රෑට රෑට හෙණ වදින යාල වනයේ සොහොන් කොත | දිනමිණ

රෑට රෑට හෙණ වදින යාල වනයේ සොහොන් කොත

වන අලි දඩයමේ ගොස් වන අලියකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රීසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානය තුළ දක්නට ඇත.

කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා - ජේ. පී. ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තිබෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. ඔහු වැඩි වශයෙන් කර තිබෙන්නෙ අලි ඇතුන් දඩයමටයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියෙකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා තිබෙනවා.

ඉන්පසු ඔහුගේ මිතුරන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදිකරල තියෙනවා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකු වූ ජේ. පී. ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රේල් 03 දා. විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.

මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුණා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා. ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා. ඒ හැම වාරයකම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩියා කරනවා. හෙන වදින බැවින් දැනට ඔවුන් මේ සොහෙන් කොතේ උස අඩි 20කට විතර අඩු කරලා. මේ පළාතේ ගම්වල මිනිස්සු කියන්නෙ සුද්දා අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මේ සොහොනෙනුත් පලි ගන්නවා කියලයි.

කතරගම සමූහ
ඇම්. නෙල්සන් පියරත්න

නව අදහස දක්වන්න