සම්මාන බලාගෙන ලියන්න එපා - ප්‍රවීණ ලේඛක - එඩ්වඩ් මල්ලවආරච්චි | දිනමිණ

සම්මාන බලාගෙන ලියන්න එපා - ප්‍රවීණ ලේඛක - එඩ්වඩ් මල්ලවආරච්චි

සුබා, සුබ ප්‍රාර්ථනා, සෙනුරි, චාතුර්යයා යනු ප්‍රවීණ ලේඛක එඩ්වඩ් මල්ලවආරච්චි විසින් රචිත පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වූ නවකතා අතරින් කිහිපයකි. එදා මෙන් අදටත් මේ කතුවරයාගේ පන්හිඳට විරාමයක් නොදී, නිරායාසයෙන් ගලා එන සිතිවිලි පොත් පිටු අතරට එක්වේ. පූර්වාචාරි, හේමලයා 3, පොළොවෙන් අහසට, පෙම් කළ අය හා ලේ නෑයෝ නමැති කෘති මේ වනවිට ඔහු පාඨකයන් අතට පත්කර ඇත. මේ ඔහුගේ නවතම පස්වැදෑරුම් කෘති පිළිබඳ කෙරෙන කතාබහකි.

* එකවර පොත් පහක් එළිදැක්වීමේ විශේෂත්වය කුමක්ද?

සාහිත්‍ය මාසය අදාළ කරගෙනයි මේ කෘති එළිදැක්වීම කළේ. මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය සඳහා මේ කෘති ලබාදී තිබෙනවා.

මට සාමාන්‍යයෙන් පොතක් ලිවීමට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. පොත් කිහිපයක් විරාමයක් නැතිව ලිවීමේ හැකියාව මා සතු නිසා, ඒ හැකියාවෙන් මම ප්‍රයෝජන ගන්නවා. මම පොත් සංගමයට බැඳිලා වසර 16ක් වෙනවා. ඒ නිසා මටත් අවස්ථාව තියෙනවා පොත් ප්‍රදර්ශනයට මගේ පොත් ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් මෙහි වෙළෙඳ ‍කුටියක් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. ඒ නිසා එක පොතකට වඩා පොත් කිහිපයක් පාඨකයාට අලුතින් හඳුන්වාදීමට සිදුවෙනවා. වාණිජ ලෝකයත් එක්ක අප ගැටෙන නිසා එවැන්නක් කිරීමට සිදු වෙනවා.

* ඉස්පාසුවක් නොගෙනම මෙසේ පොත් ලියන්නේ කොහොමද?

සමහරුන්ට එහෙම විශේෂ හැකියාවක් පිහිටනවා. ඒක මම දකින්නේ වාසනා ගුණය කියලා. පොතක් ලියන එක තරම් තෘප්තිමත් දෙයක් මගේ ජීවිතය තුළ නැහැ. එම කාර්යේදී මට වෙහෙසක් මහන්සියක් දැනෙන්නේ නැහැ.

මෙච්චර වයසට ගියත් මම තාමත් ලියන්නේ ඒකනේ. බසට හෝ සාහිත්‍යයට අසාධාරණයක් නොකර, පාඨකයාට අලුත් දෙයක් දෙන්න මම හැම විටම උත්සාහ කරනවා. මට අදහස් ගලා එනවා.ඉතිං මම ලියනවා. ඒකට සීමාවක් නැහැ. තවමත් මම ලියන නවකතා ඉහළ පාඨක ප්‍රතිචාර මැද පුවත්පත්වල පළ වෙනවා.

* ඔබ වයසට ගියාට ඔබේ පොත් වයසට යන්නේ නෑ කියලා මම කිවහොත්, ඔබ ඊට එකඟද?

මගේ නවකතාවලට එදා වගේම අදටත් ලැබෙන ප්‍රතිචාර දෙස බැලුවාම ඒ කරුණු සත්‍යයක් කියලා මටත් හිතෙනවා. ඒකට හේතුව යුගයට ගැළපෙන සේ ලිවීම. මම වයසට ගියත් තරුණ හැඟීම් යහ හැසිරීම් පිළිබඳ මට තිබෙන අවබෝධයත් එයට තව හේතුවක්.

* ඔබේ කෘතිවලට වැඩිපුර පාදක වී තිබෙන්නේ ප්‍රේමය. ඒ ඇයි?

ප්‍රේමය, ආදරය කියන්නේ මේ සමාජ සංස්ථාව තුළ තිබෙන ප්‍රබලම දෙයක්. මේ පොදු සාධකය වටා තමයි සියලු දේ බැඳී පවතින්නේ.

කතාවක චරිත ක්‍රියාකාරිත්වය තුළ කොතැනක හෝ අපට මේ ප්‍රේමය හෝ ආදරය මුණගැසෙනවා. නැත්නම් ඒ කතාවේ ජීවයක් නැහැ. පාඨකයා ඒ දේ බලාපො‍රොත්තු වෙනවා. විශේෂයෙන් මගේ කෘතිවලින්. ඒ නිසා තමයි ගෞරි, සුබා, චාතුර්යයා වැනි නවකතා එක කොටසකින් නිමා නොවුණේ. ඒ චරිත සමඟ පාඨකයා බැ‍ඳෙනවා. ඔවුන් ඒ චරිත මනැසින් දකිනවා. ඒ චරිත සමඟ ජීවත් වෙනවා. මරදානෙන් නැගලා, නුගේගොඩින් බැහැලා යන කතා මගේ ළඟ නැහැ. මගේ කෘති සියල්ල සමස්තයක් ලෙස ගත්විට එහි ප්‍රේමය යනු එක් සාධකයක් පමණයි.

* එකිනෙකට වෙනස් වූ විවිධ කතා තේමා සඳහා ඔබ වස්තු බීජය සොයා ගන්නේ කොහොමද?

ලේඛකයා සතුව පවතින සමාජ වටපිටාව පිළිබඳ, ඒ යුගය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි. ඔහුට යථාර්ථය විනිවිද දැකිය හැකි විය යුතුයි. මනුෂ්‍ය බැඳීම්, හැසිරීම් ගැන අවබෝධය ලබාගත යුතුයි. මේ සඳහා සමාජයේ විවිධ චරිත ඇසු රු කරන්න සිදු වෙනවා. ඒ හරහා අපට ලැබෙන අත්දැකීම්, අප අසන දකින දේ ඔස්සේ නිර්මාණයක් කළ හැකියි. එහිදී හරසුන් දෙයකට වඩා මම උත්සාහ කරන්නේ, ආදර්ශවත් කතාවක් මඟින් සමාජයට යම්කිසි පණිවිඩයක් ලබා දීමටයි. කළු, සුදු අතර වෙනස හා කළු චරිතවලට අවසානයේ ලැබෙන ප්‍රතිඵලයත්, සුදු චරිතවලට අවසානයේ ලැබෙන ප්‍රතිඵලයත් මම පෙන්වා දෙනවා. ක‍ඨෝර සමාජයක් තුළ ඇති සුන්දර පැත්තක් මම පෙන්වා දී තිබෙනවා.

* ඔබේ නවතම කෘති පහ තුළත් මේ ‍දේ අන්තර්ගත ද?

මෙතැන විවිධ චරිත ඔස්සේ දිවයන එකිනෙකට වෙනස් කතා 5ක් තිබෙනවා. හේමලයා පුවත්පතකට ලියූ කතාවක්. එහි 3 වැනි කොටස ලෙසයි එය එළිදකින්නේ. ‍ලේ නෑයෝ මීට වසර 20කට පෙර ලියූ කතාවක්. නැවත පාඨකයන්ගේ මතකය අලුත් කරනවා. පූර්වාචාරි කතාවේ තිබෙන්නේ තිස්ස නමැති නාට්‍යකරුවාගේ මරණය සමඟ ඇතිවන, ඉඩම් නඩුවකට පෙනී සිටින තරුණ නීතිවේදිනියක් වටා ගෙතුණු කතාවක්. එහි අබිරහසක් ගැන හෙළි වන ආකාරය පිළිබඳ කුතුහලය රැගත් කතාවක්. පෙම් කළ අය කන්තලේ සීනි කර්මාන්තයේ තිබෙන කාලයේ කියුබානු ජාතික යුවළක් විසින් දරුකමට හදාගන්නා ශ්‍රී ලාංකේය ගැහැනු දරුවකු පිළිබඳ කතාවක්. තමන්ගේ ඇත්ත අම්මා සොයාගෙන එන ඇයට තමන් කැලෑවකට අතහැර දැමූ දරුවෙක් බව දැන ගැනීම සහ උත්සාහය අත නොහැර අම්මා සොයා ගන්නා අන්දම මේ කතාව තුළ අන්තර්ගතයි. පොළොවෙන් අහසට නවකතාව තුළ තිබෙන්නේ පහළ මධ්‍යම පාන්තික ගැහැනු ළමයෙක් හා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන නිදහස් මාධ්‍යවේදියකු අතර ඇතිවන සබඳතාවක් හා ඉතා කුඩා මට්ටමක සිට ඉහළට නැගි ඔවුන් පිළිබඳ කතාවයි.

* ඔබේ පොත් කවරවලට වැඩිපුර කාන්තා රූප යොදාගන්නේ වෙළෙඳ උපක්‍රමයක් ලෙසද?

කාන්තාව කියන්නේ මේ ලෝකේ සුන්දරම වස්තුව ලෙසයි මා දකින්නේ. එය සෞන්දර්යාත්මකයි. කතාව ඇතුළේ තිබෙන චරිතයට සමීප චිත්‍රයක් මා යොදාගන්නවා. එය පාඨක ආකර්ශනය සඳහායි. වාණිජත්වයෙන් තොර වූ පොතක් අද නැහැනේ.

* ජ්‍යෙෂ්ඨ ලේඛකයකු ලෙස ඔබ නවකයන්ට දෙන උපදෙස මොකක්ද?

සම්මාන බලාපොරොත්තුව ලියන්න එපා. අපට ලියන්න පුළුවන්කම තිබෙනවානම් සීමා නොවී නිර්මාණය ඇතුළත නිදහසේ ලියන්න. මිනිසුන්ගේ රසඥතාව විෂමයි. එය වෙනස්වන සුළුයි. ලෝකය දියුණු වෙලා. තාක්ෂණය දියුණු වෙලා. එයින් ප්‍රයෝජන ගෙන හොඳ නිර්මාණාත්මක දේ කරන්න. එකමදේ පට්ටගහන්න එපා. වාණිජත්වය තියෙන්නෙ ඕනේ නිර්මාණය තුළ නොවෙයි.

තමන්ගේ හොඳ නම රැක ගැනීමත් සිය නිර්මාණ ජනප්‍රිය වීමට ‍හේතුවක්. ඒ නිසා ස්වයංවාරණයක් තියා ගැනීමත් හොඳ දෙයක්.

සමදරා ජයසිංහ

නව අදහස දක්වන්න