ගුවන ජයගත් පැරෂුට් විරුවෝ විසිර යති | දිනමිණ

ගුවන ජයගත් පැරෂුට් විරුවෝ විසිර යති

ශ්‍රී ලංකා ගුවන් හමුදා අමිපාර පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් අංක 30 මුලික පැරෂුට් පාඨමාලාව සහ අංක 31 කාන්තා මුලික පැරෂුට් පාඨමාලාව, අංක 06 පැරිෂුට් එතීමේ සහ නඩත්තු කිරීමේ පාඨමාලාවන් හැදෑරූ විරුවන් විසිරයාමේ අභිමානවත් පෙළපාලියක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22දා අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

එම විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුදා ඉතිහාසය අලුත් කරවමින් වැඩිම පැරෂුට් භටයන් පිරිසක් විසිර ගිය පාඨමාලාව මෙන්ම වැඩිම ගුවන් කාන්තාවන් පිරිසක් විසිර ගිය පැරෂුට් පාඨමාලාව ලෙස ද ඉතිහාසයට එක්විය. එම පාඨමාලාවේදී ගුවන ජය ගැනීමට අසීරු පුහුණුවක් සිදු කළ මේ විරුවන් සහ වීරවරියන් පාඨමාලාවේ සියලුම අභියෝග ජය ගැනීමට සමත් වූ අතර රාතී‍්‍ර කාලයේ දී සතුරු කඳවුරක් වෙත පැරෂුට් අධාරයෙන් පිවිසීමට විශේෂ පුහුණුවක් ද ලබා ගැනීමට සමත් විය.

එම පාඨමාලාවට ගුවන් හමුදා නිලධාරින් 09 දෙනෙකු, ගුවන් භටයන් 48 දෙනෙකු, ගුවන් කාන්තාවන් 24 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් එක් අයකු සහ නාවික හමුදා සාමාජිකයකු ඇතුළත් විය.

විසිරයාමේ පෙළපාලිය විචිත්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා ස්කයි ඩ්‍රයිවර්ස් විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 6000ක ඉහළ අහසේ සිට නිදහසේ පහළට වැටෙමින් ඉදිරිපත් කළ සුවිශේෂී පැරෂුට් පිමි, ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ඉදිරිපත් කළ සරඹ හා තූර්යවාදන සංදර්ශනය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.

එම අභිමානවත් අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඩබ්ලිව්.එම්.පී.ඩී. ප්‍රනාන්දු, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් සී. ජේ. ගොඩකන්ද සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් ද විසිර ගිය පැරෂුට් භටයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද සහභාගී වූහ.

නව අදහස දක්වන්න