අළු බදාදායින් ඇරඹෙන පශ්චත්තාපයේ දින හතළිහ | දිනමිණ

අළු බදාදායින් ඇරඹෙන පශ්චත්තාපයේ දින හතළිහ

කිතුනු බැතිමතුනට විශේෂ වන මංගල උත්සව දෙකක් ඇත. ඒ නත්තල සහ පාස්කු මංගල්‍යය යි. නත්තල කිතු උපත හෙවත් ක්‍රිස්තුන් වහන්සේගේ ජන්මෝත්සවය සමරන උළෙලක් වන්නේ ය. නත්තල සඳහා ආගමික වශයෙන් සූදානම් වීමේ කාලයක් තිබුණත් එය පවත්වනු ලබන්නේ ප්‍රීතිදායක පසුබිමක ය. මේ නිසා කැරෝල් ගායනා, ළමයිනට තෑගි දීම වැනි ප්‍රීති සිතින් පැවැත්වෙන උත්සව බහුල ය. ඇතැම් විට මේ ප්‍රීති ඝෝෂා සීමා ඉක්මවා හුදෙක් වාණිජ අංශයට ම බරවන අවස්ථා නැතිවා නොවේ.

එහෙත් පාස්කු මංගල්‍යය එයට හාත්පසින් වෙනස් ස්වරූපයක් ගන්නේය. මෙය ක්‍රිස්තුන් වහන්සේ ගේ මරණය සහ උත්ථානය හෙවත් මරණින් නැගිටීම, සිහිකෙරෙන උත්සවයයි. එමනිසා මෙය ආරම්භ වන්නේ වඩාත් දුක්මුසු ස්වරූපයක් ඇතිවයි.

ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කොට උත්ථාන වීම ප්‍රීති ප්‍රමෝදයෙන් සිහිපත් කෙරෙන පාස්කු ඉරුදිනට පෙර සතළිස් දවසක් තුළ කිතුනු බැතිමත්හු ඒ සඳහා සූදානම් වෙති. “චතාරික කාලය” යනුවෙන් හැඳින්වෙන මෙම කාලය ආරම්භ වන්නේ “අළු බදාදා” නමින් වන බුධ දිනයි. මේ වසරේ එය යෙදී ඇත්තේ පෙබරවාරි 10 වන දිනටයි. චතුර හෙවත් සතර අර්ථය ඇති වදනින් සතළිස් දවස සඳහා චතාරිකය යන වචනය යොදාගෙන තිබේ. ලතින් බසින් ද සතළිස් දවසක් යන අර්ථය දෙනු වස් “කොඩ්ඩ්‍ර ජෙස්සිමෝ” යනුවෙන් මේ සඳහා යොදා තිබේ. මේ කාලය ආධ්‍යාත්මික පුනර්ජීවයක් ලබන කාලයක් නිසා ඉංගිරිසියෙන් වසන්තය යන අරුත දෙන “ලෙන්ට්” යනුවෙන් හැඳින්වේ.

චතාරික සමය විශේෂ යැදුම්, උපවාස ක්‍රියා සහ දාන දීමේ කාලයකි. ක්‍රි. ව. 325 දී ප්‍රචලිත වූ මේ සම්ප්‍රදාය ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ ම ස්වකීය ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කිරීමට පෙර සතළිස් දවසක් තුළ නිරාහාරව සිටි වග අනුකරණය කිරීම් ලෙස යැයි විශ්වාස කෙරේ.

ආරම්භයේදී චතාරිකය විවිධාකාරයෙන් පවත්වන ලදී. ඇතැම් පෙරදිග කතෝලික සභාවන්හි සති සතක් තුළ සෑම සතියකම පස් දවසක් නිරාහාර ශීලය රැකිය යුතු විය. මෙයින් සෙනසුරාදා සහ ඉරු දිනයන්හි පමණක් විවේකය ලැබිණි. ජෙරුසලමේ දෙව්මැදුරු තුළ සිව්වැනි සත වසර වන විට සති අටක් තුළ මෙසේ පස් දවසක් බැගින් නිරාහාරව සිටීම සිරිත විය. බටහිර රටවල සිරිත වූයේ සති හයක් තුළ දවස් හය බැගින් නිරාහාරව සිටීම යි. මෙය දවස් සතළිය කරනු සඳහා අළු බදාදා සිට උපවාස සමය ආරම්භ කරන ලදී.

චතාරික වත්පිළිවෙත් හි විශේෂයක් වූයේ රෝමය වටා ඇති දෙව්මැදුරු තුළ සිරි කුරුසයේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ ඇණ ගසන ලද කුරුසයේ කුඩා කොටසක් ගෙන පෙරහරින් ගොස් පාප්වහන්සේ විසින් ජනතාව සමඟ දිව්‍ය පූජා මෙහෙයන් පැවැත්වීමයි.

චතාරිකය තුළ බොහෝ කිතුනුවෝ ගොඩමස් කෑමෙන් වැළැකෙති. එසේම මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය යනාදියෙන් වැළැකී සිටිති. යැදුම් අතර විශේෂ වන්නේ “පාදනමස්කාරය” යි. දෙව්මැදුරු තුළ හෝ ඇතැම් පුදබිම්හි පිහිටා ඇති ප්‍රතිමා පහළොව වෙත යාච්ඤායෝගීව ගමන් කරමින් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය මෙනෙහි කරති. මේ කාලය තුළ තේවත්ත, මග්ගොන, හිනිඳුම, අල ගොල්ලෑව, මාවතගම වැනි පුදබිම් වෙත මේ සඳහා විශාල බැතිමතුන් පිරිසක් ඇදී යනවා දැකගත හැකිය.

වෙසෙසින් මුහුදුබඩ දෙව්මැදුරු හා නිවෙස් තුළ ද සැන්ඳෑ කාලයේ පසන් ගැයීම සිරිතකි. මේ බැති ගී ගැයීම ආදියේ සිට පැවැත එන්නක් වන අතර මේවා හෙළ බසින් මෙන් ම දෙමළ බසින් ද නිර්මාණය කැර ඇත්තේ ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් මීට හාරසිය වසරකට පමණ පෙරදීය.

චතාරිකය තුළ තවත් කලා විශේෂයක් වනුයේ පාස්කු නාට්‍ය හෙවත් පාස්කු සන්දර්ශනයි. මේ කලා අංගය ද 17 වැනි සතවසරේ හඳුන්වා දෙන ලද්දකි. කතෝලිකයන් බහුලව වෙසෙන පළාත් කිහිපයක මේවා පැවැත්වෙන අතර මෙය හුදෙක් කලා දැක්මක් ම නොව කිතු සමිඳුන්ගේ දුක්ඛ ප්‍රාප්තිය ගැන ජනතාවට දැනුම ලබාදෙන භක්ති අභ්‍යාසයකි.

චතාරිකයේ අවසාන සතිය අති විශේෂ වන්නේය. “ශුද්ධවූ සතිය” ලෙස හැඳින්වෙන මේ සතිය තුළ ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය හා මරණය පිළිබඳ ජවනිකාවන් අනුස්මරණය කරනු ලබයි. මෙය ආරම්භ වන්නේ පාස්කු ඉරුදිනට පෙර ඉරුදිනයි. එදින “ගොබ් ඉරිදා” යනුවෙන් හැඳින්වේ. අවසාන වරට කිතු සමිඳුන් ජෙරුසලමේ නගරයට පැමිණෙනවා දුටු පොදු ජනතාව උන්වහන්සේ පිරිවරාගෙන කිතු ගොස නඟමින් මහාමඟ සරසා පිළිගත් ආකාරය එදින සිහිපත් කරයි.

එහෙත් කල්ගතවූයේ නැත. එම සතිය තුළම බ්‍රහස්පතින්දා උන්වහන්සේ තම ගෝල පිරිස සමඟ අන්තිම රාත්‍රී භෝජනය වැළඳූහ. එහිදී සදා පවතින ලෙස පූජකවරයන් දිව්‍ය සත්ප්‍රසාදය හෙවත් තම ශ්‍රී මාංසපත් රුධිරයත් දානය කිරීමේ මහඟු ප්‍රසාද නිධානයත් ස්ථාපිත කළහ.

ඉනික්බිති උන්වහන්සේ මුහුණ දුන්නේ පාවාදීමට සහ කෲර මරණයට යි. එය සමරනු ලබන්නේ “මහා සිකුරාදා” දිනයි. මෙදින විශේෂ එක්වරු ශීල රැකීමේ දිනයකි. උදේ වරුවේ පාදනමස්කාර වන්දනාව පැවැත්වෙන අතර සවස ක්‍රිස්තු ඝාතනය මෙනෙහි කෙරෙන “ තුන් පැය ධ්‍යානය” පැවැත්වේ.

පසු සෙනසුරාදා දින ශෝකයෙන් වුවද බලාපොරොත්තුවෙන් යුතුව ගතකෙරෙන දවසකි. එදින අඳුර වැටුණු පසු නව ගිනි මොළවනු ලැබේ. ඉනික්බිති වතුර ආසිරි ගැන්වීම සහ දිව්‍ය පූජා මෙහෙය පවත්වනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය බලාපොරොත්තුවෙන්ය.

රාත්‍රිය ගෙවී යාමත් සමඟ උදාවන්නේ ජයග්‍රාහි ඉරුදින යි. මෙදින ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කොට යළි ජීවතුන් අතරට පැමිණීම සමරමින් ජනතාව ප්‍රීති ප්‍රමෝද වෙති.

මෙය කිතුනු බැතිමතුන්ගේ ඇදහිල්ල හා විශ්වාසය දැඩි ලෙස තහවුරු කරන සත්‍යයක් බව කිව යුතුයි.

මෙදින උදාවීමත් සමඟ චතාරික සමය අවසාන වන්නේ ය.

ශුද්ධවූ සතිය තුළ පූජාප්‍රසාදීන් වහන්සේලාට සහභාගි වීමේ පහසුව බලා ශුද්ධවූ තෛලය හෙවත් සභා පිළිවෙත් අනුව අභිෂේක කිරීම සඳහා අවශ්‍ය වන ඔලිව් තෙල් ද ආසිරි ගන්වනු ලැබේ. රෝගීන් ආලේපනය. පූජක සහ රදගුරු අභිෂේක, ප්‍රසාද ස්නාපනය සහ අභිවෘද්ධි ආලේපනය. දෙව්මැදුරු සහ පූජාසන ආලේපනය ආදී අවස්ථාවන්හිදී භාවිත කෙරෙන තෙල් තුන් වර්ගය ම ආසිරි ගන්වනු ලබන්නේ ශුද්ධවූ සතිය තුළයි.

ඔස්වල්ඩ් ගෝමිස්

විශ්‍රාමික කොළඹ අගරදගුරු

අදහස් 1ක් ඇත

මෙහි අලු බදාද ගැන විස්තරයක් තිබූ නානම් අගේ යය් සිතමි

නව අදහස දක්වන්න