රණවිරුවා සහ මිනීමරුවා හඳුනා ගැනීම | දිනමිණ

රණවිරුවා සහ මිනීමරුවා හඳුනා ගැනීම

අද තිබෙන ප්‍රශ්නය වන්නේ හමුදා නිල ඇඳුමට මුවා වී කළ බව කියන බොහොමයක් අපරාධ ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම්වලට එහා ගිය දේශපාලන ඝාතන හෝ දේශපාලන න්‍යාය පත්‍ර මත සිදුකළ ඝාතන හෝ අපරාධ වීමයි. ඒවා නිසි පරිදි විමර්ශනය වුවහොත් හඳුනා ගැනෙන්නේ නූලේ කොනේ ඉන්නේ සොල්දාදුවෙක් වෙනුවට වෙනත් බලවතෙක් බව නිසැක වීමයි.

“විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක් මිනීමරුවෙක් වී තිබෙනවා නම් ඔහු ඒ දඬුවමට යටත් විය යුතුයි” ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගියදා මහනුවරදී ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක පසුව පැවැති මාධ්‍ය හමුවේදීයි යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනමාධ්‍යවල පුළුල් අවකාශයක් හිමි නොවුණත් යුද හමුදාපතිවරයාගේ මේ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් වශයෙන් සැලකිය හැකියි. මොකද මේ ප්‍රකාශය කරන්නේ ධූරයෙන් විශ්‍රාම ගිය හෝ යාමට ආසන්නව සිටින යුද හමුදාපතිවරයෙක් නොවෙයි. අලුතින් යුද හමුදාපති පදවියට පත් වූ යුද හමුදාපතිවරයෙක්. ඒ නිසා යුද හමුදාපති මහේෂ් රත්නායක මහතා කරන ප්‍රකාශයට දැවැන්ත සමාජ හා දේශපාලන වටිනාකමක් හිමි වෙනවා.

යුද හමුදාපතිවරයා මේ මාධ්‍ය හමුවේදී අවධාරණය කරන්නේ “හමුදා සාමාජිකයන් සහ නිලධාරීන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ යුද හමුදා නීතියට යටත් බවයි” මේ ප්‍රකාශයත් මුල් ප්‍රකාශය සේම ඉතා වැදගත්. මන්ද රණවිරු ලේබලය අලවාගත් කුලී ඝාතකයන් කිහිප දෙනකුට මුක්තියක් ඉල්ලමින් අවස්ථාවාදී හා බලලෝභී දේශපාලනඥයන් ඇතුළු කල්ලියක් පසුගිය කාලය පුරාම රට කළඹමින් සිටිනවා. අධිකරණය ඇතුළු සිවිල් පරිපාලන යාන්ත්‍රණයට අභියෝග කරමින් සිටිනවා. මේ බලපෑම් හමුවේ අධිකරණ යාන්ත්‍රණය සේම පරිපාලන යාන්ත්‍රණයත් යම්කිසි අසහනකාරී තත්ත්වයකට හසුවෙලා සිටින බවක් පේන්න තිබෙනවා. එම තත්ත්වය තුළ වත්මන් යුද හමුදාපතිවරයා ඉතා පැහැදිලිවම මේ අසහනකාරී තත්ත්වයට පිළියම් යොදයි කියලා විශ්වාස කළ හැකියි. මන්ද ඔහු ඉතා පැහැදිලිව ම අවධාරණය කර ඇත්තේ “ඒ අයට කිසි සමාවක් නැහැ. මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා කියලයි.

ඵෛතිහාසික වරදක් යළි නිවැරදි කිරීම

යුද හමුදාපතිවරයාගේ මේ මනා වටහා ගැනීම (අවධාරණය කිරීම) හරහා රණවිරු ලේබලයේ රැකවරණය ලබමින් සිටින කුලී මිනීමරුවන් අතලොස්සට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යුද හමුදාව තුළින් බලපෑමක් හෝ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමක්, පමා කිරීමක් යළිත් සිදු නොවනු ඇතැයි විශ්වාස කළ හැකියි. මන්ද පසුගිය කාලයේ මෙවැනි පසුගාමී සිදුවීම් කිහිපයක් ප්‍රබලාකාරයෙන් සිදු වුණා. ඒ ගැන යහපාලන සමාජය සිටියේ දැඩි කණස්සල්ලෙන් බවත් අප අමතක නොකළ යුතුයි. එවැනි තත්ත්වයක් හමුවේ යුද හමුදාපතිගේ ප්‍රවේශය යුක්තිය ඉල්ලා හඬා වැටෙන විශාල පිරිසකට මහත් සහනයක් වේවි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම සැබෑම රණවිරුවන්ටත් තම ගරුත්වය යළි ඔසවා තැබීමට ලැබෙන මහඟු අවස්ථාවක් වේවි. මොකද “කිරි කළයක් දොවලා ඒකට ගොම ටිකක් මිශ්‍ර කළා වාගේ ” ක්‍රියාවක් තමයි කුලී ඝාතකයනුත් රණවිරුවන් ලෙස අභිෂේක කරමින්, ඔවුන්ට නිල රැකවරණය ලබාදීම මගින් පසුගිය කාලය පුරාම සිදු වුණේ. නව යුද හමුදාපතිවරයා යටතේ මේ එෛතිහාසික වැරැද්ද නිසි පරිදි නිවැරැදි කර ගැනීමට හැකි වුණොත් දකුණේ ප්‍රගීත් එක්නැලිගොඩගේ සිට රවිරාජ් දක්වා ඍජුවම මහින්දවාදීන්ගේ වෛරයට ලක්වූවන්ට මෙන්ම වැල්ලවත්තේදී පැහැරගත් බව කියන තරුණ ළමයින්ගේ සිට තවත් බොහෝ පිරිසකට යුක්තිය ඉටු වේවි. ඒ වගේම අන්ත මිලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් සමූල ඝාතනය කළ ලෝකයේ දක්ෂතම හා නිර්භීතම හමුදාවකටත් යුක්තිය ඉටු වේවි. ත්‍රස්තවාදයට එරෙහි ජයග්‍රහණයේ සැබෑ වටිනාකම භුක්ති විඳීමට ඔවුන්ට අවස්ථාව හිමි වේවි. මේ තත්ත්වය හමුවේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රකාශය ඉතිහාසය නිවැරැදි කිරීමක් ද වශයෙන් සැලකිය හැකියි.

යුද හමුදාපතිවරයා කියන ආකාරයට සමාජය රණවිරුවා සහ මිනීමරුවා අතර වෙනස හඳුනා ගන්නේ කොහොමද ? කියලා සමාජයට ප්‍රශ්නයක් පැන නැඟිය හැකියි. ඒත් මේ ප්‍රශ්නයට හොඳ පැහැදිලි කිරීමක් යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය තුළම තිබෙනවා.

“යුද කාලයේදී හෝ පසුව නිල ඇඳුම භාවිත කර යම් අයෙකු වැරදි ක්‍රියාවක නිරත වී තිබෙනවා නම් ඔහු රණවිරුවෙක් නෙවෙයි. අන්න ඒ කියන්නා වූ රණවිරුවෝ තමයි ඒ දඩයම් කරනවා කියන්නේ, නැතුව සටන හරියට කරපු කිසිම කෙනෙකුට එහෙම දඬුවම් ලැබිලත් නැහැ”රණවිරුවා සහ මිනීමරුවා නිවැරැදිව හඳුනා ගන්න අපහසු නැති බවයි යුද හමුදාපතිවරයා කියන්නේ.

ඒ වගේම තමයි “මෙන්න යහපාලන ආණ්ඩුව රණවිරුවන් දඩයම් කරනවෝ” යැයි කියමින් දේශපාලන වාසි ලබා ගන්න දත කන කල්ලිය දිහා බැලූ විටත් අපට ඉතා පහසුවෙන්ම මේ රණවිරුවන් කවුද ? මිනීමරුවන් කවුද ? කියලා හඳුනා ගන්න පුළුවන්. ‘හොරාට කලින් කැන වැට පනිනවා’ වාගේ මේ අවස්ථාවාදීයෝ බෙරිහන් දෙන්නේ රණවිරුවන් බේරා ගැනීමට නොව ළඟ ළඟ එන මාංචු කුට්ටමෙන් තමන්ට ගැළවෙන්න පාරක් හොයා ගන්න කියලා නොවැටහෙන්නේ දේශපාලන අඳබාලයෙකුටම විතරයි.

නීතිය හමුවට ගෙනා රණවිරුවෝ කවුද ?

මේ වන විට නිසි පරීක්ෂණ ක්‍රියාවලියක් මගින් නෛතිකව අධිකරණය හමුවට ගෙනැවිත් චෝදනා නඟා තිබෙන්නේ මුළු රටම කැළඹු මෙන්ම ලෝකයේම අවධානය දිනාගත් සිදුවීම් කිහිපයකට සම්බන්ධ බවට විධිමත්ව තහවුරු වූ හමුදා (යුද, නාවික හා පොලිස්, බුද්ධි අංශ) සාමාජිකයන් කිහිප දෙනකු සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පමණයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ අද අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින ඇතැම් සැකකරුවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලන්නේ හිටපු ආණ්ඩුව සමයේ, වැල්ලවත්තේදී පැහැරගත් තරුණයන් සම්බන්ධ පරීක්ෂණය මේ අතර සුවිශේෂ එකක්. මාධ්‍ය පසුගිය කාලය තුළ කරුණු සහිතව වාර්තා කළේ ‘නේවි සම්පත්” නම් මේ සිද්ධියට නායකත්වය දුන් නාවික හමුදා නිලධාරියා ගැන පරීක්ෂණ කරන ලෙස ඉල්ලා සිටියේ හිටපු යුද හමුදාපති ගෝඨාභය රාජපක්ෂ බවයි. එමෙන්ම පසුගිය ආණ්ඩුව විසින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කොතරම් බලපෑම් එල්ල වුවත් කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ සිදුවීම් රැසක් යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කළා. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීම, රතුපස්වල සිවිල් වැසියන් ඝාතනය කිරීම, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන්ට පහරදීම මේ සිදුවීම් අතර කිහිපයක් පමණයි.

එමෙන්ම ඉතාම පෞද්ගලික මට්ටමේ කුලී ඝාතන රැසක් සම්බන්ධයෙන් ද ඊනියා රණවිරුවන් පසුගිය කාලයේ වැලිකඩට ගාල් කළා. සියම් නම් ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දිසනායක ඇතුළු පිරිසකුත් මේ අතර සිටිනවා.

ඉතා පැහැදිලිව මේ වන විට තහවුරු වෙමින් තිබෙන්නේ ඉහත සඳහන් සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින සැකරුවන් සියලු දෙනාම ඉතාමත් පෞද්ගලික මට්ටමින් තමන්ගේ බලය අවභාවිත කරමින් කුලී ඝාතකයන් හෝ කප්පම්කරුවන් වශයෙන් ක්‍රියාකර ඇති බවයි. පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කර ඇති බවයි. ඒ නිසා මේ කුලී ඝාතකයන් යුද හමුදාපතිවරයා අවධාරණය කරන ආකාරයට කිසිසේත්ම රණවිරුවන් නොවෙයි. මොවුන් මිනීමරුවන්. බොහෝ විට පරාජිත රෙජිමයේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කළ අවස්ථාවාදීන්.

රණවිරුවන් දඩමීමා කර ගන්නේ කවුද ?

“හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා” කියලත් මෙහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

යුද හමුදාපතිවරයාගේ මේ ප්‍රකාශයත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියේ අරමුණු හා මූලෝපායන්ට ඍජුවම ප්‍රහාරයක් වශයෙන් ද සැලකිය හැකියි. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට මහින්දවාදීන්ගෙන් එල්ල වූ ප්‍රධානතම චෝදනාවක් වූණේ යහපාලන ආණ්ඩුව රණවිරුවන් දඩයම් කරන බවයි. යුද්ධය දිනාදුන් රණවිරුවන් ජාත්‍යන්තරයේ දංගොඩියට දක්කාගෙන යාමට පාර කපන බවයි. රණවිරුවන්ගේ සුබසාධන පහසුකම් කප්පාදු කරන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ‘අතුරුදන්වූවන් පිළිබඳ පනත’ සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයේම සාවද්‍ය හා ජනතාව නොමඟ යවන ප්‍රකාශ කළා. මේ සෑම ආකාරයකින්ම රණවිරුවන් දඩමීමා කරගෙන යහපාලනයට තලන මහින්දවාදීන් ඒ හරහා යළිත් බලය අල්ලා ගැනීමට කෙටි මං සොයන්න උත්සාහ කරන බවයි පැහැදිලිව පෙනී යන්නේ.

මහින්දවාදීන් මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කරමින් රණවිරුවන් සහ සිංහල බෞද්ධයන් තුළ ආණ්ඩුවට එරෙහිව මතයක් නිර්මාණය කිරීමට ප්‍රබල වෑයමක යෙදෙද්දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිටම ඉතා පැහැදිලිව අවධාරණය කළේ තමන් කිසිසේත්ම රණවිරුවන් ඉලක්ක කොටගත් දඩයමක් ක්‍රියාත්මක නොකරන බවයි. මවුබිම ත්‍රස්තවාදයෙන් ගලවා ගත් රණවිරුවන් ජාත්‍යන්තරය ඉදිරියේ නිගරුවට පත් නොකරන බවයි. ඔවුන්ගේ පහසුකම් හා සුබසාධනය කිසිසේත් කප්පාදු නොකරන බවයි. යුද හමුදාපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කළ කතාව සත්‍ය බවයි.

රණවිරුවෝ කාගෙවත් බූදලයක් නොවෙයි

රණවිරුවන් රාජපක්ෂ පවුලේ බූදලයක් බව පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සහ ඔවුන්ට සහාය දක්වන ජාතිවාදී සහ අන්තවාදී කල්ලිය සිතා සිටින බවක් දැකිය හැකියි. එහෙත් ‘කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි’ තියරිය අනුව යමින් වගේම, රාජපක්ෂවරුන්ගේ සුප්‍රසිද්ධ ‘කොන්ඩම් තියරිය’ අනුව ද ඇත්තටම සිදු වුණේ රණවිරුවන් රාජපක්ෂ රෙජිමයේ කුණු ඇඳීම සඳහා යොදා ගැනීම පමණයි. මේ හා සම්බන්ධ කුප්‍රකට සිදුවීම් රැසක් පසුගිය කාලයේ ජනමාධ්‍ය විටින් විට හෙළිකළා. බැසිල් රාජපක්ෂගේ නිවසේ බැලමෙහෙවර කිරීමට හමුදා සෙබළියන් යොදා ගැනීම පමණක් නොවෙයි බැසිල්ගේ බල්ලෝ පවා බලා ගත්තේ යුද හමුදා සෙබළුන්. ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ ආශ්චර්යය කිරීමේ සිහිනයට වන්දි ගෙවන්න සිදු වුණේ හමුදා සෙබළුන්ට. කුණු කානු සුද්ද කිරීමේ සිට මේ ඊනියා ප්‍රදර්ශනකාමී ව්‍යාපෘතිවල සියලු කටයුතු කළේ මේ සෙබළුන්. හමුදාවේ කීර්ති නාමය බින්දුවට දමමින් එළවළු විකිණීමේ සිට බත් පැකට් විකිණීම දක්වා දහසකුත් එකක් හමුදා රාජකාරියෙන් බැහැර කටයුතු රැසකට එදා මේ සෙබළුන් හා සෙබළියන් අවභාවිත කළා.

රණවිරුවන්ගේ නාමයෙන් දේශපාලනය කළ පසුගිය ආණ්ඩුව රණවිරුවන්ගේ ගැටලුවලට නම් කිසිඳු ඵලදායි විසඳුමක් ලබා නොදුන් බව මේ වන විට පැහැදිලි වෙමින් තිබෙනවා. අද ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්න සූදානම් වන ආබාධිත රණවිරුවන්ගේ ගැටලුව මේ සඳහා කදිම උදාහරණයක්. රාජපක්ෂ ආණ්ඩුව පැවැති දශකයක කාලය පුරා මේ ආබාධිත සෙබළුන්ගේ ගැටලු විසඳීමට රාජපක්ෂ පාලනය කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ.

ඒ වගේම ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා හෙළි කළේ රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල නිවාස ගැටලු විසඳීමට කිසිදු විධිමත් පියවරක් පසුගිය ආණ්ඩුව විසින් ගෙන නොතිබූ තත්ත්වයක් තුළ එකී ගැටලු කඩිනමින් විසඳීමට යහපාලන ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

රණවිරුවෝ විදියට කැඳවීම

රණවිරුවන් සම්බන්ධයෙන් රට තුළ තිබෙන ප්‍රසාදය හා ගෞරවය දේශපාලන වශයෙන් භාවිත කළ හැකිවෙතොත් එය යළි බලය අත්පත් කොට ගැනීම සඳහා මහත් ජවයක් වන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කල්ලිය තවමත් විශ්වාස කරන බවක් දැකිය හැකියි. ‘රනිල් බලයට ආවොත් විදුලි පුටුව තමයි’ කියමින් මැතිවරණ රැසක් ජයගත් හිටපු පාලකයන්ට තවදුරටත් විදුලි පුටුව, ජාත්‍යන්තර යුද අධිකරණය අලෙවි කළ නොහැකි තත්ත්වයක් තුළ අලුත් සටන් පාඨ සොයා ගැනීමට සිදුව තිබෙනවා. යහපාලන ආණ්ඩුව විසින් විධිමත් ආකාරයට විසඳමින් තිබෙන ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ ගැටලුව ඉතාමත් අවස්ථාවාදී ලෙස යළි වේදිකාවට ගැනීමට මේ අවස්ථාවාදීන් පසුගියදා යළි ක්‍රියාත්මක වුණේ මේ නිසා බව පැහැදිලියි.

එහෙත් රණවිරුවන් විදියට කැඳවා රට ගිනි තැබීමට හිටපු පාලකයන් හා කල්ලි ගන්නා උත්සාහය තව දුරටත් ප්‍රායෝගික නොවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කළ ප්‍රකාශය හරහා මෙන්ම පසුගියදා පැවැති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව හරහා ද මනාව පැහැදිලි වුණා. ඒ වගේම ‘අතුරුදන්වූවන් සම්බන්ධ පනත’ රාජපක්ෂවරුන් කියන ආකාරයේ බිල්ලෙක් නොවන බව ද එය පාර්ලිමේන්තුවේදී සම්මත වීම සමඟ තහවුරු වුණා.

මේ ධනාත්මක ප්‍රවණතා යහපාලන ආණ්ඩුව සහ හමුදාව අතර ගැටුමක් හෝ අනවබෝධයක් වර්ධනය කිරීමට හිටපු පාලකයන් ගන්නා උත්සාහය බිඳ දැමීමට හේතුවක් වෙවි කියලා අපට විශ්වාස කළ හැකියි.

මිනීමරුවෝ ඇල්ලුවොත් මොකද වෙන්නේ ?

හමුදා නිල ඇඳුම අවභාවිත කරමින් අපරාධ කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙනා පළියට හමුදා සුද්ද වෙනවාද ? කියලා අහන කිහිප දෙනෙකුත් සමාජයේ සිටිනවා. එමෙන්ම ඉතාමත් පහත් ලෙස මේ සිදුවීම් හමුදාමය, ජාතික ආරක්ෂාවට අදාළ රාජකාරීමය කටයුතු ලෙස අර්ථකථනය කිරීමටත් විමල් වීරවංශ ඇතුළු අවස්ථාවාදීන් උත්සාහ ගන්නවා. මේ නිසා සමාජය තුළ කිසියම් විචිකිච්ඡාවක් ඇතිවීම ස්වභාවිකයි.

එහෙත් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ හැක්කේ ‘කිරි කළයට ගොම බිඳුවක් මිශ්‍ර කළ’ මේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සමඟ එකී දුගඳ තත්ත්වය වහාම ඉවත්ව යන බවයි. මේ සඳහා අපට ලංකාවෙන්ම කදිම උදාහරණයක් ලබාදිය හැකියි. ඒ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්දනය කරද්දී සිදු වූ කතරගම ‘ප්‍රේමවතී මනම්පේරි’ නම් රූමතිය දූෂ්‍යය කොට ඝාතනය කිරීමේ සිද්ධිය.

ජවිපෙ කැරැල්ල සාර්ථකම මර්දනය කිරීම තුළින් ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාගැනීමට හැකි වූ කීර්තිය හා ජනතා විශ්වාසය මේ අපකීර්තිමත් සිදුවීම නිසා බොහෝ සෙයින් දුර්වර්ණ වුණා. එය සමස්ත යුද හමුදාවම අපකීර්තියට පත් කළ සිදු වීමක් වුණා. ඒ නිසාම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මේ ඝාතන සිදුවීම ගැන විධිමත් පරීක්ෂණයක් කරමින් ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. එයින් එදා හමුදාවේ චිත්ත ධෛර්යවත්, ඒකාග්‍රතාවවත් හානියට පත් වුණේ නැහැ. එමගින් සමස්ත යුද හමුදාවටත් ආණ්ඩුවටත් ජනතාවගේ ප්‍රසාදය හිමි වුණා.

පසුගිය යුද සමයේදීත් මෙවැනි සිදුවීම් කිහිපයක් අපට හමුවෙනවා. යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති තරුණිය දූෂ්‍යය කොට මරාදැමීම සම්බන්ධ සිද්ධිය නිසි විමර්ශනයට ලක් වූ පසු එකී ඝාතකයන් හඳුනා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා.

එහෙත් අද තිබෙන ප්‍රශ්නය වන්නේ හමුදා නිල ඇඳුමට මුවා වී කළ බව කියන බොහොමයක් අපරාධ ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම්වලට එහා ගිය දේශපාලන ඝාතන හෝ දේශපාලන න්‍යාය පත්‍ර මත සිදුකළ ඝාතන හෝ අපරාධ වීමයි. ඒවා නිසි පරිදි විමර්ශනය වුවහොත් හඳුනා ගැනෙන්නේ නූලේ කොනේ ඉන්නේ සොල්දාදුවෙක් වෙනුවට වෙනත් බලවතෙක් බව නිසැක වීමයි. අද රණවිරුවන්ගේ නාමයෙන් මේ එළියට එන්නේ නූලේ කොන කා අතේ ද තිබුණේ කියන කරුණ නීතියට හා රටට හෙළි වීම කෙසේ හෝ නවතා ගැනීමේ පටු වුවමනාවයි.

“හැලියේ දිය රත්වෙන තෙක් කකුළුවා දිය කෙළියා” කියන කතාව අනුව නම් දැන් දැන් හැලියේ දිය රත් වෙමින් තිබෙන බවක් පේනවා. ඒ කියන්නේ කකුළුවන්ගේ කෙළිය අවසාන බවද ? යුද හමුදාපති මහේෂ් සේනානයක මහතාගේ ප්‍රකාශයෙන් ලැබෙන්නේ ඒ ඉඟියද ?

භාතිය බරුකන්ද 

නව අදහස දක්වන්න