බයිබලයේ ගීතාවලිය හෙළබසට නැඟූ කිතුනු පූජකවරයා | දිනමිණ

බයිබලයේ ගීතාවලිය හෙළබසට නැඟූ කිතුනු පූජකවරයා

 සිංහල සාහිත්‍යයට අප්‍රමාණ මෙහෙයක් ඉටුකළ පූජකවරුන් කීපදෙනෙක්ම මෙරට කතෝලික සභාවේ සිටිනවා. එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා, මර්සලිනු ජයකොඩි පියතුමා මෙන්ම මෝසැසි පෙරේරා පියතුමා ද ඒ අතරින් සුවිශේෂව කැපී පෙනෙන පූජකවරයෙක්.

මෝසැසි පෙරේරා පියනම වඩාත් වැදගත් වන්නේ බයිබලයේ එන සාම් හෙවත් ගීතාවලිය හෙළ බසට නැඟීම හේතුවෙනි.

මුලින්ම ගීතාවලිය යනු කුමක්දැයි යන්න පිළිබඳ කිසියම් පූර්ව අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍යයි. ‘ගීතාවලිය’ සංග්‍රහ වන්නේ බයිබලයේ පරණ ගිවිසුමට. බයිබලය කොටස් දෙකකින් යුක්තයි. ඒ පරණ ගිවිසුම හා නව ගිවිසුම යනාදී වශයෙන්. ක්‍රිස්තු චරිතය ඇතුළත් වන්නේ නව ගිවිසුමට. පරණ ගිවිසුමෙන් කියැවෙන්නේ ජුදෙව් ජාතියේ ඓතිහාසික, සමාජාර්ථික හා දේශපාලනික, සංස්කෘතික ජීවිතය.

පරණ ගිවිසුමේ ගීත සාහිත්‍යයක් දක්නට පුළුවන්. එය ‘ගීතාවලිය’, ‘ප්‍රේම ගී’ හා ‘විලාප ගී’ යනුවෙන් කොටස් තුනට බෙදිය හැකිය. ගීතාවලිය ඇත්තටම විචාරකයන් සලකන්නේ ‘ගීත සංග්‍රහයක්’ විදිහටයි.

1962 දී දෙවැනි වතිකානු සමුළුවෙන් කතෝලිකාගම ක්‍රියාත්මක වන රටවල ආගමික කටයුතු දේශීය මුහුණුවරකින් යුක්තව පවත්වාගෙන යෑමේ නිල අවසරය ලබා දුන්නා. ඒ හේතුවෙන් එතෙක් පැවති ලතින් පූජාව හා ගීතිකා සිංහලට පෙරළෙන්න පටන් ගත්තා. ජයකොඩි පියතුමා පැරණි ලතින් තනු බැහැරලා ඉතාම මිහිරි නව ස්වතන්ත්‍ර තනු ඇසුරෙන් ගීතිකා රචනා කළා. මෝසැසි පෙරේරා පියතුමාත් හෙළ බස ගුරුකොට ගනිමින් ගීතිකා ප්‍රබන්ධ කළා.

අර්නස්ට් පෝරුතොට පියතුමා වරක් මෙසේ කියා තිබෙනවා.

‘අද පූජකවරුන් පූජාව සිදුකරන්නේ සිංහල බසිනි. ලතින් බසින් කෙරෙන ගායනා කිසිවක් නැත. මෙවන් පෙරැළියක් මෝසැසි පෙරේරා පියතුමා හා සුනිල් ශාන්තයන්ට කරන්ට හැකිවුණු අතර ලංකා කතෝලික සභාවේ ජනවන්දනා මුහුණුවර සහමුලින්ම දේශීය කිරීමට පුරෝගාමී වූයේ මෝසැසි පියතුමායි.’

මෝසැසි පෙ‍රේරා පියතුමා ගීතාවලියේ එන ගී හඳුන්වා ඇත්තේ ‍‘තෙහෙලි ගී’ යනුවෙන්. උන්වහන්සේ කුමාරතුංග මඟ අනුදකිමින් හෙළබසින් ලේඛනයේ යෙදුණු පූජකවරයෙක්. ලතින් බසත්, සිංහල බසත් මනාව දත් ගිහි පැවිදි උගතුන්ගේ පොදු මතය වන්නේ මේ අනුවාදයේ ලතින් බසට වඩා පැහැදිලි මටසිලුටු ගතියක් හා සිංහල අපේකමක් තිබෙන බවයි.

දුවන ලෙසට පවසෙ පෙළි පෙළි

මුව දෙන උල් දියට සුසුම් ලා

හැපෙයි මගේ දෙවියනේ

මගෙ අත් බව ඔබ මැ සොය සොයා

වතට වත දිදී දකිමි මම කෙදා

දෙවිඳු මගේ සුරිඳු මගේ එකමැ හිමි සදා

ඒ සිංහල ගීතිකා අතර ඉතාම ජනප්‍රිය ‘තෙ‍හිලි’ ගීතයක්.

මෝසැසි පෙරේරාගේ අනුවර්තන කාර්යයෙහිදී සුනිල් සාන්ත (මෝසැසි පියතුමා ඥාතීත්වය අනුව සුනිල්ගේ මාමා) අයිවෝ ඩෙනිස්, ජේ. කේ. එස්. පෙරේරා යන අය නිර්මාණාත්මකව දායක වී තිබෙනවා.

මෝසැසි පෙරේරා ‘තෙ‍හිලි ගී’ වලට අමතරව තවත් ගීතිකා රැසක් ලියා ඇති නිබන්ධකයෙක්. ‘ඔබට පසස ගී’ නමින් කාණ්ඩ 8 කින් විතර පළව ඇති ගීතිකා පොතේ අගනා ගීතිකාත්, ‘තෙහිලි’ ගීතත් ඇතුළත් වෙනවා.

බයිබලයේ පවුකාර ස්ත්‍රියක ලෙස හැඳින්වෙන මරිය මග්දලේනා ගැන උන්වහන්සේ ලියා ඇති ගීතිකාව උන්වහන්සේ සතු මානව භක්තිය මැනවින් ප්‍රකට කරන්නක්.

පව් ගොඩක් ගොඩක් ඈ කෙරුවා

ගොඩක් ආදරේ පෑවා

ඇගෙ නොවක් නිබොරු විස්වාසේ නිසා

ඇගෙ සිත කොතෙකුත් සන්සිඳුණා

ජේසුගේ පාමුල වැටී එදා ඇඬුවා

ඇඬුවා කඳුළින් තෙමුවා

දොවා දොවා දෙපා ජේසුගේ තැවුණා

හෙම්බල මරිය මග්දලේනා

මේ ගීතිකාවේ තවත් අන්තරා කොටස් හතරක් තිබෙනවා.

ගීතයේදී පමණක් නෙමෙයි ප්‍රායෝගික ජීවිතයෙත් මෝසැසි පෙරේරා පියතුමා මානවවාදියෙක් වුණා. 1999 ට යෙදුණු එතුමාගේ ජන්ම ශත සංවත්සර උළෙලේදී ගුරු විද්‍යාල කථිකාචාර්යවර‍යකු වූ ජූලියස් සෙනරත් මහතා මෙසේ කියා සිටියා.

‘ඉරිදාවට, නත්තලට, මංගල්ලෙට, නුවානෙට සහභාගි වී තම ආගම හමාර කළ බිත්ති හතරට කොටු වූ ඇදහිල්ල එතුමා තරයේ ප්‍රතික්ෂේප කළා. සමාජයෙන් ඈත්වී පවුරු වළල්ලෙන් වටවී එක්ටැම් ගෙවල හුදකලාව රස මසවුළු වළඳමින් කවර කවදාවත් දේව රාජ්‍යය වෙත ළඟාවිය නොහැකි බව අපට සාක්ෂාත් කළේ උන්වහන්සේයි.’

1899 උපන් මෝසැසි පියතුමාගේ ගම ජාඇල, දෙහියගාත. අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්. 1927 පූජකවරය ලද උන්වහන්සේ රක්වාන, බලංගොඩ, පින්නවල, දෙණියාය යන මීසම්වල සේවය කළා. 1985 පෙබරවාරි 2 වැනිදා ස්වර්ගස්ථ වුණා.

මෝසැසි පෙරේරා මාහිමියන් ගැන අගනා පොතක් බෙනඩික්ට් ජෝශප් ‍පියතුමා ලියා තිබෙනවා. උන්වහන්සේගේ ජීවිතය ගැනත්, නිර්මාණ ගැනත් එහිලා කියැවෙනවා. ඊට ‘තෙහිලි’ ගී රැසක් ද අඩංගුයි.

මෙම තීරු සටහන නිමා කරන්න මත්තෙන් එක්තරා පෞද්ගලික කරුණක් ද නොකියා බැහැ. අප පාසල් යන අවදියේ පාසලේ මහත් ආසාවෙන් ගැයූ ගීතිකා කවුරු ලිව්ව ඒවාදැයි අපි දැන හිටියේ නැහැ. ඒ ගීතිකාවල කර්තෘත්වය හිමිවන්නේ ජයකොඩි, මෝසැසි පෙරේරා වැනි පූජකවරුන්ට බව දැනගත්තේ පසුකලෙක. ‘දුවන ලෙසට පවස පෙළි පෙළි’, ‘සුරිඳු ජේසු මෑණියේ’ වැනි ගීතිකා මෝසැසි පෙරේරා පියතුමාගේ රස සමානිත ගීතිකා.

සුරිඳු ජේසු මෑණියේ

සුහද මව මගේ

පව් කමාව සෙත සදාවෙ

සදා - සරණෙ මා

සදා - සරණෙ මා

 

සුනිල් මිහිඳුකුල

[email protected]

නව අදහස දක්වන්න