බල්ලාරාට් කෞතුකාගාරය හොරු බිඳීම | දිනමිණ

බල්ලාරාට් කෞතුකාගාරය හොරු බිඳීම

සෝවියට් ලේඛක
ඇනටෝලි මෙලනිකොව්

පළමු කොටස

ඒ මූසල රාත්‍රියේ පොලිස් ස්ථානයේ රාත්‍රි වැඩ මුරය ආවරණය කිරීම පැවරී තිබුණේ බොබ් ග්‍රෙවවිටයි. එය කරදරකාරී රාත්‍රියක්ම නොවීය. ඕස්ෙට්‍ර්ලියානු බැංකුව අසල ඉබාගාතේ ඇවිදිමින් සිටියකු අත් අඩංගුවට ගැනීමේ සිද්ධියක් පමණක් වාර්තා විය. එහෙත් බොබ්ට සුවදායක නින්දක් නොවීය. ඔහු ඊට කිසිදු කැමැත්තක් නැත.

දැන් ඉබාගාතේ ඇවිදි තැනැත්තා අත් අඩංගුවේ පසු වූ අතර ඔහුව හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය. මේ අතර බොබ් රාජකාරි කාමරයේම අත පය දිග ඇර කෙටි නින්දකට සැරසුනේය. එය හිමිදිරි පාන්දරකි. බොබ් හිස නවාගෙන සිටියේය. ඔහුගේ හිස් වැස්ම මේසය මත විය. කාලයකින් දූවිලි පිස නොදැමූ දුරකතනයද ඒ අසල විය.

එම කුඩා එහෙත් ප්‍රකට නගරයට හිරු උදාවෙමින් පැවතිණ. බල්ල­ාරාට් නම් අමුතු නමකින් එම නගරය හැඳින්විණ. ඒ දෙසැම්බර් 13 දිනයි. අහස වලාකුළු රහිත විය. එදින උණුසුම් දිනයක් වන බවට එය සාක්‍ෂියකි.

අඩ නින්දේ පසු වූ බොබ්ගේ නිදිමත මනසට අලූත් දර්ශනයක් ඇතුළු විය. මහාද්වීපයේ නැගෙනහිර ගොල්ඩ් කෝස්ට් වෙරළට නිල් පැහැති සාගරය පෙනෙයි. කෙසෙල් හෝ මැග්නෝලියා (හරිත වර්ණ ශාඛයක්) ගස් පේලියකි. එහි අතු පතර කුඩා කුරුලූ පැටව් ‍රැඳී සිටිති. උන් සයිබීරියාවේ සිට පැමිණෙන බව කවුරුන් හෝ කියනු බොබ් අසා ඇත. එහෙත් එහි නම ඔහුගේ මතකයට නොනැගේ. ගස් මුල සිට කළු පොදියක් හෙමිහිට වෙරළට ඇදෙයි. බොබ් ප්‍රවේසමෙන් ඒ දෙස බැලූවේය. ඔව් ඒ ඉබ්බන් රැසකි. වෙරළේ බිත්තර දැමීමට පැමිණ සිටි සතුන් පිරිසකි.

දුරකතනයේ අමිහිරි නාදය ඔහුගේ දර්ශනයට බාධා කළේය. රුපවාහිනී තිරය අඳුරු වී රූප නොපෙනී යන්නාක් මෙන් සියල්ල මැකී ගියේය. ඇස් පිස දැමූ බොබ් රාජකාරි අසුනේ වාඩි විය. දෙවන වරටත් ඇසුණු දුරකතනයේ කර්කශ හඬ ඔහුව කෙළින් සිටවූවේය.

“සාජන් බොබ් ග්‍රෙවවි”

“පොලිසියද ? බල්ලාරාට් කෞතුකාගාර මධ්‍යස්ථානයේ භාරකාරයා කතා කරන්නෙ”

“සම්පූර්ණ නම ?”

“ඩොනල්ඩ් සමර්ස්”

“මොකද වුණේ සමර්ස් මහත්මයා ?”

“ඔබ අතරින් කෙනෙක් වහාම එන්න ඕනෙ”

“මොකද වුණේ ?”

“දුරකතනයෙන් විස්තර කියන්න අමාරුයි. මට සැකයි ඔබ මාව විශ්වාස කරයිද කියල. මටත් තේරුම් ගන්න බැරි දේවල් සිද්ධ වෙලා”

“හොඳයි එහෙනම් කියන්න මොකක්ද අපරාධය කියල. මිනීමැරුමක්ද ? හොරකමක්ද ?”

“එහෙම එකක් නෙවෙයි. උන් ප්‍රදර්ශන භාණ්ඩ හොරකම් කරල. ඉතින් වහාම එන්න”

“හොඳයි දැන්ම ම කෙනෙක් ඒවි”

දුරකතනය තැබූ ඔහු ඔරලෝසුව දෙස බැලූවේ. තවමත් නිදි කිරන ඔහුට වෙලාව උදසන 6 45 බව පෙනිණ. ඔහුගේ වැඩ මුරය පෙරවරු 7 ට අවසන් වීමට නියමිතය. රාජකාරි වෙලාව නිමා වෙත්ම පොලිස් රථයට නැගුණ බොබ් කෞතුකාගර මධ්‍යස්ථානය බලා ගියේ පරීක්‍ෂණයක් පැවැත්වීමේ අරමුණිනි. නගරයේ නිහඬතාව මැදින් තවමත් සීතල තාර පාරේ රිය පදවා ගෙන ගිය ඔහු කීර්තිමත් බල්ලාරාට් නගරයේ ඉතිහාසය පිළිබඳව මතකයට නගා ගැනීම ආරම්භ කළේය.

කලකට පෙර ඝනව වැඩුණු අකාසියාස් (සුදු සහ කහ මල් සහිත මැලියම්වලින් යුත් ගස් වර්ගයක්) සහ ඉයුකාලිපුට්ස් (කපුරු වැනි ඔස්ට්‍රේලියානු ගස් වර්ගයක්) ගස් වැලින් වැසී තිබුණ ප්‍රදේශය දැන් නගරයක් ලෙස නැ‍ඟී සිටියි. මින් වසර දෙසීයකට පෙර යටත් විජිත සමයේ මෙම ප්‍රදේශය වාසයට සුදුසු ප්‍රදේශයක් ලෙස තෝරාගත්තේ මුල්වරට එම ප්‍රදේශයට පැමිණි සුදු ජාතිකයෝය. මෙම ප්‍රදේශය පදිංචියට තෝරා ගැනීමට තවත් හේතුවක් වූයේ ඒ අසළින් ගලා යන කවදාවත් නොසිඳෙන දිය පාරේ ඉවුරේ පිහිටිමයි. මහාද්වීපයේ හදවතේ පානයට සුදුසු ජල ප්‍රවාහයක් තිබීම ප්‍රදේශයේ සාර්ථකත්වයට හේතු විය.

දෙවන වරට එම පදිංචිකරුවන්ට අනපේක්‍ෂිත ලෙස සොයා ගැනීමට හැකි වුයේ දිය පහර අසල රත්තරන් ඉල්ලම් ඇති බවයි.

ශතවර්ෂය ආරම්භයේදීම මෙහි පදිංචිකරුවන්ට පොළොව මතුපිට ආසන්නයේම රත්තරන් හමුවන්නට විය. අත ළග තිබූ රත්තරන් නිසා කුඩා නගරය ඉක්මනින්ම සංවර්ධනය වීය. කෙටි කාලයක් තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් හෝටල, බල්ලාරාට් ටයිම්ස් මුද්‍රණාලය, රසායනික ද්‍රව්‍ය සපයන ආයතනයක්, රත්රන් සොයා ගැනීමෙන් ආදායම් ඉපදවූවන් වෙනුවෙන් ඇති කර ගනු ලැබූ සමාජ ශාලා රාශියක් ඇති විය. වැලි පාරවල ගමන් කළ අශ්ව කරත්තවලින් නැඟුණ දූවිලි වලාවලින් ආකාශය වැසී ගියේය.

නිවිහැනහිල්ලේ කුඩා චතුරශ්‍රය වෙත ළගා වූ බොබ් වමට හැරී පතල් වෙත කෙළින්ම යන මාර්ගයට පිවිසියේය. ඉදිරියට එන කිසිදු වාහනයක් නැත. ඔහුගේ වාහනයේ පැත්තේ වීදුරුවෙන් ගලා එන හිරු රැසින් සෑම මොහොතකම උණුසුම වර්ධනය වෙයි.

ශතවර්ෂයේ මැද භාගයේ දී බල්ලාරාට් රන් ආකාරවල මිනිසුන් දහස් ගණනක් සේවය කළ බව තමන් අසා ඇති බව ඔහුගේ මතකයට නැගිණ. 1854 නොවැම්බර්-දෙසැම්බර් කාලයේ දී පතල්කරුවෝ තමන්ට දරාගත නොහැකි බදු බරට එරෙහිව තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වර්ජනයක් දියත් කළහ. එම ඉල්ලීම් අතර දේශපාලන ඉල්ලීමක් එනම් ආණ්ඩුවක් පිහිටුවීමේ ඉල්ලීමක්ද විය. ඔවුහු මාර්ග බාධක ඉදිකර අවසානය දක්වා සටන් කරන බව ප්‍රකාශ කළහ. 'යුරේකා ස්ටොකෙයිඩ්’ නමින් හැඳින්වුණ මෙම කැරැලිකරුවන්ව හමුදාව සහ පොලිසිය යොදවා මර්ධනය කරනු ලැබීය. මෙම සිද්ධිය තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන ගිය ප්‍රථම වැඩ කරන ජනතා අරගලය ලෙස ඕස්ෙට්‍ර්ලියානු ඉතිහාසයට එක් විය.

පතල් ප්‍රදේශයේ ගොඩනැගිලි දෙස බැලූ බොබ්ට හුරුපුරුදු ගොඩනැගිලි අතර ඇති කෞතුකාගාර සංකීර්ණයේ කිසිවක් අඩු වී ඇති බව පෙනිණ.

බල්ලාරාට් පොළොවේ රතු පසෙහි තිබූ රත්තරන් රන් කර්මාන්තකරුවන් විසින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන ඇත. ඉතිරිව ඇත්තේ ඉතා සුළු රන් ප්‍රමාණයකි. එහෙත් ඉවත දමා තිබූ පස්වලින් පවා නියම රත්තරන් නිපදවා ගැනීමට මිනිසුන් සමත් වී ඇති බව බොබ් ට සිතිණ.

විසි වැනි සියවසේ දෙවවැනි භාගයේ දී බල්ලාරාට් සිය දෙවැනි උපත ලැබුවේය. එනම් එම ප්‍රදේශය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් වීමයි. හෝටල්, මුද්‍රණාලය, රසායානාගාරය සමාජ ශාලා ආදිය නැවත ආරම්භ වුයේ එහි පෞරාණික බව රැක ගනිමින් පැ‍රැණි අශ්ව කරත්ත දූවිලි අවුස්සමින් නැවතත් කෞතුකාගාර භූමියේ සැරිසරන්නට විය. බල්ලාරාට් ටයිම්ස් පුවත්පත පසුගිය සියවසේ මැද භාගයේ පාවිච්චි කළ අකුරු යොදා ගනිමින් පරණ තාලයටම පරණ හැඩරුවෙන්ම නැවතත් පළ කරනු ලැබීය.

මාර්ගෝපදේශකයකුගේ මඟ පෙන්වීම යටතේ පොළොව යට ඇති පතල්වල අඩ සැතපුමක් පමණ ගමන් කරන සංචාරකයෝ අත්හැර දමන ලද කැණීම් උපකරණ සහ වෙස් මුහුණු ආදිය ලෙස බලමින් මහත් සතුටක් ලබති. ඉල්ලම් පස් රැගෙන යන වහලක් නැති රෝද හතරේ කරත්තය ගෙන යන පාරේ ඔව්හු ඔයේ ඉවුර දක්වාම ගමන් කරති. ඔය ඉවුරේ සංචාරකයන් පිනවීම සඳහා වැලි පිරවූ ටින් තබා ඇත. සමහර විට එහි අඩංගු වැලි මින් වසර සියයකට පමණ පෙර ඒ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා විය හැකිය. තම වාසනාව උරගා බැලීමට කැමති අයට මෙහි දී ඒ සඳහා අවස්ථාව ඇත. මේවා මිල දී ගන්නා අය සිටින අතර බොහෝ අවස්ථාවල ඉන් රත්තරන් ලබා ගැනීමට ඔවුන් දරන උත්සාහයන් සාර්ථක නොවේ. රත්රන් වැලි අඩංගු පරීක්‍ෂණ නල ද කෙනෙකුට මෙහි දී ලබා ගත හැකිය. 'මේවා සියයට සියයක්ම සාර්ථක බව සහතික කරනු ලැබේ’ යනුවෙන් එම පරීක්‍ෂණ නලවල සඳහන් කර ඇත.

බොබ් තමා සමඟම සිනාසුනේය. පතල්වල පතුල සූරා එම වැලි ජලය සමඟ මිශ්‍ර කර පරීක්‍ෂණ නලවලට පුරවා නියම ඕස්ෙට්‍ර්ලියන් රත්තරන් යනුවෙන් ලේබල් කර සමරු ලෙස ගෙන යාම සඳහා විකිණීමට තබා ඇත. එහි පැමිණෙන ඕනෑම සංචාරකයෙක් සමරුවක් වශයෙන් මේවා රැගෙන යයි. රසායනාගාරයේ පරණ තරාදි සහ තරාදි පඩි විකිණීමට තබා ඇත. වර්ණ රහිත කපුරු තෙල් අඩංගු බෝතල් ද විකිණිමට ඇත. 'බ්‍රිතාන්‍ය ඖෂධ ප්‍රමිතියට අනුව සකස් කර ඇත’ යනුවෙන් එම බෝතල්වල ලේබල් අලවා ඇත.

එහි ඇති මුද්‍රණාලයේ ක්‍රිමියන් යුද්ධය සම්බන්යෙන් ඇති විවිධ ප්‍රවෘත්ති ඇතුළත් පත්‍රිකා ලබා ගත හැකිය. ඒවා මුද්‍රණය කර ඇත්තේ පැරැණි මුද්‍රණ අකුරිනි. 'සෙවස්ටපෝල් වරායේ දී රුසියාව නැව් කණ්ඩායමක් ගිල්වයි’, සතුරු විරෝධය දැඩිවෙයි’, 'සෙවස්පොල් අල්ලා ගනී’ වැනි වාක්‍ය මෙම පත්‍රිකාවල දක්නට ඇත.

කෞතුකාගාරයට තමා පැමිණි පළමු වන අවස්ථාව බොබ් ග්‍රෙවවීගේ මතකයට නැගිණ. ඇමෙරිකන් එක්ස්ප්‍රස් හෝටලයේ දී බීමතින් කලකෝලහාල කළ මිනිසෙකුට පහර දී පලවා හැරි අයුරු දැක්වෙන විශාල අකුරින් පළ කළ දැන්වීමක් ඔහුට එදින දක්නට ලැබිණ. එහි එම තැනැත්තාගේ නම සහ වාසගම හිස්ව තබා ඇත. ඕනෑම සංචාරකයකුට එහි දී තමාගේ නම ඊට ඇතුළත් කොට සුළු විනෝදයක් ලැබිය හැකි.

කෞතුකාගාර ගොඩනැගිල්ල ආරම්භ වන ස්ථානයෙන් තාර පාර අවසන්වූ බැවින් සාජන්වරයාගේ මෝටර් රථය කුඩා වලක වැටී ගැස්සිණ. කුඩා දූවිලි වලාවක් මැදින් ඔහු කෞතුකාගාර කාර්යාලය දක්වා රථය පදවා ගෙන ගියේය. නිදිවර්ජිතව රාත්‍රිය ගත කළ බැවින් ඔහුට රථයෙන් බසින විටත් දැඩි වෙහෙසක් දැනිණ.

කෞතුකාරයේ අනෙකුත් ගොඩනැගිලි මෙන්ම කාර්යාලයද ලී කඳන් යොදා ලෑලිවලින් ඉදිකර තිබිණ. රන් ආකරවල වැඩ කරන කාලයේ දී මෙන් ගෝමර වැටුණ අශ්වයෙක් ලී වැටක ගැට ගසා සිටියේය. එමූ සතෙකු (ඕස්ටේ‍්‍රලියාවේ සිටින පැස්බරා වැනි සතෙක්) පාරේ එහා මෙහා ගමන් කරමින් සිටියේය.

සාජන්වරයා ලී දොර තල්ලූ කළේය. බල්ලාරාට් කෞතුකාගාර අධ්‍යක්‍ෂ නාම පුවරුව බිත්තියේ සවි කර ඇත. දොර මහ හඬක් නගමින් විවෘත විය. බොබ් එළිපත්ත පසුකොට ඉදිරියට ගිය විට නවීන පන්නයේ ගෘහ භාණ්ඩ තිබූ කුඩා කාර්යාල කාමරයකට ඇතුළු වීමට හැකි විය. මධ්‍යම උසකින් යුත් කාකි ඇඳුමින් සැරසී සිටි මිනිසෙක් යකඩ මේසයක් ඉදිරි පිට අසුන්ගෙන සිටියේය. මේසය මත දුරකතන පේලියකි.

“සාර්ජන්ට් ග්‍රෙවවි” පොලිස් නිලධාරියා නිවේදනය කළේය.

“ඩොනල්ඩ් සමර්ස් කෞතුකාගාරයේ භාරකාරයා. වාඩිවෙන්න. අපට දිග කතාවක් කරන්න සිද්ධ වෙනවා”

“දැන් මොකද වෙලා තියෙන්නෙ ?” මෙවැනි අවස්ථාවල සාමාන්‍යයෙන් අසන ප්‍රශ්නය බොබ්ගෙන් පිට විය. ප්ලාස්ටික් පුටුව ඔහුගේ ශරීරයේ මුළු බර දරා සිටියේය.

“වෙන්න බැරි දෙයක් සිද්ධ වෙලා” සමර්ස් ආරම්භ කළේය. “නිහඬ රාත්‍රියක් ආරක්‍ෂකයන්ට කිසිම අමුතු දෙයක් දැනිල නැහැ. සොරුන් ඇතුළු වූ බව දන්වන නලාව වැඩ කරමින් තිබුණෙ. ඒත් එයින් කිසිම ශබ්දයක් නිකුත් වුනේ නැහැ. ඒ නලාව මෑත දී පරීක්‍ෂා කළා. එය හොඳ තත්ත්වයෙන් තියෙන බවයි වාර්තා වුණේ. ඒත් උදේ සේවකයො ගිහින් බලනකොට සමහර ප්‍රදර්ශන භාණ්ඩ නැහැ. කොටින් කියනව නම් ඒවා කෞතුකාගාරයට අයත් භාණ්ඩ ඒත් ඒවා පුංචි දේවල් නෙවෙයි”

ඊළඟට කිව යුත්තේ කුමක්දැයි කල්පනා කරමින් සමර්ස් මොහොතක් නිහඬව සිටියේය. බොබ්ට නැවතත් දැඩි වෙහෙස දැනිණ. ඔහු තම සියලු ධෛර්යය උපදවාගෙන නිදා නොවැටී සිටින්නට උත්සාහ කළේය.

“අපි ළඟ කෞතුක විටිනාකමින් යුත් යන්ත්‍ර සූත්‍ර තිබුණා” සමරස් නැවතත් කතාව ආරම්භ කළේය. “ලොකැමටිව් එන්ජින්, වාෂ්ප එන්ජින්, මිදි කඩන්න ගෙනියන රථ ආදිය. ඒවා තියල තිබුණේ විශේෂ අංගනයක. සංචාරකයො ඒවා නරඹන්න ආවා”

“ඇයි පොලිසියට එන්න කිව්වෙ ?” නොරුස්සන ස්වරූපයෙන් සාජන් විමසුවේය. “කෙළින්ම කාරණාව කියන්න”

සාජන්වරයාගේ වචන සමර්ස්ගේ ස්ථාවරය දැඩි කළේය.

“දැන් මම වැදගත්ම කොටසටයි එන්නෙ” ඔහු සමාව යදින ස්වරූපයෙන් කීවේය” ඊයෙ රාත්‍රියේ දුම්රිය එන්ජින් දෙකයි වාෂ්ප එන්ජින් තුනයි කාර් කීපයකුයි කෞතුකාගාර අංගනයෙන් අතුරුදහන් වෙලා. ඒ වගෙම අශ්ව කෝච්චියකුත් නැහැ”

“ඒවා හොරකම් කරන්න පුළුවන්ද ?” සාජන්වරයා ඈනුමක් අරිමින් විමසුවේය.

“සොරකම් ?” සමර්ස් මවිත විය.

“ඒවා ඉවත් කරන්න නම් විශේෂ දොඹකර වගෙම භාණ්ඩ ගෙනයන ට්‍රක් රථ අවශ්‍යයි. කෞතුකාගාරය ඉදි කරනකොට අංගනය වට කරල හදල තිබුණ වැටත් තවම එහෙමම තියෙනවා. ඒක පාවිච්චි නොකළත් මේ වගෙ කාර්යක් කාටවත් එක රාත්‍රියකින් කරන්න බැහැ” ඔහු නිශ්චය ලෙස පැවසුවේය.

“හරි අමුතුයි” බොබ් ග්‍රෙවවිට ඉබේටම කියැවිණ. ගබඩාවල නැති වූ භාණ්ඩ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඔහුට හොඳ අත්දැකීමක් ඇත. මෙවැනි පරීක්‍ෂණවලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් දක්‍ෂයන් වන අතර ඔවුනට පහසුවෙන් සොරුන්ව කොටු කර ගත හැකිය.

“සිද්ධිය වෙච්ච තැනට මාව එක්ක යන්න. මම හැම දෙයක්ම පරීක්‍ෂා කරන්න ඕනෑ” ඔහු පැවසුවේය.

මතු සම්බන්ධයි

අනුවාදය බොබී ජී බොතේජු

නව අදහස දක්වන්න