ස්මාර්ට් ෆෝනයෙන් හොඳම පින්තූර ගන්න ඔත්තු | දිනමිණ

ස්මාර්ට් ෆෝනයෙන් හොඳම පින්තූර ගන්න ඔත්තු

දුරකතන ඇමතුමක් ලබා ගැනීම කියන මූලික අවශ්‍යතාවය පිණිස නිර්මාණය වූ මූලික මොබයිල් ෆෝන් එක ස්මාට්ෆෝන් වෙද්දි එකතු වූ කොටසක් තමා කැමරාව. මුල් කාලයේදී බලයෙන් අඩු හුදෙක් කුඩා සේයාරුවක් ගැනීමේ මූලික හැකියාව තිබුණත් අද වන විට මැද මට්ටමේ ස්මාට්ෆෝන් සෑම එකකම පාහේ බලගතු කැමරාවක් අන්තර්ගත වෙනවා. ක්ෂණිකව ඕනෑම තැනකදි මතක සටහනක් ලබා ගන්නට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් කැමරාවෙන් කොහොමද හොඳ පින්තූරයක් ගන්නේ, පින්තූරයක් ගනිද්දි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා දැන ගැනීම වැදගත්.

වස්තුවට ඇති දුර සහ සූමින්

ඔබ දැක ඇති දුර ඇති වස්තූන් ඡායාරූපයට හසු කරගන්නා දිගු ලෙන්ස සහිත ඩී.එස්.එල්.ආර් (DSLR) කැමරා සහ ලෙන්ස්. එවන් කැමරාවලදී ඈත ඇති වස්තුන්, විශාලන කාච පද්ධතියකින් ළඟ ඇති වස්තූන් මෙන් කැමරාවට ප්‍රක්ෙෂ්පනය කරනු ලබනවා. එහෙත් කුඩා ස්මාට් ෆෝනයට එවැනි ඈත වස්තු හසුකරගන්න විශාලන කාච බලයක් නැහැ. අපි පින්තූරයක් ගන්නා විට අදාළ වස්තුවට තරමක් ආසන්නයෙන් සූම් නොකර ගන්නට හැකි නම් වඩාත් හොඳ තත්ත්වයේ සේයාරුවක් ලබා ගන්න පුළුවන්.

පුද්ගල ඡායාරූප ගන්නා අවස්ථාවකදී නම් ස්මාට්ෆෝන තිරයෙන් පේන රාමුවට අනුව වඩාත් ආසන්නව සූම් නොකර ඡායාරූප ලබා ගැනීමත් හොඳ පුරුද්දක්. බොහෝ විට ස්මාට්ෆෝන් එකකදී ඩිජිටල් සූම් යනු පිංතූරය විශාලනය කර ගැනීම මඟින් යොදා ගන්නා ප්‍රයෝගයක්. එම අවස්ථාවේදී ඡායාරූපයේ තත්ත්වය බාල වීමක්ද සිදු වෙනවා.

නවීන ඇපල්, සැම්සුන් සහ ඉහළ මට්ටමේ ස්මාට්ෆෝනවල නම් දැන් දැන් මදක් දුර ඇති වස්තුන් වඩාත් හොඳින් හසු කරගන්නට කැමරා සිදුරු දෙකකින් පමණ ආලෝකය සහ දත්ත ලබාගැනීම සිදු වෙනවා. එසේ වුවත් වස්තුව ආසන්නයටම ගෙන ගොස් සේයාරූ ගත හැකි අවස්ථාවක් නම් එසේ කිරීම කවර ස්මාට්ෆෝනයකදී වුව වඩාත් සුදුසුයි. ස්මාට් ෆෝනයේ මෙම විශේෂිතභාවය නිසාම මල්, ගහකොළ, ගෙදර දොර, ගෘහ නිර්මාණ ශිල්ප, විශාල අවකාශයන් සහ සමීප පුද්ගල සේයාරූ ගැනීමට ස්මාට් ෆෝන කැමරාව වඩාත් සුදුසුයි. බොහෝ දිගු දුර සූම් කර වනෝද්‍යානයකදී සත්ව චර්යාවන් වැනි දේ හසු කරගන්නට නම් ස්මාට් ෆෝනය යොදා ගන්නට අපහසුයි.

රාමුවට හසුකර ගැනීම

ඡායාරූපයක් ලබා ගන්නා විට අපි අරමුණු කරන යමක් තිබෙනවා. එනම් අපි ඡායාරූපයෙන් දැක ගන්න ආස කරන යමක් තමයි අපි පින්තූරයක් විදියට ෆෝන් එකට සේව් කරගන්න යන්නේ. එවිට එම වස්තුව මනා ලෙස රාමුවට හසුවන ලෙස ඡායාරූපය ලබා ගැනීම වැදගත්. උදාහරණ ලෙස සමූහ ඡායාරූපයක් නම් ඒ අදාළ සමූහයම සිටීද, ඔවුන් නිසි ලෙස පෙනෙයිද යන්න සැලකීම වැදගත්. සුරතල් සතුන් කුඩා සතුන් ඡායාරූපවලට නැගීමේදී එම සතුනගේ ඇස් මනාව දිස් වෙන පරිදි ඡායාරූප ලබා ගැනීම හොඳ උපක්‍රමයක්. පුද්ගල ඡායාරූපයක් නම් අවට ඇති බඩු මුට්ටු හෝ අනෙක් දේ නොව පුද්ගලයා ඉස්මතු වීම විය යුතු දෙයක්.

කුඩා දරුවෙකු බිම සෙල්ලම් කරන අවස්ථාවක් ඡායාරූපයට නගන්නේ නම් අපි සිටගෙන සිට කුඩා දරුවා බොහෝ ඈතින් සෙල්ලම් කරන දසුනක් ඡායාරූපගත කිරීම සාර්ථක වන්නේ නෑ. එවන් අවස්ථාවක දරුවාගේ සොඳුරු ඉරියව් නිසි පරිදි හසුකර ගන්නට සේයාරූ ලබා ගන්නා අයද ඒ මට්ටමේම සිට ඡායාරූප ගැනීම වඩාත් සුදුසුයි. ෆෝන් එක අල්ලන උස, ෆෝන් එක මානන කෝණය අනුවද ඡායාරූපවල අගය වැඩි හෝ අඩු වීම සිදු වනවා. ෆෝන් එකක එකවර ගබඩා කරගත හැකි පින්තූර ප්‍රමාණය අති විශාලයි. එම නිසා සේයාරූ ගැනීමේදී අපි ඇසින් දකින දේ සහ ෆෝන් එක ඇත්තටම ලබා ගන්නා දේ අතර තිබෙන වෙනස අවබෝධ කරගැනීමට නිතර පින්තූර ගැනීම සහ ඒවායේ අඩුපාඩු තමුන්ම බැලීමද හොඳ පුරුද්දක්.

පින්තූර තේරීම සහ සංස්කරණය

මුහුණ සහ සිරුර අනෙකාට හැඩට පෙන්වන්නට රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පාවිච්චිය දැන් බොහෝම සරල දෙයක් වී හමාරයි. ඒ වගේම ස්මාට් ෆෝන් එකෙන් ගත් පින්තූර කපා ආලෝකය එකතු කොට හැඩ ගැන්වීමත් දැන් එතරම් ලොකු දෙයක් නෙමෙයි.

ස්මාට් ෆෝන් එකෙන් විශාල පින්තූර ප්‍රමාණයක් ගත හැකි නිසා ගන්නා ලද සෑම සියලු පින්තූරයක්ම මුද්‍රණය කිරීම හෝ ෆේස්බුක් පළ කිරීම ඇතැමුන් සිදු කරනු ලබනවා. එහිදී එකම මාදිලියේ පින්තූර රැසක් එකම ස්ථානයේ තිබීම, ආලෝක වැරදි සහ පෙනී සිටීම් වැරදි සහිත සේයාරූ ද එකතු වීම ඉබේම සිදු වන දෙයක්. සාමාන්‍යයන් වෘත්තිය මට්ටමේ නළු නිළියන් ගේ ජීවිතයේ ඔවුන් කරන කියන සෑම දෙයක්ම අන්තර්ජාලයේ තිබෙනවා සේ පෙනුණත් ඔවුන් ගන්නා ඡායාරූප සියල්ලම අන්තර්ජාලයට මුදා හරින්නේ නෑ. හොඳ සේයාරූ තෝරා ඉන් පසු ඒවා වැඩි දියුණු කොට ඉන්ස්ටග්‍රෑම් හෝ ෙෆ්ස්බුක් වෙත මුදා හරින්නට ඇතැම් බොලිවුඩ් හොලිවුඩ් නළු නිළියනට වෙනමම කාර්ය මණ්ඩල පවා සිටිනවා. ඒ අනුව නිසි පින්තූර තෝරා ගැනීමත් ඒවා එඩිටින් මෘදුකාංග මඟින් නැවත යම් වැර ගැන්වීමකට ලක් කිරීමක් සිදු කර පොටෝ මුදා හරින්නේ නම් එවන් ස්මාට් ෆෝන් සේයාරූ ඉක්මනින් ජනප්‍රිය වේවි.

ආලෝකය සහ දිශාව

සේයාරුවක් ගැනීමට ආලෝකය අත්‍යාවශ්‍ය සාධකයක්. ආලෝකය අඩු වටපිටාවන්වලදී බොහෝ ස්මාට් ෆෝන් හොඳ ඡායාරූප ලබා දෙන්නේ නෑ. එසේම ස්මාට්ෆෝනය සතුව කුඩා ෆ්ලෑෂ් එකක් තිබුණද දිවා කල හොඳ ආලෝකය ඇති තැනකදී මෙන් කදිම සේයාරූ ලබා දෙන්නට ඒ කුඩා ෆෝන් ෆ්ලෑෂ් ලයිට් එකට හැකියාවක් ඇත්තේ නැහැ.

දිවා කල වුව සෑම සියලු තැනටම එක ලෙස හොඳින් ආලෝකය පතිත වන්නේ නෑ. ස්මාට් ෆෝනය වඩාත් එළිය වැටෙන ස්ථානයක තබාගෙන කළුවර තැනක සිටින මිතුරන් පිරිසක් ඡායාරූපයට හසු කරගන්නට අපහසුයි. උද්‍යානයකදී මල් ගහ කොළ පින්තූර ගැන්මකදී වුව හෙවනැල්ල සහ ආලෝකය වැටෙන දිශාව බැලීම කල යුතු දෙයක්. එසේම ස්මාට්ෆෝනය සාක්කුවෙන් ඇදගත් සැනින්ම ළඟම සිටින අයෙකුට එයින් දමා ගසනවා වැනි වේගයකින් කැමරාව ඕන් කර ඡායාරූප ගැනීම හොද පුරුද්දක් නෙමෙයි. එම ආලෝක තත්ත්වයට සහ වස්තූනට වස්තු දුරට අනුකූලව සැකසුම් තනා ගන්නට තත්පරයක දෙකක කුඩා කාලයක් ෆෝන් එකට අපි ලබා දිය යුතු වෙනවා. නූතන දියුණු ස්මාට්ෆෝන්වල නම් අපිට අවැසි පරිදි සැකසුම් වෙනස් කර ඡායාරූප ගැනීමටද හැකියාව ලැබී තිබෙනවා.

ස්මාට් ෆෝනයේ බලය

ලාංකික ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් රැසකගේ මුල් ගුරු වූ ලාල් හෑගොඩ මහතා පවා ස්මාට්ෆෝනයෙන් වුවද කදිම ඡායාරූප ගත හැකි යැයි කිහිප වරකදීම ප්‍රසිද්ධ දේශනවලදී කියා තිබෙනවා. මතක සටහන් පමණක් නොව යම් කලාත්මක අගයකින් යුතු සේයාරූ ගැනීමටද ස්මාට්ෆෝන් එක පහසුවෙන්ම යොදා ගත හැකි මෙවලමක්. හුරු කල අතෙකින් නිර්මාණශීලී මනසකින් භාවිත කළ හැකි නම් ස්මාට්ෆෝනයේ කුඩා කැමරා සිදුර මතින්ද විශාල වටිනාකම් ඇති සේයාරූ මවාගන්නට ඔබටත් හැකියාව ලැබේවි.

අමිල චතුරංග

නව අදහස දක්වන්න