අපේ සංගීතයේ පළමු සුපිරි තරුව සුනිල් සාන්ත | දිනමිණ

අපේ සංගීතයේ පළමු සුපිරි තරුව සුනිල් සාන්ත

ධම්මික සෙනෙවිරත්න
ඡායාරූප - ගයාන් පුෂ්පික
මහාචාර්ය සුනිල් ආරියරත්න

ඔබ ලියූ ‘සුනිල් සාන්ත අධ්‍යයනය’ නමැති කෘතිය ඔහුට මෙන් ම ඉතිහාසයටත් සාධාරණය ඉෂ්ට කිරීමක්. එය ඔහු ගැන මෙතෙක් පළවූ බොහෝ ලිපි ලේඛනවලට වඩා වෙනස්. මේ කෘතිය බිහිවූ අයුරු අපට පවසන්න.

අපේ සංගීත ඉතිහාසය ලේඛනාරූඪවී නෑ. නූතන සංගීත ඉතිහාසය පමණක් නෙමෙයි, පුරාතන සංගීත ඉතිහාසයවත් ලේඛනගත වූණේ නෑ. සංගීත භාණ්ඩවල නාමලේඛන, විවිධ ගායනා, නර්තනාංග, සංගීත තාල, කව්සිළුමිණ වගේ මහා කාව්‍ය හැරුණුවිට අපට අපේ ය කියා කිවහැකි එවැනි සංගීතයක් තිබුණා නම්, ඒ ජන ගී ආරයි. ඒත්; එය නොදියුණු සංගීතයක්. ස්වර සප්තකයේ ස්වර 3 – 4 කට වඩා එයට භාවිත වුණේ නෑ. ප්‍රාථමික ජන ගී නාද මාලා පුරාතනයේ පටන්ම පැවැත ආවත්, පුරාණ සම්භාව්‍ය සංගීතය පිළිබඳ ඉතිහාසය හෝ ජන සංගීතයේ ඉතිහාසය විධිමත්ව සටහන්වෙලා තිබෙන්නේ ඉතාමත් ම විරලවයි. එයට හේතුවුණේ අපට සිටින ප්‍රවීණතම සංගීතඥයන් පවා ලේඛන කලාවට උත්සුක නොවීම, ඒ නිසා ම මෑත ඉතිහාසයේ මෙරට ඇතිවූ සංගීත ප්‍රවණතා පවා ලිපි ලේඛනවල සටහන්වෙලා තිබෙන්නේ අල්ප වශයෙන්.

මම වි‍ශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකුව සිටියදී සංගීතය ගැන ලියන්න පෙලැඹුණේ මේ රික්තය මට වැටහුණු නිසයි. ඒත්, ඊට හුදු භාෂා සාහිත්‍ය දැනුමම ප්‍රමාණවත් නොවන බව බොහෝ කලකට පෙර මට තේරුම්ගිය නිසා, මං පුරා වසර 5ක්ම සංගීතය හැදෑරුවා. සංගීත විශාරද උපාධියේ පළමු පංතියේ සාමාර්ථයක් මම ලැබුවා. ඒ විදිහට ලබාගත් සංගීත දැනුම තමයි මං පොත-පත ලිවීමට යොදාගන්නේ. සුනිල් ‍සාන්ත අධ්‍යයනයත් එහි ප්‍රතිඵලයක්.

ඔබ අතින් ලියැවුණු ගාන්ධර්ව අපදාන පොත් පෙළට වඩා මේ කෘතිය වෙනස් . ඒ පිළිබඳ කතා කළොත්?

ගාන්ධර්ව අපදාන පොත් පෙළ ඉදිරිපත් වෙන්නේ මෙරට ජීවත් වූ සංගීතඥයන් පිරිසකගේ තොරතුරු ඔස්සේ. නමුත්, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත හා අමරදේව කියන මහා ගාන්ධර්වයන් තිදෙනා සිංහල සංගීතයට කළ මෙහෙවර ඉතා ප්‍රබලයි. පර්යේෂණාත්මකයි. ඇත්තටම සිංහල සංගීතය නිර්මාණය කළේ මේ තිදෙනා හැටියටයි අපට සලකන්න වෙන්නෙ. පොත් 3 කින් මේ තිදෙනා ගැන ඉදිරිපත් කිරීම මගේ අපේක්ෂාව වුණා. ඉන් පළමුවැන්න හැටියට ආනන්ද සමරකෝන් ගැන මම පොතක් ලිව්වා. ඒ වනවිට සමරකෝනුන් ගැන කිසිදු ශාස්ත්‍රීය ලේඛනයක් පළවී තිබුණේ නෑ. දෙවැන්න තමයි, මේ කෘතිය. සුනිල් සාන්ත අධ්‍යයනය. අමරදේව අධ්‍යයනය තමයි තව ඉතිරිවෙලා තියෙන්නෙ. ඒකත් අනාගතයෙදී එළිදකීවි.

ගාන්ධර්ව අපදාන පොත් පෙළත් අඛණ්ඩව ඉදිරියට ගෙනගියා. ඊට ඇතුළත් කළ යුතු සංගීතඥයන්ගේ නාමලේඛනයක් පිළියෙළ කර තොරතුරු රැස් කරමින් සිටිනවා. ඉන් ඇතැම් ගාන්ධර්වයන් ගැන තොරතුරු ලබා ගැනීමට ක්‍රමයක් පවා නෑ. ඥාතීන් පවා මියගිහින්. ගාන්ධර්ව අපදාන පොත් පෙළේ පළවූ එවැනි එක් සංගීතඥයෙක් ලෙස එඩ්වින් සමරදිවාකර මට මතකයි. ඔහුගේ කිසිම ඥාතියකු සිටියේ නෑ. බිරිය වංග ජාතික තැනැත්තියක්. ඇය සහ දරුවන් ඔහුගේ අභාවයෙන් පසු ලංකාව හැරගොසින්. මං ඔහු ගැන ලිව්වේ ගෝලයන්ගෙන් ලත් තොරතුරු මතයි.

සුනිල් සාන්ත අධ්‍යයනය කෘතියේ කංචුකයේත් ඔබ සඳහන් කරන පරිදි සිංහල සංගීතයට බටහිර ගායන ශෛලිය හඳුන්වාදුන් ප්‍රථමයා ඔහු. සිංහල සරල ගීත බටහිර ස්වර ලිපිවලට නඟා ප්‍රකාශයට පත්කළ ප්‍රථමයාත් ඔහු. උත්තර භාරතීය සංගීතයේ පරතෙරට යමින් එය ප්‍රතික්ෂේප කළ ප්‍රථම කැරැළිකාරයාත් ඔහු. මේ ගැන තරමක් විස්තරාත්මකව දැක්විය හැකි ද?

අපේ සංගීත ධාරාවේ අසාමාන්‍ය චරිතයක් ලෙසයි මං ඔහු දකින්නේ. කිසිදාක මං ඔහු දැක නෑ. එහෙත් සුනිල් සාන්ත මැතිනියත්, දරුවනුත් මට හමුවුණා. ඔවුන්ගේ ඇරියුමින් ඔහු ගැන විවිධ කාර්යයන්ට සම්බන්ධ වුණා. සුනිල් සාන්ත චරිතය අතිශයින් අදීනවූත්, අභීතවූත් චරිතයක්. ඔහු ජීවත් වුණේ සිංහල සංගීතය ඉන්දියානු සංගීතයට ගැතිව තිබූ සමයක. එවැනි පසුබිමක ඔහු ඉදිරිපත් කළ දේශීය සංගීතය නම් නව චිත්‍රය උඩුගං බලා පිහිනීමක්. එසේ උඩුගං බලා පිහිනීමට ගොස් ඔහු දියේ ගිළුණා. ඒත්; ඒ පිහිනීම ඔස්සේ සංගීතය පිළිබඳ නව දැක්මක් විවර වුණා.

ඔහුගේ සංගීත චින්තනයෙන් අවධාරණය කෙරුණු එක් කාරණයක් තමයි, අප එතෙරින් කවර දේ ලබාගත්තත්, අපේ අනන්‍යතාව ගිලිහී යාමට ඉඩ නොදිය යුතු බව.

අපේ අනන්‍යතාවට හානි නොකර ඔහු බටහිර සංගීතය, බටහිර වාද්‍ය භාණ්ඩ යොදාගත්තා. අද බටහිර වාද්‍ය භාණ්ඩ භාවිත කරන අය හෝ බටහිර සංගීතයේ නියැළෙන අය නොදන්නා කාරණයක් තමයි, ඔවුන්ට ඒ දොරටුව විවෘත කරදුන්නේ සුනිල් සාන්ත බව.

ඔහු තමන්ගේ ජ්‍යෙෂ්ඨයන් අනුකරණය කළේ නෑ. එවක ජනප්‍රියව සිටි රූපසිංහ මාස්ටර්, සාදිරිස් මාස්ටර් වගේ සංගීතඥයන් අනුගමනය කළේත් නෑ. ඔහුට අවශ්‍ය කළේ ගායනයේදී හා සංගීත භාවිතයේදී එතෙක් ඒ කිසිවකුත් අනුගමනය නොකළ සංගීත මාර්ගයක් පෙන්වීමයි. ඒ අනුව, ඔහු ගී තනු නිර්මාණ කළේ බටහිර ප්‍රසංවාද හෙවත් සංගත ක්‍රමයටයි. එසේ ම හාමනි හෙවත් සුසංවාද වැනි බටහිර ශිල්ප ක්‍රමත් ඔහු භාවිත කළා. පියානෝව, හවායන් ගිටාරය වැනි බටහිර සංගීත භාණ්ඩ සිය නිර්මාණවලදී යොදාගත්තා. ගායනයේදීත් බටහිර ගායන ඌරුවට ගායනා කළා. මේ අත්හදා බැලීම් වෙනුවෙන් ඔහුට ප්‍රශංසා ගලා ආවේ නෑ. ගල්මුල් නම් කොතෙකුත් එල්ලවුණා. විචාරකයන් ඔහු නිර්දය ලෙස විවේචනය කළා. ඒත් කවදා හෝ සංගීත රසිකයන් මේ නිර්මාණ ප්‍රශංසාවට ලක්කරාවි කියලා ඔහු සිතන්න ඇති. අද එය සැබෑවක් වෙලා. අද සුනිල් සාන්ත එදාට වඩා ප්‍රබලයි. බොහෝදෙනා ඔහු හදාරන්නේ දැනුයි.

අපි කුඩා කාලයේ රසවිඳි ඔහුගේ ගීත අද ළමා හෝ තරුණ පරම්පරාවට නො ඇසෙන තරම්. මේක මාධ්‍ය භාවිතාවේ ප්‍රශ්නයක්ද? නැත්නම් සංස්කෘතික හෝ පරම්පරා වෙනස පිළිබඳ ප්‍රශ්නයක් ද?

ඇත්තටම ඔහුගේ ගීත අද ඇහෙන්නෙ නෑ. මේකට හේතු දෙකක් තියෙනවා. පළමුවැන්න, සුනිල් සාන්ත තමාගේ ගායන ජීවිතයේදී පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ තැටිගත කිරීම් වෙනුවෙන් සම්බන්ධ නොවීම. විශාල මුදලක් අරගෙන ග්‍රැමෆෝන් තැටිවලට ගීත ගයන්න ඔහුගේ සමකාලීනයන් වගේ ඔහු පෙලඹුණේ නෑ. මුදලාලි කාසි බැහැර කළේ පිළිකුලෙන්. ඒ වෙනුවට ඉතා සොච්චම් මුදලක් අරගෙන ආණ්ඩුවේ ගුවන්විදුලියට පමණක් ඔහු ගීත තැටිගත කළා. අද පුද්ගලික නාලිකාවලට මේ ගීත ප්‍රචාරය කරන්න හැකියාවක් නෑ. මොකද, ඒවා ඩිජිටල් මාධ්‍යයට නැඟුණේ නෑ වගේම, කිසිදු තැනකින් ඒවා ලබා ගැනීමටත් බෑ. මේ ගීත තියෙන්නෙ ගුවන්විදුලියේ පමණයි.

ගුවන්විදුලිය තමන් සතු මේ මහා සම්පතින් ප්‍රයෝජන ගත්තේ නෑ. තමන්ටම පමණක් අයිති සුනිල් සාන්තගේ ගීත ප්‍රචාරය කරන්නේ නෑ. ඒත්, පුදුමයට කාරණය තමයි, කිසිම ගුවන්විදුලි, රූපවාහිනී නාලිකාවකින් අසන්නට නොලැබෙන සුනිල් ගී, අදත් කුඩා දරුවන් පවා විනෝද චාරිකාවලදී ගැයීම. දියගොඩ සැමතැන, ඕළු පිපීලා වගේ ගීත නොගැයෙන විනෝද චාරිකාවක් නැති තරම්. ඒ වගේම ත්‍රිවිධ හමුදා බටහිර තූර්යවාදන කණ්ඩායම්වල ඔහුගේ ගී අනුවාදනයක් නොවැයෙන අවස්ථාවක් නෑ. මේවා මෙහෙම වෙන්නෙ සියලු විද්‍යුත් නාලිකාවල දොරටු සුනිල් සාන්ත ගීතවලට වැසිලා තියෙද්දී. එහෙම බලනකොට කුඩා දරුවන් අතර පවා මේ ගීත ජීවමානවීම අසිරිමත් සිදුවීමක්.

ඔහුගේ සමකාලීනයන්ගෙන් වෙනස්ව, ඔහු කුඩා දරුවන් වෙනුවෙනුත් ගීත නිර්මාණ කළා. මේ කාරණය ඔබ දකින්නෙ කොහොමද?

සමකාලීනයන්ගෙන් වෙනස්වෙමින් ඔහු කුඩා ළමයින්ට නිර්මාණ කිරීමටත් උනන්දුවක් දැක්වූවා. ඔහුගේ තනු අතිශයින් සරල වීමට මෙයත් හේතුවක් ලෙස ඇතැම් අය දකිනවා. සිය සංගීත පොත් මාලාවෙන්, සුනිල් ගී කියන පොත ඔහු ඉදිරිපත් කළේ ළමයින් සඳහායි. ළමයින් සඳහා ඔහු ගුවන්විදුලියෙන් සංගීත පාඩමකුත් කළා.

කුඩා දරුවන් ගැන සිය නිර්මාණකරණයේ දී මෙපමණ සිතීමට තම දරුවන්ට ද ඔහු ළෙන්ගතු සමීප මිතුරකු බඳු පියකු වීමත් හේතුවන්නට ඇති. එසේ ම ඔහු අහිංසක මිනිසෙක්.

සිංහල සංගීතයේ ප්‍රථම සුපිරි තරුව සුනිල් සාන්ත බව ඔබ මෙහි දක්වනවා. ඒත් රැයෙන් සුපිරි තරු බිහිවන අද තත්ත්වය හා සසඳමින් ඔබට ඔහු ගැන කියන්නට ඇත්තේ කුමක්ද?

සිංහල සංගීතයේ ප්‍රථම සුපිරි තරුව ඔහු. අදත් විවිධ නාලිකාවලින් තරු බිහිවෙනවා. ‍බොහෝවිට ඒවා බැසයාමට වැඩි කලක් ගතවන්නේ නෑ. සමහර තරු පෑයූදාට පසුදාම බැස යනවා. තවත් තරු සතියක් දෙකක් - මාස කිහිපයක් අවුරුද්දක් බැබලෙනවා. ඒත් හතළිහ දශකයේ පෑයූ මේ සුපිරි තරුව තවමත් බබලනවා. ඒ තමයි, එදා තරු සහ අද තරු අතර ඇති වෙනස.

තරු බිහි කරන නාලිකාවලින් නවකයන් ඇගැයීම ඔවුන් හඳුන්වාදීම මා ගරහන්නේ නෑ. ඒත්, ඔවුන් පුහු හරසුන් වීරයන් ලෙස ඔසොවා තැබීමෙන් මේ නාලිකා ඔවුන්ට අහිමි කරන්නේ ඔවුන්ගේ අනාගතයමයි.

ඔහු කතෝලිකයෙක්. ඒත් ඔහුගේ නිර්මාණ ජීවිතයේදී පිළිබිඹුවන බෞද්ධ සංස්කෘතියට ඇති නැඹුරුව, ප්‍රකට පැවිදි යතිවරයන් වහන්සේ සමඟ ඔහුට තිබූ සමීප සබඳකම ගැන ඔබ මේ කෘතියෙදි පැහැදිලි කරනවා. ආගමික සහජීවනය ඇති කිරීම උදෙසා ඔහු දැක්වූ දායකත්වය ඔබ අගයන්නේ කෙසේ ද?

වෙසක්දාට පහන්කූඩු පත්තු කළ කතෝලිකයෙක් ඔහු. පන්සලේ පියතුමා ලෙස ප්‍රකට මර්සලින් ජයකොඩි පියතුමන් හා ඔහු අතර ඒ අතින් සමානත්වයක් ද තිබෙනවා. සුනිල් සාන්තගේ ජීවිතය ජයකොඩි පියතුමන්ගේ ආගම - නමැති කවි පංතියෙන් පිළිබිඹු වන දර්ශනයට මුළුමනින්ම සමානයි. ආගමික සහජීවනයට ඔහු දැමූ පදනම ප්‍රබලයි. ශක්තිමත්. ජයකොඩි පියතුමන්ට වගේම සුනිල් ශාන්තටත් බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟ සමීප ඇසුරක් තිබුණා. ජයකොඩි පියතුමන්ගේ අවසන් කාලයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා එතුමන්ට සැලකූ බවක් අපට සිහිපත් වෙනවා. සත වෙත මෙතපා, අදයි වෙසක් පෝදා, පෝදා දහම් සිලිලේ වැනි ප්‍රකට බොදු ගීත සුනිල් ශාන්ත ගැයූ ඒවායි.

‘තුරුණු සවිය’ අත්පොත සැකසීමේදී එහි ගී තනු නිර්මාණය කළේත් ඔහු.

ඔබ, සුනිල් සාන්තයන් ‘වාග්ගේයකාරයකු’ ලෙස ද හඳුන්වනවා. එය පැහැදිලි කළ හැකිද?

ආනන්ද සමරකෝන් මෙන් ම සුනිල් සාන්තගේ ගුරුකුලයත් ශාන්ති නිකේතනයයි. එහි නිර්මාතෘ රවීන්ද්‍රනාත් තාගෝර් නම් මහා කලා ප්‍රාඥයා මෙන් ම මේ දෙදෙනා ද වාග්ගේයකාරයන්. එනම් තමන්ගේ ගීතවල පද රචකයාත්, තනු රචකයාත් ඔවුන්මයි. සුනිලුන්ගේ ගීත බොහොමයක පද හා තනු රචනා ඔහුම කළා වගේම, ඒවා ගැයුවේ ද ඔහුයි. මේ වනාහී ශාන්ති නිකේතනයෙන් සිංහල සංගීත ක්ෂේත්‍රය ලද මහඟු දායකත්වයක් ලෙසයි මා දකින්නේ. අමරදේවයනුත් යම් පමණකට ගීත රචනා කර තිබෙනවා. සුනිල් සාන්ත අපේ සංගීත ක්ෂේත්‍රයේ පරමාදර්ශයක්.

මේ කෘතිය ඔහුගේ නිර්මාණ පිළිබඳ පර්යේෂණාත්මක මෙන් ම ඔහුගේ චරිත කතාවත් බඳුයි. සුනිල් සාන්ත නම් සරල, අව්‍යාජ, අදීන මිනිසාගේ චරිතය ඇසුරින් ඔබ අද පරම්පරාවට දෙන පණිවිඩය කුමක්ද?

සුනිල් සාන්ත තුළ තිබූ අදීන බව, අභීත බව මේ රටේ කිසිඳු සංගීතඥයකුගෙන් දකින්න ලැබෙන්නෙ නෑ. ඒක කනගාටුවෙන් කිවයුතු කාරණයක්. ගුවන්විදුලියෙන් නෙරපුවාට ඔහු නැවත තමාගේ ගායන වෘත්තිය ලබා ගැනීම වෙනුවෙන් කාගේවත් දෙපතුල් ළඟ වැටුණේ නෑ. බිරිය සහ දරුවන් හතරදෙනා පෝෂණය කළේ නොවිඳිනා දුක් විඳිමින්. මේ කාලයේදී ඔහු පදිකවේදිකාවල රෙදි වික්කා. කරවල වික්කා. ගොවිතැන් කළා. පැට්‍රොල්මැක්ස් ලාම්පු ගුවන්විදුලි යන්ත්‍ර රෙපෙයාර් කළා. කාර් හැදුවා. එහෙම දරුවො ලොකු මහත් කළා. පිරිමි දරුවො තුන්දෙනා ඉංජිනේරුවො කරන්නත්, දියණිය පශු වෛද්‍යවරියක් කරන්නත් ඔහුට පුළුවන් වුණා.

ඔහුගේ අදීන බව කොතරම් ද කීවොත් ප්‍රේමදාස මහත්මයා ඔහුට දුන් නිවෙස ප්‍රතික්ෂේප කර, මුදල් කොටස් වශයෙන් ගෙවා එය ලබා ගැනීමට ක්‍රියා කළා. කනගාටුවෙන් වුණත් කිවයුතු කාරණයක් තමයි, අද බොහෝ දෙනකුට මේ අදීනත්වය නැති බව. ඔවුන් ඉඩම් කෑල්ලක් ගන්න, තට්ටු නිවාසයක ගෙයක් ගන්න, විවිධ පදවි තනතුරු ගන්න දේශපාලනඥයන් හඹාගෙන යනවා.

අදහස් 1ක් ඇත

මේ ලිපියේ සඳහන් පහත සඳහන් කරුණ වැරදියි " ප්‍රේමදාස මහත්මයා ඔහුට දුන් නිවෙස ප්‍රතික්ෂේප කර, මුදල් කොටස් වශයෙන් ගෙවා එය ලබා ගැනීමට ක්‍රියා කළා " කරුණාකර නිවාස දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා එය නිවැරදි කරන්න.

නව අදහස දක්වන්න