ගූගල් වෙබ් ෆොන්ට්ස් වෙත ගිය ප්‍රථම සිංහල අකුරු රටාව | දිනමිණ

ගූගල් වෙබ් ෆොන්ට්ස් වෙත ගිය ප්‍රථම සිංහල අකුරු රටාව

තඹරු විජේසේකර

අපිට පරිගණකය හරහා ලිපියක් ලිවීමට, නිර්මාණයක් කිරීමට විවිධ මෘදුකාංගවල සිංහල අකුරු භාවිත කරනවා වගේ අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි පෙන්වන්න වෙබ් බ්‍රවුසරයටත් එවන් අකුරු විලාස අවශ්‍ය කරනවා. එසේ විවිධ හැඩයන්ගෙන් යුත් අකුරු ඔබට පෙන්වන්නට වෙබ් අඩවි නිර්මාණය කරන්නන් විසින් ඔවුන්ට අවශ්‍ය ෆොන්ට් ද ඔවුන්ගේ වෙබ් අඩවිය සමඟ ම ගොනු කරන්නට වෙනවා. ඒත් මේ වෙබ් ෆොන්ට්ස්වල සිංහල අකුරු තිබුණේ නැහැ. එනිසා මෙතෙක් කාලයක් වන තුරු ම බොහෝ සිංහල වෙබ් අඩවිවලට පිවිසීමේදී ඒවායේ නිවැරදි අකුරු වෙනුවට කොටු හැඩයේ රූප දකින්නට ලැබුණු අතර ඒවා දර්ශනය වීමට නම් අපේ පරිගණකයේ එම ෆොන්ටය ස්ථාපනය කරගන්නට සිදු වුණා. එහෙත් ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයමික් ප්‍රධාන වෙබ් ෆොන්ට සේවාවක් වන ගූගල් සමාගමේ ගූගල් වෙබ් ෆොන්ට්ස් සේවාවට දැන් සිංහල අකුරු විලාසයන් එක්ව තිබෙනවා.

පරිගණකය හරහා යතුරු ලියනය කළ ඕනෑම කෙනෙක් එෆ්එම්-මලිති, අභය, බින්දුමතී වැනි ෆොන්ට ඕනෑ තරම් භාවිත කරලා ඇති. ඒ අකුරු විලාසයන් ඇසට ඉතා ම ප්‍රියයි වගේ ම මේවායෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවනෝපාය සලසා ගන්නටත් භාවිත කරන්නට ඇති. ඉතින් මේ අකුරු විලාසවල හිමිකරුවා සහ නිවැවුම්කරුවා වන, සිංහල පරිගණක අකුරුකරණයේ පියා යන විරුදාවලියෙන් අපි හඳුන්වන්නට කැමති පුෂ්පානන්ද ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මූනියැක් නම් සමාජ කේන්ද්‍රීය නිර්මාණකරුවන් පිරිසකගේ ගේ එකතුවක් තමයි මේ ගූගල් වෙබ් ෆොන්ට්යට දායකත්වය දක්වා තිබෙන්නේ. මේ ඒ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්ව සමඟ කළ සංවාදයක්. පළමුව හඬ අවදි කරන්නේ පුෂ්පානන්ද ඒකනායකය.

ඔබතුමා ඒ කාලයේ පරිගණක ෆොන්ට කලාවට මුල් පියවර තැබුවේ කොහොමද?

ලංකාවට පරිගණක භාවිතයට මුල පුරන කාලයේ සිංහල භාෂාවෙන් සාමාන්‍ය මුද්‍රණ කර්මාන්තය ඉතා ඉහළ දියුණුවක් ලබා තිබුණත් එය පරිගණක මුද්‍රණකරණයේදී සිංහල බස ඉතා ම ප්‍රාථමික අවස්ථාවකයි පැවතුණේ. මට පරිගණකයෙන් සිංහල අකුරු ලියන්න අවශ්‍ය වුණා ම ඒක කරගන්න කිසිම පහසුකමක් තිබුණේ නැහැ. ඒ සමඟ මට සිංහල අකුරු පරිගණක සඳහා එක්කරලීමේ අවශ්‍යතාව දැඩිව දැණුනු නිසා ඊට මුල පුරන්න අදහස් කළා. දැන් තිබෙන අපූරු පහසුකමක් වන අන්තර්ජාලය එකල නොතිබුණු නිසා මුලින් ම මේක කරන්නේ කොහොමද, ඊට අවශ්‍ය මෘදුකාංගය භාවිත කරන්නේ කොහොමද කියාවත් ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් මම පරිගණකාශ්‍රිත වෙළෙඳසැලක් තිබෙන මගේ මිත්‍රයෙක්ගෙන් මෘදුකාංගයක් ඉල්ලා ගෙන, එය ක්‍රියාත්මක කරන ආකාරය ඇතුළත් පිටු 600ක පමණ පොතක් බයින්ඩ් කරගෙන තමයි මේ වැඩේට 1994දී අත තිබ්බේ. 1998 වෙද්දි මට හැකි වුණා පළවෙනි ෆොන්ට් එක වන මලිති ෆොන්ට් එක සම්මත විජේසේකර යතුරු පුවරු ක්‍රමයට නිකුත් කරන්නට.

සාමාන්‍ය ෆොන්ට්ස් භාවිතයේ අත්විඳි දෝෂ සහ ඉන් යුනිකෝඩ් වෙත පැමිණීමේදී මුහුණ දුන් දේවල් මොනවාද?

සාමාන්‍ය ෆොන්ට්වල, එහෙමත් නැත්නම් ASCII කේතකරණය හරහා අකුරු 256කට පමණ සීමාවූ ෆොන්ටවල ඉංග්‍රීසි අකුරු වෙනුවටයි සිංහල අකුරු ආදේශ කර තිබුණේ. ඒ නිසා මේවා ලියද්දී මැදට ඉංග්‍රීසි ෆොන්ට් එකකට මාරු වෙන්නට සිදු වෙනවා. එහිදී සිංහල අකුරු රවුම් සහ කුඩා නිසා ඉංග්‍රීසි අකුරු සමඟ ගළපන්නට නම් අකුරුවල ප්‍රමාණ ද වෙනස් කරන්නට සිදු වුණා. උදාහරණයක් විධියට එෆ්එම්-අභය අකුරු ප්‍රමාණය 11pt ලියද්දී ඒ සමඟ ලියන ටයිම්ස් නිව් රෝමන් අකුරු 12pt බවට පත් කරන්නට සිදු වුණා. ඒ වගේ සිංහල, ඉංග්‍රීසි අකුරු අතර තිබුණු පොයින්ට් එකක වෙනස්කම ලොකු බලපෑමක් වුණා.

හැබැයි යුනිකෝඩ්වල කථාව ඊට හාත්පසින් ම වෙනස්. උදාහරණයක් වශයෙන් ‘ම’ යන්න, ඉස්පිල්ල, ‘මි’ යන්න කියන්නේ අකුරු අවස්ථා තුනක්.

ඉන්පසු මූනියැක් වෙනුවෙන් අපට අදහස් දැක්වූයේ ලන්ඩනයේ සිට එක්වූ මූනියැක් කණ්ඩායමේ පැතුම් එගොඩවත්ත යි.

මූනියැක් එකට කට්ටිය එකතු වුණේ සහ ෆොන්ට් හදන්නට තීරණය කළේ කොහොමද?

අපි මුලින් ග්‍රැෆික් නිර්මාණ තමයි ගොඩක් ම කළේ. ඒකෙදි අපිට නිතරම මුහුණ දෙන්නට වුණු දෙයක් තමයි සිංහල යුනිකෝඩ් ෆොන්ට්වල තිබුණු අඩුකම. සාමාන්‍ය පුද්ගලයෙක්ට වතුර වගේ ග්‍රැෆික් නිර්මාණකරුවෙක්ට අවශ්‍ය වන ප්‍රධාන ම යටිතල පහසුකමක් තමයි ෆොන්ට්ස් කියන්නේ. ඒ වෙනකොටත් සිංහල ෆොන්ට්ස් වෙනුවෙන් එතුමා විශාල සේවයක් කරලායි තිබුණේ. ඒත් නිසියාකාරව ඉගෙන ගන්නට, අරමුදල් සපයා ගන්නට වගේ ම අන්තර්ජාතික සම්මතයන් අනුව නිර්මාණයක් කරන්නට අපිට අවස්ථාවක් තිබුණේ නැහැ.

ගූගල් සමාගමේ වෙබ් ෆොන්ට්ස්වලට සිංහල එකතු කරන්නට අවස්ථාව ලැබුණේ කොහොමද?

2014 වර්ෂයේදී ගූගල් සමාගමට ඉන්දියාව ආශ්‍රිත රටවල්වල භාෂාවන් අතරින් සිංහල භාෂාවටත් ෆොන්ට් එකක් එක් කරගන්නට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් සියලු පහසුකම් සැපයූ නිසා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට අපි උනන්දු වුණා. ඒ අනුව තමයි අන්තර්ජාතික ප්‍රමිතීන්ට ද අනුකූලව ප්‍රථම සිංහල යුනිකෝඩ් සහ වෙබ් ෆොන්ටය අපිට ගූගල් හරහා ලොවට ලබා දෙන්නට හැකි වුණේ.

ඉතින් එ්කට අභය ෆොන්ට් එක ම තෝරාගත්තේ ඇයි?

අපි මේක පටන් ගන්න කලින් ඒ වෙද්දි තිබුණු බොහෝ ෆොන්ට් වර්ග අරගෙන විශ්ලේෂණය කළා. ඒ වගේ ම ඒක වැඩි ම දෙනෙක් ප්‍රිය කරන සහ ඇසට හුරුපුරුදු ෆොන්ට් එකක් වෙන්න ඕන කියලා අපි තීරණය කළා. බොහෝ පුවත්පත්වල වගේ ම විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය නිබන්ධන ඉදිරිපත් කිරීමේදීත් භාවිත කරන්නේ අභය ෆොන්ට් එක. ඒ වගේ ම ගැමුණු ෆොන්ට් එක පසුගිය මැතිවරණයේදී ප්‍රධාන පක්‍ෂ දෙකේ ම වේදිකාවල භාවිත කරලා තිබුණා. ඉතින් වැඩි ම භාවිතය සලකලා අපි අභය තේරුවා.

අභය ලිබ්රේ කියන නමෙන් අදහස් කළේ මොකක්ද?

ලිබ්රේ කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිදහස කියන එක යි. ඉතින් අපේ ෆොන්ට් එකත් ඒ වගේ ම නිදහස්. ඕනෑ ම කෙනෙක්ට නොමිලේ භාවිත කළ හැකි එකක් වගේ ම නිදහස් මෘදුකාංග වගේ මේකටත් වෙනස්කම් කර නැවත බෙදා හරින්නට ඕනෑම කෙනෙක්ට අපේ බලපත්‍රය නිසා අවසර ලැබෙනවා. අන්න ඒ ‘විවෘත කේත’ අදහස ලබා දෙන්නට තමයි අපි ඒ නම දැම්මේ.

අලුත් ෆොන්ට් එකේ නිර්මාණකරණ ක්‍රියාවලිය විස්තර කළොත්?

මේකෙන් ලැබුණු ප්‍රධාන ම දේ තමයි අන්තර්ජාතික මට්ටමේ සම්මතය අනුව නිවැරදි යුනිකෝඩ් ෆොන්ට් එකක් හදා ගන්න හැටි අපිට ඉගෙන ගන්නට පුළුවන් වුණු එක. යුනිකෝඩ් ෆොන්ට්වල ලතින් අකුරුත් තිබෙන නිසා ඒවා කර ගන්නට අපිට ආර්ජන්ටිනියානු ජාතික අකුරු නිර්මාණ ශිල්පිනියක වන සොල් මේට්ස්ගේ සහාය සහ දැනුම ලබා ගන්නට හැකි වුණා. මෙහිදී අපිට මාස 9ක් වගේ වැය කරලා හොඳ දෙයක් කරන්නට පුළුවන් වුණා. එහිදී අපි සාමාන්‍ය අකුරුවල සිට තදකුරු දක්වා පැහැඅන්තර 5ක් අභය ලිබ්රේ සඳහා අඩංගු කළා. ඒක ගූගල් සමාගමට ලබාදීලා මේ වෙන කොටත් අපි එහි විවිධ අඩුපාඩු සකසමින් සහ විශේෂාංග එක් කරමින් ‍වෙළුම් 5ක් නිකුත් කර තිබෙනවා.

ඉදිරියට තවත් මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

අපි මේ වන විටත් යාල් දේවි, ගැමුණු නමින් නමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි අඩංගු යුනිකෝඩ් ෆොන්ට් දෙකක් සහ ස්ටික් නෝ බිල්ස් නමින් සිංහල හා ඉංග්‍රීසි ෆොන්ට් එකක් හදාගෙන යනවා. මේවායේ තාක්‍ෂණික කටයුතුවලදී අයන්ත රන්දික සහ දෙමළ අකුරු සඳහා අපිට කෝසල සෙනෙවිරත්න සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සිවපුරන්ගේ සහාය ලැබුණා. ඉතින් අභය ලිබ්රේ එකෙන් ඉගෙන ගත්තු දේවලුත් භාවිත කරලා අපි මේ ෆොන්ට්නුත් ඉහළ මට්ටමෙන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අභය ලිබ්රේ සඳහා ඇලකුරු වෙළුමක් සඳහාත් අපි සාකච්ඡා කරමින් යනවා.

ෆොන්ට් භාවිතා කරන්නන්ට සහ හදන්න කැමති අයටත් උපදෙසක් දෙමු?

අනිවාර්යයෙන් ම. අපි අභය ලිබ්රේ එක්ක ලබපු සියලුම දැනුම අපි GitHubහි ගබඩා කර තිබෙනවා. එතනින් හෝ අපේ වෙබ් අඩවිය වන mooniak.com හරහා ඕනෑම කෙනෙක්ට එහි පිවිස සියලුම දේවල් ඉගෙන ගන්න වගේ ම මේ අභය ලිබ්රේ නිදහස් ෆොන්ට් එක අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට වුණත් පුළුවන්. ඒ වගේ ම ඒවායේ තිබෙන අඩුපාඩු අපිට දන්වලා එවනවා නම් අපි බොහොම සතුටුයි ඒවා සකස් කර දෙන්නට.

මේ සිංහල භාෂාව වෙනුවෙන් තබන ලද මහා පියවර ඔබට fonts.google.com වෙත පිවිස බලාගත හැකි අතර දැන් එම අකුරු ඒ හරහා ඔබේ වෙබ් අඩවියේ භාවිත කරන්නටත් ඔබට හැකියාව තිබෙනවා. ඉතින් මෙතෙක් කල් හොරෙන් භාවිත කළ ෆොන්ට්ස් වෙනුවට මේ නිදහස් ෆොන්ට් එක, අපේ කටයුතු වඩාත් අවංකභාවයකට ගෙන ඒවි.

අදහස් 1ක් ඇත

thanks!

නව අදහස දක්වන්න