හදවතක් ඇති හදවත් දොස්තර | දිනමිණ

හදවතක් ඇති හදවත් දොස්තර

අසේල කුරුළුවංශ
හදවත් සැත්කම අතරතුර

මෙරට ප්‍රථම හදවත් බද්ධය සිදුකර මේ වනවිට මාසයක කාලයක් ගතව තිබේ.අනුරාධපුරයේ ජීවත්වූ තිස් හය හැවිරිදි දෙදරු මවක වන පුෂ්පා කුමාරි අද ජීවත් වන්නේ මාසයකට පෙර මෙළොව හැරගිය ප්‍රදීප් කුමාර සම්පත්ගේ හදවතනි.ප්‍රදීප් මියගියද ඔහුගේ හදවත මේ මොහොතේද නොනැවතී ගැහෙයි.හදිසි අනතුරු වලට ලක්ව හෝ අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් හිසේ ලේ නහර පුපුරා යෑමෙන් දැඩි සත්කාර ඒකක තුළ යන්ත්‍ර ආධාරයෙන් ජීවිතය ගැටගසා තිබෙන රෝගීන්ගේ මොළය මිය ගිය අවස්ථාවල ඔවුන්ගේ ශරීර අවයව තවත් අයෙකුට බද්ධ කිරීම සඳහා ලබාගත හැකිය.රෝගීයාගේ ළඟම ඥාතියාගේ හෝ ඥාතීන්ගේ කැමැත්ත මත එසේ ලබා ගන්නා වකුගඩු හා අක්මා තවත් පුද්ගලයකුට හෝ කිහිපදෙනකුට බද්ධ කළ අවස්ථා රැසක් මෙරටින් වාර්තා වෙයි.එසේ වුවත් හදවත් බද්ධ කිරීම සම්බන්ධව පසුගිය ජූලි මස 07 දින දක්වාම අපට තිබුණේ සිහිනයක් පමණි.ලොව ප්‍රථම හදවත් බද්ධය දකුණු අප්‍රිකාවේ ආචාර්ය ක්‍රිස්ටියන් බර්නාඩ් සිදුකර දශක පහක් ගෙවී තිබුණද හෘද හා උරස් ශල්‍යය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා මූලික වී මෙම හදවත් බද්ධය සිදුකරන තෙක් මෙම අති අවධානම් ශල්‍යකර්මය සිදු කිරීමට මෙරට සිටි කිසිදු හෘද හා උරස් ශල්‍යය වෛද්‍යවරයකු අවධානය යොමුකර නොතිබිණි.

ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවකු වන අනිල් අබේවික්‍ර මහතා හෙතෙම උසස් පෙළ සමත්ව රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලැබීමෙන් පසු අනුරාධපුර හා කොළඹ ජාතික රෝහල් වල සේවය කර තිබේ.හෘද රෝග විශේෂඥ උපාධිය ලබාගත්දා සිටම ශ්‍රී ලංකවේදී හෘද බද්ධ කිරීම් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කරන්නට සිහින දුටු වෛද්‍ය අනිල් තමන්ගේ ඉදිරි කාලය කැපකළේ එම ඉලක්කය සපුරා ගන්නයට...

"හෘද හා පෙනහළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමේ කීර්තිමත් නමක් ඇති රෝහල් පහක් එංගලන්තයේ තියෙනවා.නිව්කාසල් වල තිබුණු ෆ්‍රීමන් රෝහල (Freeman Hospital) හා සම්බන්ධ වෙලා මේ පිළිබඳ වැඩිදුර අත්දැකීම් ලබා ගැනීමට මම කල්පනා කළා.ඇත්තටම අපි වගේ ආසියාතික රටක වෛද්‍ය වරයකුට මේ රෝහල හා සම්බන්ධ වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම සීමිතයි.ඔවුන්ගේ ප්‍රමුඛතාව හිමිවන්නේ බ්‍රිතාන්‍යය ජාතිකයින්ටයි.ඊට පස්සේ යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබෙනවා.ඊ‍ටත් පස්සේ තමයි අපේ වගේ රටකට අවස්ථාවක් හිමිවන්නේ.ඒක ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.මම 2012 අවුරුද්දේ මේ රෝහලට ඇතුළු වෙන්න අයඳුම් කළා.ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් තියලා මාව රෝහලට බඳවා ගත්තා.2013 ඉඳලා මම ඒ රෝහලේ හෘද බද්ධ කිරීම් සම්බන්ධව ලෝකය පිළිගත් මහචාර්යවරුන් වන ස්ටෙෆන් ෂූලර් (Stephan Schueler),‍ජෝන් එච්.ඩාර්ක් (John.H.Dark),පෝල් ඒ කොරිසෙයා (Paul .A.Corrisare),ආන්ඩෲ ෆිෂර් (Andrew Fisher) ,ස්ටෙෆන් සී ක්ලාක් (Stephen. C.Clark) සමඟ වැඩකළා.ශ්‍රීලංකාවේ හදවත් බද්ධ කරන්න මගේ බලාපොරෝතුවක් ති‍බෙන බව කිව්වම මේ මහචාර්යවරු කණ්ඩායම හුඟක් සතුටු වෙලා ඒ සම්බන්ධ මගේ දැනුම පුළුල් කර ගන්න අවස්ථාව ලබා දුන්නා.ෆ්‍රීමන් රෝහලේ හෘදය හා පෙනහළු බද්ධ කිරීම් කළා.මම සතියකට එක දවසක් හෘදය බද්ධ කිරීමේ සැත්කම් වලට සම්බන්ධ වෙනවා.අනිත් දවස් වල එංගලන්තයේ දුර බැහැර ප්‍රදේශ වල හදිසි අනතුරුවලින් මොළය මියගිය රෝගීන්ගේ හෘදය වස්තු බද්ධ කිරීම් සඳහා ගෙන ඒමට සම්බන්ධ වුණා.නමුත් එක් අවස්ථාවක අයර්ලන්තයේ සිට ගුවනින් හදවත් ගෙන ඒමට මම සම්බන්ධ වන්නට ලැබුණා.මොළය මියගිය අයෙකුගේ හෘදය හා පෙනහළු පැය තුනක් වගේ කාලයක් ඇතුළත බද්ධ කිරීම සඳහා රෝහලට ගේන්න ඕන.තත්ත්පරයක කාලයත් වටින නිසා රෝහල මේ සඳහා වෙනම ජෙට් යානයක් යොදා ගත්තා"....වෛද්‍ය අනිල් පවසයි.

එංගලන්තයේ ෆ්‍රීමන් රෝහලේ වසර දෙකක පමණ කාලයක් සේවය කළ වෛද්‍ය අනිල් 2014 වසරේ පෙරළා මෙරටට ඒමට උත්සාහ කළ අවස්ථාවේ රෝහල් බලධාරීන් එයට වැඩි කැමැත්තක් දක්වා නොමැත.ඒ ඔහු තුළවූ අවංක කැපවීම හා දක්ෂතා සම්බන්ධව නිසි තක්සේරුවක් රෝහල් බලධාරීන් තුළ තිබූ බැවිනි.වෛද්‍ය අනිල් රඳවා ගැනීමේ අරමුණින් රුපියල් මිලියන ගණනක වැටුපක් රෝහල් පරිපාලනය විසින් යෝජනා කළත් ඒ සියල්ල අලුයම ලූ කෙළපිඩක් සේ ඉවත දමා ඔහු මෙරටට පැමිණියේ තමන් වෛද්‍යවරයකු කරන්නට බදු මුදල් ගෙවූ මව් රටේ අහිංසක ජනතාවට සේවය කරන්නටය...

"මට එංගලන්තයයේ ඉතා හොඳ පහසුකම් තිබුණා.ඒත් මගේ අරමුණ වුණේ ලංකාවේ ප්‍රතිකාර නැතිව මියයන හදවත් රෝගීන්ගේ ජීවත බේරා ගැනීම සඳහා හදවත් බද්ධ කිරිමේ සැත්කම් ආරම්භ කිරීම.හදවත් බද්ධයක් කරන්න පුහුණුව ලබපු වෛද්‍ය කණ්ඩායමක් සිටීම ඒ සඳහා අවශ්‍ය උපකරණ තිබීම වගේම සුදුසු රෝහලක් පැවතීමත් ඉතා වැදගත්.ඒත් මේ මේ කරුණු එකක් වත් අපේ රටේ සපිරිලා තිබුණේ නැහැ.පවතින තත්ත්වය සම්බන්ධව මම ශ්‍රීලංකාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය දැනුවත් කළා.මේ බැරෑරුම් ශල්‍යකර්මය මට කරන්න පුළුවන් ඒකට ඔයාලගේ සහය දෙන්න කියලා මම ඉල්ලීමක් කළා.ශලය්‍ය වෛද්‍යවරු ඒකට කැමැති වුණා.හදවත අකර්මණ්‍ය වෙමින් එහි ක්‍රියාකාරීත්වය 10 % කට වඩා අඩු මට්ටමකට පත්ව මරණයට අත වනන අයකුට හදවතක් බද්ධ කරලා යළිත් අවුරුදු 20 -30 ක් පමණ ජීවත් වීමේ වරම් දෙන්න හදන මේ ශල්‍යකර්මය අපේ රටේ ආරම්භ කරන්න අවශ්‍යය සාකච්ඡා වට කිහිපයක්ම අපි පැවැත්වූවා.එහි ප්‍රතිපලයක් ලෙස ෆ්‍රීමන් රෝහලේ හෘද හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහචාර්ය ස්ටීෆන් සී ක්ලාක් මහතා 2015 සැප්තැම්බර් මාසයේ මගේ ආරාධනාවකට අනුව මෙරටට පැමිණියා.ඒ සඳහා වැයවූ අති විශාල මුදල සම්පූර්ණයෙන් මට දරන්න සිදුවුණේ මේකට කවුරුත් එතරම් උනන්දුවක් නොදැක්වූ නිසයි.එතුමා පැමිණියේ පැය 23 ක කාලයක් සඳහා පමණයි.ඒ කාලය තුළ ඔහු විශේෂ දේශන කිහිපයක් අපේ වෛද්‍යවරු වෙනුවෙන් පැවැත්වූවා.ශ්‍රීලංකා හදවත් හා පෙනහළු බද්ධ කිරීමේ සංගමය (Sri lanka Society for Heart and lung Transplantation ) -SLSHLT බිහිවූයේ ඉන් පසුවයි.

ජාත්‍යන්තර හෘද හා පෙනහළු බද්ධ කිරීමේ සංගමයේ (International Scoity for Heart and Lung Transplantation (ISHLT) හිටපු සභාපතිවරුන් ලෙස මහචාර්යවරුන් වන ෂූලර්,ඩාර්ක් හා කොරිසෙයා කටයුතු කර තිබේ.එහි වත්මන් සභාපති වන්නේ මහචාර්ය ක්ලාක්ය.ෆ්‍රීමන් රෝහලේ හෘද බද්ධ කිරීමේ සංගමයේ අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරන ඒ මහතා ශ්‍රීලංකා හදවත් හා පෙනහළු බද්ධ කිරීමේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරයි.එහි අධ්‍යක්ෂ ධූරය හොබවන්නේ වෛද්‍ය අනිල්ය.

මේ වනවිට හදවත් බද්ධ කිරීමේ අපේක්ෂාවෙන් ලෝකයේ රෝගීන් ලක්ෂ 05 ක් පමණ සිටිති.කොතරම් තාක්ෂණය දියුණු වුවද වසරකට මෙවැනි සැතකම් ලෝකයේ සිදු කරන්නේ පන්දහසක පමණ සංඛ්‍යවක් පමණි.හදවත් බද්ධ කිරීම යනු අතිශයින්ම සංකීර්ණ සැත්කමකි.සුළු වරදකින් රෝගීයා මරණයට පත් වීමට පුළුවන.මෙහි ඇති බැරෑරුම් කම නිසාම හෘද බද්ධ කිරීමේ සැත්කමක් සඳහා වැයවන මුදලද අති විශාලය.එංගලන්තයේ හෝ ඇමරිකාවේ මෙවැනි සැත්කමක් කරනන්ට රුපියල් කෝටි 20 ක් පමණ වැය වෙයි.සල්ලි කොතරම් තිබුණද ගත නොහැකි දේද තිබේ.හදවත් බද්ධයද එවැනි එකකි.යම් රටක හදවත් බද්ධයක් සඳහා හදවතක් දිය හැක්කේ එම රටේ උපන් අයෙකුට පමණි.මේ නිසා මෙරට තුළ එවැන්නක් සිදු නොකරන තාක් කල් කෙතරම් මුදල් තිබුණද ශ්‍රී ලාංකිකයකුට හදවත් බද්ධයක් වෙනත් රටකදී සිදු කර ගැනීමේ පසුබිමක් නොතිබිණි....

"හදවත් බද්ධ කළ යුතු තත්ත්වයේ සිටින රෝගීන් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා.මේ අය ඇත්තටම මරණය කොයි මොහොතේ එයිද කියන අවිශ්වාසයෙන් ජීවත් වන්නේ.ලෙඩෙත් හොයා ගෙන ප්‍රතිකාර නැතිව මැරෙනවා නම් ඒක මොන තරම් අවාසනාවක්ද?ශ්‍රී ලංකවේ උපන් නිසා රෝගය සුව කරගන්න බැරිව මරණය වැළඳ ගන්න සිදු වෙනවා නම් රටක් ලෙස අපි කණගාටු වෙන්න ඕන.මට ඕන වුණේ මේ තත්ත්වය වෙනස් කරන්න.එංගලන්තයේ ෆ්‍රීමන් රෝහලේ වෛද්‍යවරුන්ගේ උපරිම සහය මට මේ සඳහා ලැබුණා.සාමාන්‍යයෙන් වෙනත් රටක මේ ශල්‍යකර්මය සිදු කරනකොට ෆ්‍රීමන් රෝහලේ වෛද්‍යවරු 15 දෙනකුගේ පමණ කණ්ඩායමක් අදාළ රටට එනවා.මාස කිහිපයක් නතර වෙලා ඉඳලා ඒ රටේ වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී හදවත් බද්ධය අවසන් කරලත් දින කිහිපයකට පස්සේ තමයි ඒ අය යළි තමන්ගේ රටට යන්නේ.අපිට ඒ වගේ වෛද්‍ය කණ්ඩායමක් මෙහාට ගෙන්න ගන්න තරම් මුදල් තිබුණේ නැහැ.ඒ නිසා මම කිව්වා සැත්කමේ වගකීම මම ගන්නවා අපිට උදව් කරන්න කියලා.සැත්කමට භාජනය කළ රෝගියාට ඕන කරන ඉතා මිල අධික බෙහෙ‍ත් වර්ග තිබුණා.මම අතේ සල්ලි වියදම් කරලා ඒවා එංගලන්තයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වා ගත්තේ පළමු කඩඉම පැන්නොත් අපිට හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා දන්න නිසයි.මුදල් පැත්තකින් තියලා රට ගැන රෝගීන් ගැන හිතලා වැඩකරන වෛද්‍ය කණ්ඩායමක් මට ලැබුණ එක වාසනාවක්.මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුළු හැමෝම මේකට උපරිම සහය දුන්නා.ඇත්තටම හදවත් බද්ධ කිරීමේ සැත්කමක් කියන්නේ කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්.කවුරු හරි අතින් පුංචි වරදක් වුණොත් කළ හැමදේම අපතේ යන්න පුළුවන්.මේ සැත්කම සිදුකරන්නට පෙර ඉඳලා මේ වනතුරු අපි එකම කණ්ඩායමක් ලෙස ඉන්නවා.රෝගීයා මෙතරම් ඉක්මන්න නැගිටලා හොඳ සුවයෙන් ඉන්නේ ඒ නිසයි....

හදවත් බද්ධ කිරීම සම්බන්ධව අත්දැකීම් නොමැති කණ්ඩායමට පුහුණුවක් ලබා ගැනීම පිණිස මහිංයංගණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි මොළය මියගිය රෝගියකුගේ හදවත ගලවා යළි එය ඔහුටම සවිකර රුධිර සැපයුම ලබා දීමට පියවර ගත් බව වෛද්‍ය අනිල් පවසයි.මෙයට අමතරම මහනුවර වකුගඩු ඒකකයේ සිදුකරන වකුගඩු බද්ධයන් සඳහා මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ලබා ගැනීමේදීද විශේෂඥ ශල්‍යය වෛද්‍ය පී.කේ හරිස්චන්ද්‍ර මහතාගේ සහය ඇතුව හෘද බද්ධය සඳහා පුහුණු වීම් ලබා ගැනීමට වෛද්‍ය කණ්ඩායමට හැකිවී තිබේ.හෘදය වස්තුවක් ගලවා තවත් අයෙකුට බද්ධ කිරීම අවම වශයෙන් පැය තුනක් ඇතුළත කළ යුතුය.ඉන්පසු ගෙවෙන සෑම තත්ත්පරයකදීම හෘදයේ ශෛල විනාශ වන බව පවසන වෛද්‍ය අනිල් මෙරට ප්‍රථම හදවත් බද්ධය පැයකුත් විනාඩි 55 ක් තුළ කළ හැකිවූ බව පවසයි.එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදු කරන්නට හැකි වීම ඇත්තෙන්ම ජයග්‍රහණයකි .ඊට දායකවූ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමේ කැපවීම හා හැකියාව අප අගය කළ යුත්තේ එබැවිනි.

රජයේ රෝහලක් තුළ මෙවැනි සුවිශේෂී සැත්කමක් සිදු කිරීම මෙරට පෞද්ගලික රෝහල්වලට සේවය ලබා දෙන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට ප්‍රශ්නයවක් වී තිබෙන බව දැන ගන්නට තිබේ. ඔවුන් කුහක වන්නේ මුදල් සියල්ලට වඩා ඉදිරියෙන් තබා කටයුතු කිරීම නිසාද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවෙයි.මෙවැනි ශල්‍යකර්මයක් මෙරට රෝහලකදී මුදල් ගෙවා සිදු කරන්නේ නම් අවම වශයෙන් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වැය කරන්නට සිදුවෙයි.එවැනි මුදලක් රෝගියා ගෙන් අය කිරීම යනු ලාභය අරමුණු කරගත් පෞද්ගලික රෝහලකට ඉල්ලමකි.මුදල් කුණු කූඩයට දමමින් රෝගියාගේ ජීවිතයට ඉහළම වටිනාකමක් දෙමින් මෙම වෛද්‍ය කණ්ඩායම සිදුකළ මෙහෙවරට ජාතියේ ගෞරවය උපරිමයෙන් හිමිවිය යුතුය.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල් අබේවික්‍රම කෙතරම් දක්ෂ වෛද්‍යවරයකු වුවද ඔහු කිසිදා මුදලට ශල්‍යයකර්ම සිදුකර නොමැත..මුදල් පසුපස හඹා නොගොස් වැළලී යමින් තිබෙන මිනිසත්කම් ගොඩ ගනිමින් රටට සේවයක් කරන්නට වෙහෙසෙන මෙවන් පුද්ගලයින් ජාතියට දායද කළ සුගතදාස අබේවික්‍රම හා අනුලා විදානපතිරණ අබේවික්‍රම යන වෛද්‍ය අනිල්ගේ දෙමව්පියන්ට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුය.

අදහස් 3ක් ඇත

එතුමාගේ ගාලු කොටුවේ ගෙදර අලුත්වැඩියා කරගන්න තහංචි නැතිව අවසරදෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.

එතුමාගේ ගාලු කොටුවේ ගෙදර අලුත්වැඩියා කරගන්න තහංචි නැතිව අවසරදෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.

ethumata siyalla labaima , ratata labadena wayidya irsiwarayek lesa ekanthayen , rata labana diwya wasthuweki; eheth mama wiswasa karanawa , ape rate politicianla , oka denne naha kiyala , unta chandaya dena ambattayanta witharayi thanathuru, denne, hadawathak nathi ambattayekuta onanam deyi , wakugaduwak hayikaranna, !!!!

නව අදහස දක්වන්න