශ්න යම් දුරකට මඟහරවා ගැනීමට අවශ්‍ය හැකියාව ලබා දෙන බවත් ඒ මහතා පැහැදිළි කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැසුවේ පදනම් ආයතනයේ දී පසුගියදා (10) පැවැති සිය දිවි නසාගැනීම් වැළැක්වීම පිළීබඳ වැඩසටහනට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ මහතා, මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය , මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සහ මෙම සිය දිවි නසා ගැනීම වැළැක්වීම පිළිබඳ වැඩසටහනට සමගාමීව පැවැත්වූ චිත්‍ර, පෝස්ටර් , කෙටිකතා , පද්‍ය නිර්මාණ ඇතුළු නිර්මාණයන්ගේ ජයග්‍රාහකයින් ද සහභාගී විය.එහිදී එම නිර්මාණකරුවන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය ද සිදු කෙරිණි.

එහිදී “ ජීවිතය ඔබේය(choose life)“ ග්‍රන්ථය එළීදැක්වීම සිදු වූ අතර

එහි විද්‍යුත් සඟරාව එළිදැක්වීම පට්ටියවල මහින්ද ස්වාමීන් වහන්සේ අතින් සිදු කෙරිණි.

“ජාත්‍යන්තර සිය දිවි හානි කරගරනීම වැළැක්වීමේ දිනය“ (සැප්තැම්බර් 10) වැනි දිනට සමගාමීව මෙම උත්සවය පැවැත්විණි.

එහිදී මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුර්ලභ, වටිනා , දුෂ්කරව ලබා ගත් දෙයක් බවත් මිනිස් ජීවිතය වගේම සත්ව ජීවිතද ආරක්ෂා කිරීම සහ බුදු දහම අනුව ක්‍රියා කිරීම සිදු කළ යුතු බවත්ය.එහිදී වැඩිදුරටත් ඒ මහත්මිය විසින් සිය දිවි හානි කර ගැනීමට බලපාන හේතු කිහිපයක් පෙන්වා දීම සිදු කෙරුණු අතර මෙම හේතු සඳහා ක්ෂණීක විසඳුම් සෙවීමට නොහැකි බවත් පැහැදිලි කළාය.ශ්‍රී ලංකාවේ වසරකට සිය දිවි නසා ගැනීම් 3000 කට වඩා සිදු වන බවත් බෞද්ධ රටක් ලෙස එය කණගාටුදායක තත්ත්වයක් බවත් මහත්මිය පැවැසුවා ය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

අද සිය දිවි නසා ගැනීම් මාතෘකාව ගැන කතා කරනවා. හෘද සාක්ෂීයට අනුව රටේ ප්‍රශ්න ගැන සංවේදිව ඇහුම්කම් දෙනවාද යන්න බලන්න අවශ්‍යයි. ජනතාවගේ ප්‍රශ්න , සමාජයේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම සිදු වෙනවාද යන්න පිළීබඳව අවධාරණය යොමු කළ යුතු යි.

අධිකරණය මිනිසුන් යම් තැනීමක් සිදු කරනවා , බුද්ධ ශාසනය සිත, කය, වචනය දමනය කරගන්න ආකාරය කියා දෙනවා. නීතිය තුළින් සමාජය මෙහෙය වනවාට වඩා දහම තුළින් එය සිදු කරන්නට පුළුවන්. නීතියට වඩා අධ්‍යාත්මිකත්වය ගැන කතා කිරීම හරහා සමාජ ප්‍රවාහය හරවන්නට පුළුවන්.අට ලෝ දහමින් කම්පා වන සමාජයක් සකසා තිබෙනවා ද? එම ප්‍රශ්නයට කතා කලහොත් වැරදුණ තැන සොයාගන්නට පුළුවන්.මේ සඳහා වැදගත් වන්නේ බුද්ධ දර්ශනය වගේම අනිකුත් ආගම් වලද කතා කරන චේතනාව කියන මාතෘකාවයි .නීතිය පැත්තෙන් චේතනාව කියන දේට විවිධ අර්ථකතන ඉදිරිපත් කරනවා. ඒ වගේම අධ්‍යාත්මික පැත්තේන්ද චේතනාව සඳහා විවිධ අර්ථකතනයන් ඉදිරිපත් කරනවා. සියයට සියයක්ම සුපිරිසිදු සමාජයක් තිබුණේත් නැහැ.එදත් අදත් විෂමාචාර ක්‍රියාවන් සිදු වෙනවා. ආණ්ඩුව රජයක් ලෙස ප්‍රතිපත්ති සකස් කරන්නට පුළුවන් . නමුත් සමාජයේ කතිකාවතක් නැතිව එය සිදු කරන්නට බැහැ.

අද ලෝකයේ ලක්ෂ 10 කට ආසන්න පිරිසක් සිය දිවි නසා ගැනීම් සඳහා පෙළඹීලා තිබෙනවා. 2020 වන විට මෙම ප්‍රමාණය මිලියන 1.5 ක් පමණවේ යැයි අනුමාන කරනවා.

අද දරුවා යාන්ත්‍රීකරණය වීම වළක්වන්න බැරි වෙලා. නූතන විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවේ බලපෑම මේ සඳහා මූලිකම පැතිකඩ වී තිබෙනවා. අද අධ්‍යාපන ක්‍රමවේදය තරගකාරී වෙලා. නිර්මාණශීලී දරුවෙක් බිහි කරන්නේ නැහැ. කෘතීම දරුවෙක් බිහි කරන්නේ.

අද ගම් වල ළමයි දහම් පාසැල් යන්නේ නැති තත්ත්වයට පත් වෙලා. පළමු වසරේ සිට උප කාරක පන්ති සඳහා යොමු වෙලා.මේවායින් ලබා ගන්න ප්‍රතිඵලය කුමක් ද යන්න පිළිබඳව විග්‍රහයක් කළ යුතු වෙනවා.මීට වඩා වැඩි අවධානයක් මේ සඳහා යොමු කළ යුතු වෙනවා.

ග්‍රාමීය ජනතාව බලාපොරොත්තු වන සමාජයක් අද අපේ රටේ නැහැ.දරිද්‍රතාවය ගැන ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා. ගම් වල ජනතාවගේ තම වැරදි නිසාම තමන් විසින් ම ඒ තත්ත්වයට වැටෙනවා. ඒ පිළිබඳව ඉදිරි කාලයේ දී වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා.

චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - සිරිපාල හල්වල


නව අදහස දක්වන්න

Or log in with...