ව්‍යවස්ථාදායකයට ජනතාව පාර කියති | දිනමිණ

ව්‍යවස්ථාදායකයට ජනතාව පාර කියති

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පැහැදිලි අත්දැකීම් දෙකක් මෙරට ජනතාවට තිබේ. ඒ 1972 සහ 1978 දීය. එකී අවස්ථා දෙකෙහිදීම ඒ සඳහා ජනතා නියෝජිතයන්ගේ සහභාගිත්වය මිස සෘජු ජනතා සහභාගිත්වයක් සිදුවූයේ නැත. ඉතිහාසයේ හුරු මඟට වෙනස් ගමනක් යමින් සංහිඳියා ආණ්ඩුව, තමන් පාලනය කිරීමට සැකසෙන ව්‍යවස්ථාවට අදහස් ලබාදීමේ අයිතිය ජනතාවට ලබාදී ඇත. එකී අදහස් ලබාගැනීමේ කමිටුව සහ අදහස් ලබාදුන් පිරිස් අතරින් කොටසක් ඒ පිළිබඳ දැක්වූ අදහස් අද පුවතක් ඔස්සේ විශේෂාංගය මගින් ඉදිරිපත් කෙරේ.

දැනට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලනය පිළිබඳ පරමාධිපත්‍ය හිමිවන්නේ මහජනතාවට. නමුත් ‘ජනතා පරමාධිපත්‍ය’ යන වචනයේ සැබෑ අර්ථය ඉන් දුටුවේදැයි යන්න ගැටලු සහගත වී ඇත්තේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බොහෝ පාර්ශ්වයනට සෑහීමකට පත්වීමට නොහැකි වී තිබීම නිසාය.

ඒ පිළිබඳව මැනවින් වටහා ගැනීමට පසුගිය 18, 19, 20 දිනවල කොළඹ විසුම්පායේදී පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවට ලැබුණු යෝජනා, අදහස්, පැමිණිලි ප්‍රමාණවත්ය.

දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ 1978 ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාගේ සමයේ සම්මත කරගත් ව්‍යවස්ථාවයි. එය මේ වනවිට 19 වතාවක් සංශෝධනය වී ඇත්තේ කාලීන අවශ්‍යතා හා පාලකයින්ගේ අවශ්‍යතා අනුවය. යහපාලන ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ‍ෙපාරොන්දුවද ඇතුළත් වූයේ ඒ පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ලද ඉල්ලීම් හා අවශ්‍යතා සලකා බව වටහාගත හැකිය.

මේ අනුව මහජනතාව සමීපයට ගොස් ජනතා අදහස් විමර්ශනය කර එම අදහස්වලට අනුව නව ව්‍යවස්ථාව සකස් කළ යුතුය යන අදහසට නව රජය පිවිසී ඇත. එය මෙරට සිදුවූ 1972 සහ 1978 ව්‍යවස්ථා සම්පාදන කටයුත්තේදී සිදු‍ෙනාවූ තත්ත්වයකි. ජනතා අදහස් ලබාගනු පිණිස සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කෙරුණු අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වූයේ නීතිඥ ලාල් විජේනායක මහතායි.

කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ යෝජනා ලබාගැනීමේ කටයුතු සිදුවන ආකාරය සහ ජනතා සහභාගිත්වය පිළිබඳ ලාල් විජේනායක මහතා දැක්වූ අදහස් මෙසේයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම පිළිබඳ කමිටුවේ කටයුතු අපි ආරම්භ කළේ පසුගිය 18 වැනිදා උදෑසන 9.30ට පමණය. එදින සිටම මේ දක්වාම කමිටුවේ කටයුතු ඉතාමත් සාර්ථක මට්ටමක පවතින බව සඳහන් කළ යුතුයි.

ව්‍යවස්ථාවේ හිමිකරුවන් වන්නේ මේ රටේ ජනතාවයි. ඒ නිසා ඔවුන්ගේ අදහස් හා සිතැඟිවලට අනුව ව්‍යවස්ථාව සකස් විය යුතුයි. මෙතැනට පැමිණෙන ඕනෑම කෙනෙකුගේම අදහසක් සාවදානව සවන්දීමටත් අපි කටයුතු කරන්නේ ඒ නිසාමයි.

පළමු දිනයේ පුද්ගලයින් දසදෙනෙකුගේ යෝජනා සටහන් කරගැනීමට හැකිවුණා. අඩු තරමින් එක් අයකුට පැය භාගයක පමණ හෝ කාලයක් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබාදීමට අපි උනන්දු වෙනවා. මෙතැනට පැමිණෙන්නේ, උගත්, බුද්ධිමත්, ප්‍රභූන්, නොයෙකුත් සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස් පමණක් නොවේ. හුදු සාමාන්‍ය පුද්ගලයින්ද ව්‍යවස්ථාව වෙනස්විය යුතු ආකාරය පිළිබඳව ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරනවා.

කමිටුව හැටියට අප මේ වනවිට වඩාත් උද්‍යෝගයෙන් කටයුතු කරන්නේ මහජනතාවගේ සැබෑම දුක්ගැනවිලි අප වෙත ඉදිරිපත් වෙමින් තිබෙන බවට විශ්වාස කළ හැකි මට්ටමේ ප්‍රතිචාර ලැබෙමින් පවතින නිසයි.

දෙවන දිනයේ පහළොස් දෙනකුගේ පමණ යෝජනා සටහන් කරගැනීමට අපට පුළුවන් වුණා. අපගේ වෙබ් අඩවිය මෙන්ම ඊමේල් ලිපිනයට ලිපි සිය ගණන් ලැබෙමින් පවතිනවා. මේ අනුව ජනතා ප්‍රතිචාර ක්‍රමිකව ඉහළ යමින් පවතින බව පැහැදිලියි.

තුන්වන දිනයේ එක් අයෙකුට පැය භාගයක කාලයක් ලබාදීම ගැටලු සහගත තත්ත්වයක් උදාවන තරමටම යෝජනා ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් සිටි පිරිස ඉහළ යනු අප දුටුවා.

මෙතෙක් ලැබුණු පැමිණිලිවල ස්වභාවය පිළිබඳව ලාල් විජේනායක මහතා සඳහන් කළේ මානව හිමිකම් පිළිබඳව ලැබුණු යෝජනා මෙන්ම පොලිසිය පිළිබඳව ලැබුණු යෝජනා වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

මහජන අදහස් විමසීමේ කටයුතු සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සිදුකිරීමේ පහසුකම් සලසා ඇති අතරම වාචිකව පමණක් හෝ, වාචිකව මෙන්ම ලිඛිතව අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද සලසා ඇත්තේ සෑම පාර්ශ්වයකම සහභාගිත්වය තහවුරු කිරීම සඳහාය. මෙසේ කමිටුවට අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් සාර්ථක ආකාරයෙන් සිදුකෙරෙමින් පවතින බව නීතිඥ ලාල් විජේනායක මහතා සඳහන් කරයි.

කමිටුව ඉදිරියේ දැනට ඉදිරිපත් කෙරී ඇති යෝජනාවලින් විවිධ පාර්ශව මුහුණ දෙන සමාජ ගැටලු රාශියකට පිළියම් අපේක්ෂා කර ඇති බව ප්‍රත්‍යක්ෂ වෙයි.

කමිටුව ඉදිරියට පැමිණි ආබාධිත පුද්ගලයකු පවසා සිටියේ, රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවලදී මෙන්ම ඇතැම් ප්‍රියසම්භාෂණ වැනි අවස්ථාවලදී ආබාධිත පුද්ගලයින් පිළිබඳව එම ස්ථානවල ඇති සැලකිල්ල, ඉඩකඩ ඉතාමත් සීමිත බවය. ඒ අය අපහසුතාවයට පිළිකුලට ලක්නොවන පරිදි එවැනි ස්ථානවල භෞතික පරිසරය මෙන්ම පුද්ගල පිළිගැනීම ඇති කළ යුතු බව ඔහුගේ අදහස විය.

කමිටුවට ඉදිරිපත් වූ යෝජනාවන් අතර ‘ගබ්සාව’ නීතිගත කිරීමේ සීමාවන් ඉවත්කිරීම පිළිබඳ යෝජනාද විය. දැනට පවතින නීතියට අනුව ස්ත්‍රි දූෂණයක් පසුව පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් එම කළලය ගබ්සා කිරීම සඳහා ප්‍රතිපාදන හිමි නොවේ. දූෂණයට ලක්වන්නියන් අතර අවුරුදු 18ට අඩු දැරියන්ද සිටිති. මෙවැනි අවස්ථාවකද එම ළාබාල දැරියගේ ජීවිතයම අඳුරු අගාධයකට වැටීම නොවැළැක්විය හැකිය. යෝජනාව වූයේ මෙවැනි විශේෂ අවස්ථාවලදී හෝ ගබ්සාව නීතිගත විය යුතු බවයි.

කමිටුව ඉදිරියේ අදහස් ඉදිරිපත් කළ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා සිය පක්ෂයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේ වතුකරයේ දෙමළ ජනතාවට බලපාන පරිපාලනමය ගැටලු විසඳා ගැනීම පිළිබඳවය. ඔහු සඳහන් කළේ දැනට වතු ආශ්‍රිතව දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් දියුණු වීම සිදු නොවන්නේ ඔවුන් ජීවත්වන හැටන්, බදුල්ල, තලවාකැලේ, නුවරඑළිය ආදී ප්‍රදේශවල ප්‍රාදේශීය සභාවලට ඇති බලතල සීමාසහිත වීම නිසා බවය. මෙම වතු ජනයා පරිහරණය කරන මංමාවත්, පාසල්, රෝහල්, නිවාස, වැසිකිළිය හා ජලනළ පද්ධති සංවර්ධනය කිරීම සඳහා මැදිහත්වීමට ප්‍රාදේශීය පාලනයට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. එම නිසා ඉඩම් පිළිබඳව මැදිහත්වීමට හැකි මහ නගර සභා බලතල මෙම ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙන ප්‍රාදේශීය සභා වෙත ලබාදිය යුතු බව ඔහුගේ අදහසයි.

මීට අමතරව නිශ්චිත ප්‍රදේශයක ජීවත් නොවුවද රට පුරා වතු පාලනය යටතේ විසිරී සිටින දමිළ ජනයා එක් ඒකකයක් ලෙස සලකා ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමේදී මහ නගර සභා බලතල ලබාදීමේ නීතිය ඔවුනට ද අදාළ විය යුතුය යන්න ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව වික්‍රමබාහු මහතා කමිටුව ඉදිරියේ කරුණු දක්වා ප්‍රකාශ කර තිබේ.

කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ කාන්තාවන් අතර අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද සිටියාය. ඇයගේ යෝජනාව වූයේ බලහත්කාරයන් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස සඳහන් කරමින් එම අපරාධය කළ අයට දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයක් සකස්විය යුතු බවයි. ඒ සඳහා දැනට දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රමාණවත් නොවන බව ඇයගේ අත්දැකීමෙන් වුව තහවුරු වන බව ඈ සඳහන් කරයි.

එසේම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මූලික වශයෙන් වගකිවයුත්තා වන්නේ රජය බවත්, එසේ බලහත්කාරයෙන් අතුරුදන් කරන්නන්ගේ පවුල් සඳහා රජයෙන් යම් රැකවරණය සැලසිය යුතු බවත් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව ඇගේ මතයයි.

කමිටුව ඉදිරියේ ඉදිරිපත් වූ යෝජනා අතර “මහජන සෞඛ්‍ය පිළිබඳ යෝජනා” රැසක් ද තිබිණි.

ඒ අනුව රෝගී ජීවිත ඇපයට ගෙන ක්‍රියාත්මක කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජන වැළැක්වීම පිළිබඳ යෝජනා මෙන්ම රජයේ රෝහලකින් ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ යෝජනාවන් ද විය. මෙම යෝජනාව ගෙන ආ “‍ජනතා සෞඛ්‍ය සංවිධානය” සඳහන් කළේ, නිදහස් සෞඛ්‍ය සේවය සේවාවක් හැටියට නොව මහජනතාවගේ අයිතියක් ලෙස සැලකීමෙන් ප්‍රතිකාර ලබාගන්නා තැනැත්තා ප්‍රතිකාර ලබාගැනීම තමාට ඇති අයිතිය ලෙස සලකා සක්‍රීය ලෙස ඉදිරිපත් වනවා සේම ප්‍රතිකාර ලබාදෙන අය මෙය සේවාවක් ලබාදීමට වඩා මහජන අයිතිය තහවුරු කිරීමක් ලෙස සලකා කටයුතු කිරීමට පෙළඹෙන බව සහ එම ආකාරයේ වෙනසක් තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රාශියක් විසඳීමට හේතුවනු ඇති බවයි.

ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු කරුණක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේදී දේශපාලන විද්‍යා විශේෂවේදී උපාධිය අනිවාර්ය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේ දෙහිවල ප්‍රදේශයෙන් පැමිණි සිරී පරණවිතාන මහතාය. සංවිධානයක් හෝ කිසිදු පක්ෂයක නියෝජිතයෙක් නොවූ ඒ මහතා සඳහන් කළේ “වෛද්‍ය, නීතිඥ, ඉංජිනේරු ආදී සෑම වෘත්තියකටම නිශ්චිත අධ්‍යාපන කඩඉමක් පසුකළ යුතු වේ. නමුත් රටේ පවතින උත්තරීතර ආයතනය නියෝජනය කරන නියෝජිතයින් තේරීමේදී කිසිදු මූලික අධ්‍යාපන සුදුසුකමක් පිළිබඳව සඳහන් නොවීම නිසා ගැටලු ඇතිවන්නේ මහජනතාවට බවයි.

කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාවන් අතර ස්ත්‍රී, පුරුෂ සමලිංගිකත්වය සදාචාරසම්පන්න මානව අවශ්‍යතාවක් ලෙස සලකා එලෙස ජීවත්වන අයට සමාජය ඉදිරියේ සාමාන්‍ය ලෙස සලකන ලෙස කරන ඉල්ලීමක් ද විය. එසේම පොලිසිය විසින් නිවැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඒ අයට සිදුවන හානිපූර්ණය කිරීමක් සිදුවිය යුතු බවත්, ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව හෝ අදාළ නිලධාරියා වෙතින් දඩ අයකර ගැනීම සිදුවිය යුතු බවට ද යෝජනා කෙරිණි.

කමිටු සාමාජික කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා ව්‍යවස්ථා සම්පාදන යෝජනා ඉදිරිපත් කිරීමෙහිලා ජනතා සහභාගිත්වය පිළිබඳව පැවසූයේ මෙවැන්නකි.

කමිටුව වෙත ජනතාව පැමිණීමේ ප්‍රවණතාව සැලකිය යුතු මට්ටමක පවතිනවා. විවිධ ජනකොටස්, සංවිධාන, දේශපාලන පක්ෂ සේම පෞද්ගලිකවම අදහස් ඉදිරිපත් කිරීමට පැමිණෙන පිරිස්ද මේ අතර වෙනවා.

යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විවිධ ඉසව් විස්සක් පිළිබඳ මුලින් මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබුණා. ඒ සෑම ඉසව්වක්ම ආවරණය වන පරිදි යෝජනා ඉදිරිපත් වෙමින් පවතිනවා. මීට අමතරව ඇතැම් පිරිස් එදිනෙදා මුහුණපාන විවිධ ආර්ථික, සමාජ, දේශපාලන ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. මේවා අතරින් සමහරක් ව්‍යවස්ථා සම්පාදනයට සෘජුව අදාළ නොවුණත්, ඒ ගැටලුවලට සවන්දීමට මෙන්ම ඒවා සටහන් කර ගැනීමට කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

ව්‍යවස්ථා සම්පාදනය සඳහා ජනතා අදහස් ලබාගැනීමට ඇතැම්විට මාස තුනක කාලයකට වඩා දීර්ඝවීමටත් ඉඩ තිබෙනවා. එසේ වන්නේ මේ සඳහා ජනතාව දක්වන උනන්දුව හා උදයෝගය මතයි. කලින් වෙන්කරන වේලාවන්ට පැමිණීමෙන්, වේලාවන් වෙන් කර නොගත් අය අදහස් දැක්වීම සඳහා පැමිණියහොත් ඒ සඳහා ඒ අයටත් කාලයක් ලබාදීමට කමිටුව උත්සාහ ගන්නවා. ක්‍රමයෙන් ජනතාවගේ උනන්දුව හා සහභාගිත්වය වැඩිවනවිට අදහස් විමසීම හා සටහන් කර ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් විධිමත්ව සංවිධානය කිරීමට සිදුවේවි. මේ කටයුත්ත වඩාත් සාර්ථක වන්නේ ජනතාවට මේ කෙරෙහි දක්වන උනන්දුව හා උද්‍යෝගය මතයි. කමිටුවක් හැටියට මෙය සාර්ථක කර ගැනීමට අප කැපවී සිටිනවා.

සිරි පරණවිතාන සහ සන්ධ්‍යා එක්නැළිගොඩ

කමිටු සාමාජික සිරිමසිරි හපුආරච්චි මහතා පසුගිය දින කීපය තුළ ලබාගත් අත්දැකීම් පිළිබඳව සඳහන් කළේ මෙසේයි.

“ව්‍යවස්ථාව සකස් කිරීමට මහජන අදහස් විමසීමට ගත් තීරණය මේ රටේ ඓතිහාසික තීන්දුවක් බවයි හැ‍ඟෙන්නේ. මිනිසුන් ඉදිරිපත් කරන ගැටලු අදහස් පිළිබඳව විමසන විට වැටහෙන්නේ කොතෙක් පීඩාවන්ගෙන් සමාජය මිරිකී පවතී ද යන්නයි.

ජනතාවගේ අදහස් යෝජනාවලට අනුව ජනතාව පාලනය වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම අපේක්ෂා සාක්ෂාත් කරගැනීමයි. දිනපතා අප වෙත ලැබෙමින් පවතින යෝජනාවල පවතින ප්‍රායෝගික සත්‍යයෙන් පෙනෙන්නේ ඉතාමත් දියුණු ලිබරල් ලක්ෂණයන‍්ගෙන් සමන්විත දියුණු නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමට ප්‍රමාණවත් යෝජනාවක් අප වෙත ලැබෙමින් පවතින බවයි.”

කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජනා සටහන් කර ගැනීම 22 දා තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉන් අනතුරුව පෙබරවාරි මාසය තෙක් රටේ විවිධ පළාත් වෙත යන කමිටු සාමාජිකයෝ ඒ ඒ පළාත්වලදී යෝජනා ලබාගැනීමට නියමිතව පවතී.

මෙසේ ලබාගත් යෝජනා විමර්ශනය කිරීමේ කටයුතු සිදුකරනු ඇත්තේ මාර්තු මාසයේදීයි. කමිට‍ුවේ කටයුතු සඳහා ලැබී ඇති කාලය මාස තුනකට සීමා වීම ගැටලු සහගත නොවේදැයි විමසූ විට සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා පැවසුවේ මෙසේ මහජන අදහස් ලබාගෙන ව්‍යවස්ථාව සකස් කළ එකම රට දකුණු අප්‍රිකාව බවයි. ඔවුහු ඒ සඳහා වසර තුනක කාලයක් ගත කළා.

“අපිට ලැබී තිබෙන්නේ මාස තුනයි. නවීන තාක්ෂණ පහසුකම් සමඟ කටයුතු කරන නිසා ඒ කාලය හොඳ යෝජනාවලියක් සකස් කිරීමට ප්‍රමාණවත් වේවි.”

නව අදහස දක්වන්න