ඇරැඹුම සෙවීම අවසානය විය හැකිය

ඇරැඹුම සෙවීම අවසානය විය හැකිය

ගී‍්‍රක මිථ්‍යාවනට අනුව 'ප්‍රොමිතියස්', දෙවියන්ගේ සේවකයාය. ඔහු දෙවියන් වෙතින් ගින්දර සොරාගෙනැවිත් මිනිසා අතට දෙයි. ගින්දර මිනිසාට යහපත මෙන්ම අයහපතද ලබා දුන්නේය.

හොලිවුඩයෙන් බිහිවූ අලුත්ම චිත්‍රපටයට අනුව 'ප්‍රෝමිතියස්' යනු 2089 වසරේ විශ්වයේ සැරිසරන අභ්‍යවකාශ යානයකි. මානවයාගේ ආරම්භය සොයා යන එහි ගමන, මානව සංහතියේ විනාශය සනිටුහන් කරන්නක් වීමටද ඉඩ තිබේ.

බ්‍රිතාන්‍ය සිනමාකරුවකු වන ශ්‍රීමත් රිඩ්ලි ස්කොට්ගේ අලුත්ම චිත්‍රපටය ' ප්‍රොමිතියස්' පසුගිය ජුනි 8දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ වැඩියෙන්ම පුරුෂ පක්‍ෂයේ ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගනිමිනි. අන්තර්ජාලයේ සඳහන් වන්නේ අමෙරිකාවේ හා යුරෝපයේ බොහෝ රටවල ස්ත්‍රීන් හා ළමයින් 'ප්‍රොමිතියස්' නැරඹීමට මැලිකමක් දැක්වූවත් පිරිමින් එම සිනමාපටය නරඹනු පිණිස වැඩි උනන්දුවක් දක්වන බවය.

චිත්‍රපට අධ්‍යක්‍ෂණයේ දැක්වූ දස්කම් නිසාම 2003 වසරේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විසින් නයිට් නාමයකින් පුදන ලැබූ රිඩ්ලි ස්කොට් මේ වන විට 74 හැවිරිදිය. ඒලියන් (1979) බ්ලේඩ් රනර් (1982) බ්ලැක්රේන් (1989) ග්ලැඩියේටර් (2000) කිංඩම් ඔෆ් හෙවන් (2005) අමෙරිකන් ගෑන්ග්ස්ටර් (2007) සහ රොබින් හුඩ් (2010) වැනි චිත්‍රපට නිර්මාණය කළ රිඩ්ලි තෙවතාවක්ම වසරේ හොඳම අධ්‍යක්‍ෂවරයා සඳහා පිරිනැමෙන ඇකඩමි සම්මානයට නාම යෝජනා ලැබුවේය.

එම සම්මානය දිනා ගැනීමට ඔහුට නොහැකි වූවත් 2000 වසරේ හොඳම චිත්‍රපටය සඳහා වූ සම්මානය ඇතුළු ඇකඩමි සම්මාන පහක්ම දිනාගන්නට ඔහුගේ ' ග්ලැඩියේටර්' චිත්‍රපටය සමත් විය. කෙසේ වෙතත් මෙයට දෙවසරකට පෙර තිරගත වූ ඔහුගේ ' රොබින් හුඩ්' චිත්‍රපටය පිළිබඳ ප්‍රේක්‍ෂකයන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටියත් එම චිත්‍රපටය එතරම් සාර්ථක නොවූ බව සඳහන් කළ යුතුය.

1979 දී තමන් නිර්මාණය කළ ඒලියන් චිත්‍රපටයේ දිගුවක් ලෙස සිනමා පටයක් නිපැයීමට ස්කොට් සැලැසුම් කළේ 2003 වසරේදීය. එහි තිර කතාව රචනා කිරීම ජෝන් ස්පයිට්ස්ට පැවරිණි. 2009 වසර වන තුරුම සැලසුම් ක්‍රියාවට නැඟුණේ නැති අතර, 2009දී ස්කොට් තීරණය කළේ ස්පයිට්ස්ගේ තිර රචනය ඩේමන් ලින්ඩෙලොෆ්ලවා සංශෝධනය කර, ඒලියන් චිත්‍රපටයේ දිගුවක් ලෙස නොව වෙනමම චිත්‍රපටයක් නිමවන්නටය.

2089 වසරේ ප්‍රොමිතියස් නමැති අභ්‍යවකාශ යානය විශ්වයේ සැරි සරන්නේ ඉපැරැණි මානව ශිෂ්ටාචාරයකින් සොයා ගත් තාරකා සිතියමක් උපයෝගී කරගනිමිනි. එම සිතියමට අනුව විශ්වයේ ඈත කෙළවරකට ගමන් ගන්නා යානයට හමුවන්නේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් සහිත ග්‍රහලෝකයකි. යානයේ සිටින කාර්ය මණ්ඩලය වටහා ගන්නේ. මානව සංහතියේ ආරම්භය සිදුවූයේ කෙසේද යන්න එම ග්‍රහලෝකයේදී සොයා අනාවරණය කරගත හැකි බවය. ඔවුහු ඒ සඳහා වෙහෙසෙති. සෝදිසිය අතර මැදදී ඔවුනට වැටහෙන්නේ මානවයාගේ මූලය සොයා යාම හරහා මානව සංහතියේ විනාශය සිදුවීමට ඇති ඉඩ ඉතාමත් වැඩි බවය.

නූමි රාපේස්, මයිකල් ෆාස්බෙන්ඩර්, ගයි පියර්ස්, ඉඩ්‍රිස්, එල්බා, ලෝගන් මාෂ්ල් - ගී‍්‍රන් හා චාල්ස් තෙරොන් වැනි නළු නිළියන් රඟන ප්‍රොමිතියස් ඩොලර් මිලියන 130ක් වැය කරමින් තැනු ත්‍රිමාණ චිත්‍රපටයකි. 2011 මාර්තු 21දා රූගත කිරීම් ඇරැඹුණු එහි සියලු රූගත කිරීම් සමසක් ඇතුළත අවසන් කළ යුතුව තිබිණි. එංගලන්තය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය හා ස්කොට්ලන්තය යන රටවල එහි රූගත කිරීම් සිදුවූ අතර,එහි දර්ශන වැඩි ප්‍රමාණයක් සඳහා පරිගණක ග්‍රැෆික් තාක්‍ෂණය උපයෝගී කරගෙන තිබේ.

“මානවයාගේත්, විශ්වයේත් ආරම්භය ගැන විවිධ මත තිබෙනවා. විවිධ ආගම්වල ලෝකයේ හා මානවයාගේ ආරම්භය ගැන පැවසෙන ආකාරයෙන් වඩා වෙනස් මතයක් මම ප්‍රොමිතියස් හරහා ලෝකයට දෙන්නට උත්සාහ කළා. නමුත් එක අතකට එය අලුත්ම මතයකුත් නෙවෙයි. මා උත්සාහ කළේ ඒ අලුත්ම නොවන මතයට අලුත් හැඩ තලයක් එකතු කිරීම විතරයි” චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ රිඩ්ලි ස්කොට් පවසයි.

ඉපැරැණි මානව ශිෂ්ටාචාරයකින් සෙයා ගැනුණු තාරකා සිතියම අනුව ගමන් කරන ප්‍රොමිතියස් යානයට හමුවන බුද්ධිමත් ජීවීන්, මිහිමත මානව වර්ගයා නිර්මාණය කළ වගක් රිඩ්ලි ස්කොට්ගේ සිනමා පටයෙන් ඇඟවෙයි. මානවයා පිට සක්වල ජීවින්ගේ නිර්මාණයක් බවත් අතීතයේ පිට සක්වල ජීවින් මානවයන් හා සබඳතා පැවැත්වූ බවත් අදහන අය බොහෝය. ලෝකයේ විස්මිත නිර්මාණ ගොන්නට වැටෙන පිරමිඩ වැනිද, නිර්මාණය වූයේ පිට සක්වල ජීවින්ගේ තාක්‍ෂණ දැනුම හා උපකාර ඇතිව බවද සමහර අය විශ්වාස කරති.

එම විශ්වාසයන්ට නව හැඩතල එක්කරන රිඩ්ලි තම සිනමා පටය හරහා අනතුරු අඟවන්නේ මානවයාගේ මුල සොයා යාමට පෙලඹීම මානව වර්ගයාගේ විනාශයට හේතුවක් විය හැකි බවයි. ඔහු එවැනි අනතුරු ඇඟවීමක් කරන්නේ ඇයි

" අපගේ මුල සෙවීමට නම් අප විද්‍යාවේ ඉහළම දියුණුවක් ලැබිය යුතුයි. විද්‍යාවේ දියුණුව හරහා මෙතෙක් අප ළං කරගෙන ඇත්තේ විනාශය නොවෙයිද?" රිඩ්ලි ස්කොට් විමසයි." මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ මානවයාගේ මූලය සෙවීමට බුද්ධිය මෙන්ම ආධ්‍යාත්මික ශක්තියද අවශ්‍ය බවයි. කොහොම වෙතත් ප්‍රොමිතියස් චිත්‍රපටයෙන් මානවයාගේ මූලය සම්බන්‍ධ අදහසක් ලෝකයට දෙන්න මම අදහස් කළේ නැහැ. මා කළේ දැනට තිබෙන අදහස්වලට නව හැඩතල එක්කරමින් චිත්‍රපටයේ නාටකීය ස්වභාවය වැඩි දියුණු කිරීම විතරයි."

ප්‍රොමිතියස් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය මැයි 31දා පැවැත්වූයේ ලන්ඩනයේ ලෙස්ටෂයර් චතුරස්‍රයේ එම්පයර් සිනමා ශාලාවේය. ප්‍රොමිතියස් ප්‍රදර්ශනය ඇරඹීමට සමාන්තරව මැඩගස්කර් - 3 චිත්‍රපටයද ප්‍රදර්ශනය ඇරැඹුණ නමුත් බොක්ස් ඔෆිස් වාර්තා අනුව පෙනී යමින් තිබෙන්නේ වැඩි ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් ලබා ඇත්තේ ප්‍රොමිතියස් බවය. පසුගිය ජුනි 25දා වන විට ප්‍රොමිතියස් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ලබා තිබූ ආදායම ඩොලර් මිලියන 263කි.

මෙම චිත්‍රපටයට ප්‍රොමිතියස් යන නම තැබුව් ඇයි?

“අභ්‍යාවකාශ යානයට වගේම චිත්‍රපටයටත් අප ප්‍රොමිතියස් යන නම තැබුවේ ගී‍්‍රක මිථ්‍යා කතාව මත පදනම්වයි " රිඩ්ලි ස්කොට් පිළිතුරු දෙයි.” ප්‍රොමිතියස් ගෙන් ලබන ගින්දර නිසා යහපතත් අයහපතත් සැලසෙනවා. මිනිසාට එරෙහිව දෙවියන් නැඟී සිටිනවා. මේ යානයේ ගමන නිසා සිදුවන්නේත් එයමයි. යහපතද අයහපතද ඉන් සැලසෙනවා. මූලය වටහා ගත්තත් එයම මානව සංහතියේ විනාශයට හේතුවක් විය හැකියි. මානවයා නිර්මාණය කළ අයම මානවයාට විනාශය කැඳවන්නටත් ඉඩ තිබෙනවා."

රිඩ්ලි නොකියා කියන්නේ අපට පිළිතුරු නොලැබුණ බොහෝ ගැටලුවලට පිළිතුරු ' ප්‍රොමිතියස්' චිත්‍රපටයේ අඩංගු බවය.