ලෝකයේ එහා කොනේ | දිනමිණ

ලෝකයේ එහා කොනේ

මංජුලා විජයරත්න

සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 50ක පමණ උෂ්ණත්වයක් යටතේ දිවි ගෙවන ගෝත්‍රික ජන කොටසකගේ ජීවන තතු අනාවරණය කෙරෙන ඡායාරූප පෙළක් ඩේලි මේල් වෙබ් අඩවිය පසුගිය දා පළකර තිබිණ. විශ්වාස කරන්නට පවා අසීරු අඩු උෂ්ණත්වයක් යටතේ ජීවත් වන්නේ නෙනෙට්ස් නමැති ගෝත්‍රික ජනයායි. ඔවුන් ජීවත් වන්නේ සයිබිරියවෙහි ය. අධික ශීතල කාලගුණය නිසාම ඔවුන්ගේ ජීවන වත්පිළිවෙත් අපේ ජීවන වත්පිළිවෙත්වලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට ගොඩනැඟි ඇත. කෙටියෙන් කිවහොත් ඔවුන්ගේ ජීවිත කේන්ද්‍ර වී තිබෙන්නේ ඔවුන් සමඟ ජීවත්වන පිනි මුවන් වටා බව දැක්වේ.

නෙනෙට් ගෝත්‍රික ජනයා ආහාරයට ගන්නේ පිනි මුවන්ගේ මස් ය. ඔවුහු පිනි මුව මස් අමුවෙන්ම ආහාරයට ගනිති. මස් පිණිස මරන පිනි මුවන්ගේ සම් ප්‍රයෝජනයට ගෙන ඔවුහූ සිය ඇඳුම් නිමවා ගන්නෝ ය. නෙනෙට් ජනයා විශ්වාස කරන දෙවි දේවතාවුන්ට වැඳුම් පිඳුම් කරන්නේද පිනි මුවන් කැප කරමිනි. නෙනෙට්ස් ජනයා තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සෑම වසරක් පාසාම සැතපුම් දහස් ගණන් දුර ගමන් කරති. ඒ ගමන් සඳහා ඔවුන් යොදා ගන්නේ තමන්ම සකසා ගත් ලී කරත්ත විශේෂයකි. කරත්ත නිමවා ඇත්තේ විශාල හිම තලා මතින් ඉදිරියට ඇදෙන්නට හැකි අන්දමටය.

නෙනෙට් ගෝත්‍රික ජනයා ජීවත් වන්නේ යමල් - නෙනෙට් වශයෙන් නම් කරණු ලැබූ ප්‍රදේශයක ය. යමල් නෙනෙට් යන්නෙහි අරුත “ලෝකයේ එහා කෙළවර” යන්නයි. සැබවින්ම ඔවුන් ජීවත් වන ප්‍රදේශය මේ පෘථිවිය මත ඇති කෙළවරක් බව වැටහෙන්නේ එහි ළඟා වන අයටය. නෙනෙට් ජනයා ජීවත් වන ආර්ක්ටික් තුන්ද්‍රා ප්‍රදේශ පිහිටා තිබෙන්නේ රුසියාවේ මොස්කව් නුවර සිට සැතපුම් 2,000කට අධික තරමේ දුරකිනි. ඒ දුර සම කරන්නට හැකි වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවරට ඇති දුරට බව පැවසේ.

2010 වසරේදී රුසියා බලධාරීන්ගේ මැදිහත් වීමෙන් කරන ලද සංගණනයකින් නෙනෙට් ගෝත්‍රයට අයත් 44,857 දෙනකු ගැන කරුණු අනාවරණය වී තිබේ. එයින් පසුව ඔවුන් සම්බන්ධයෙන් සංගණනයක් සිදු වී නැත. නමුත් ඇතැම් පර්යේෂකයන් පවසන්නේ මේ වනවිට ආර්ක්ටික් තුන්ද්‍රාවෙහි ජීවත්වන නෙනෙට් ජන සංඛ්‍යාව දස දහසක් පමණ වන බවය. දස දහසක් තරම් වූ මේ පිරිස පිනි මුවන් ඇති දැඩි කිරීම ප්‍රධාන කාර්යය වශයෙන් කරගෙන යති. ඔවුන් සතු පිනි මුවන් සංඛ්‍යාව ලක්ෂ තුනක් පමණ වන බව දැක්වේ. එම පිනි මුවන් රැළ ගමන් ගන්නා දිශාව අනුව නෙනෙට්වරුන් ගමන් ගන්නා දිශාවත් ලැගුම් ගන්න ස්ථානත් වෙනස් වේ. ජලය මිදුණු ඕබ් ගඟ තරණය කර පිනි මුවන් සමඟ ඔවුහු තරමක් ඈත ප්‍රදේශවලට වුව ගමන් කරති. ඈත ගමනකට පිවිසෙන කල නෙනෙට් ජනයා කරන්නේ තමන් සතු ආම්පන්න සියල්ල ලී කරත්තයේ පටවාගෙන පිනි මුවන් සමඟ ගමන් කිරීමය. ඒ යන ගමනේදී පිනි මුවදෙනුන් ගැබ් ගන්වා ඔවුන්ගෙන් පැටවුන් ගැනීමේ කාර්යයත් මේ ගෝත්‍රික ජනයා අතින් සිදු කෙරේ. වැඩිපුර පිනි මුවන් මරාගන්නා කාලවලදී එම මස්, යුරෝපා රටවල පිහිටි මස් සැකසුම් කර්මාන්ත ශාලා වෙත එවීමට ඔවුහු කටයුතු කරති. යුරෝපා රටවලට පිනි මුව මස් විකිණීම ඔවුන්ගේ ප්‍රධාන ධනෝපායන මාර්ගයක් බව සඳහන් වේ.

කාර්මීකරණය, ජනපද ඇතිවීම මෙන්ම ගෝලීය කාලගුණ විපර්යාස නිසා නෙනෙට් ජනයාගේ නිජ බිම්ව්ලට හානි පැමිණෙමින් තිබේ. එහි කැපී පෙනෙනම අංගය වන්නේ ඔවුන් සතුව ඇති සීමිත තණබිම් ප්‍රමාණය අඩු වී යාමයි. මේ නිසා ඔවුන්ට පිනි මුව රැළ පෝෂණය කරගැනීම ගැටලුවක් වී ඇත. සමහර තෘණ බිම් විශාල වශයෙන් උලා කෑමට ලක්ව ඇති නිසා දැඩි තණ හිඟයක් පවතින බව ඔවුහු පවසති. පිනි මුව ගහනය අඩු වී ගියහොත් නෙනෙට්ස් ගෝත්‍රික ජනයාට යැපෙන්නට මඟක් නැතිව යනු නිසැක ය. ලෝකයේ එහා කෙළවරේ ජීවත්වන ඔවුන්ගේ වඳ වී යාම කෙරෙහි එය නියත වශයෙන්ම බලපානු ඇත.

mail online ඇසුරෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...