ආණ්ඩුවේ අවුල | දිනමිණ

ආණ්ඩුවේ අවුල

අවාසනාවන්ත යන පදය ලෙහෙසියෙන් අර්ථකථනය කළහැකි එකක් නොවේ. හේතුව ජීවිතය අප්‍රසන්න තත්ත්වයකට පත් කරන අමිහිරි සහ අභාග්‍යසම්පන්න සිදුවීම් එමඟින් අර්ථවත් වන බැවිනි. කරන කියන දෙයක් හරි නොයෑම, අනපේක්ෂිත හා බලාපොරොත්තු නොවූ මරාල කඩා වැටීම හේතුවක් නොමැතිව නින්දා අපහාසවලට මුහුණ දීමට සිදුවීම, කොතරම් හොඳ කළත් හොඳක් අහන්න නොලැබීම, අතට ගත් බත් පිඩ කටට දා ගැනීමට බැරිවීම යනාදිය එවැනි සිදුවීම්වලින් කිහිපයක් වේ.

සමහරු අවාසනාවන්තකම උපතින්ම උරුම කර ගන්නා දෙයක් බව සමහරුන්ගේ අදහස වේ. එය තමන් කරන මෝඩ තකතීරු ක්‍රියා හේතුකොට ගෙන තමන් විසින්ම අයත් කර ගන්නා දෙයක් බව තවත් සමහරුන්ගේ අදහස වේ. තවත් සමහරු කියන ආකාරයට කල දසාව නරක් වූ විටද අවාසනාවන්තකම ජීවිතයට ළඟා වේ. මේ කුමක් හේතුකොට ගෙන වූවද කෙනකුට අවාසනාවන්තකම උරුම වීම කිසිසේත්ම යහපත් දෙයක් නොවේ.

අවාසනාවන්තකම අත් වූ විට එයින් සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වන්නේ එම පුද්ගලයාම ය. නමුත් ආණ්ඩුවක් අවාසනාවන්ත වුවහොත් එයින් ඇතිවිය හැකි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන්නේ රටේ සමස්ත ජනතාවටම ය. අද අපේ රට මුහුණ දී තිබෙන්නේ මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකටය. එයට හේතුව අද මේ රටේ මේ මොහොතේ තිබෙන ආණ්ඩුව අතිශයින්ම අවාසනාවන්ත ආණ්ඩුවක් වීමය.

1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබාගත් පසුව මෙරට පිහිට වූ ආණ්ඩු අතුරින් අවාසනාවන්තම ආණ්ඩුව 2015 අගෝස්තු මාසයේදී පිහිටුවා ගත් වර්තමාන යහපාලන ආණ්ඩුව බව නිසැකවම කිව හැක. මෙම අවාසනාවන්තභාවය පෙන්නුම් කරන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දිනයේ සිට අද දක්වා මේ රට මුහුණ දී තිබෙන කිසිඳු ප්‍රශ්නයක් සාර්ථකව විසඳීමට එයට නොහැකි වීම යන කරුණ පමණක් හේතුකොට ගෙන නොවේ. කොපමණ හිත හොඳින් කළද කරන කිසිම දෙයක් සාර්ථක නොවීම පමණක් නිසාද නොවේ.

මේ සියල්ල සමග ආණ්ඩුවේ අවාසනාවන්තකමට බලපා තිබෙන වැදගත්ම හේතුවක් වන්නේ දුරදිග නොබලා කරන කියන දේවලින් නැති ප්‍රශ්න ඇතිකර ගනිමින් තමන් විසින්ම තමන් අවාසනාවන්ත තත්ත්වයකට පත්කර ගැනීමය.

ආණ්ඩුව අවාසනාවන්ත වීමේ එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ ජනතාව කිව නොහැකි ආකාරයේ දැඩි මානසික කඩා වැටීමකට ලක් වීමය. අද මේ රටේ ජීවත් වන ජනතාවගෙන් අති මහත් බහුතරය කල දවස ගත කරන්නේ අනේ අපිට මේ සිදුවෙලා තිබෙන්නේ කුමක්ද යන කම්පා සහගත ප්‍රශ්නයට මැදිහත් වී එයින් ඇති වී තිබෙන ඉතාම දැඩි මානසික හා කායික පීඩනය තුළය. මේ තත්ත්වය වෙනස් කිරීමට ආණ්ඩුව ඉක්මනින් පියවර නොගත හොත් මේ රටේ ජනතාව ඉතාම ටික දවසකින් මානසික රෝගීන් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. බලාපොරොත්තු රාශියක් ඇතිව පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුව මේ රටේ ජනතාවට අයත් කර දීමට හදන්නේ මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් නම් එමඟින් පෙන්නුම් කරන්නේ යහපාලන ආණ්ඩුවේ අවාසනාවන්තකම කොතරම් බරපතළ ලෙස රටට සහ ජනතාවට බලපා තිබෙනවාද යන්නය.

ආණ්ඩුව අවාසනාවන්ත වීමේ අනෙක් ප්‍රතිඵලය වී ඇත්තේ රාජ්‍ය පාලනය බරපතළ ලෙස අකාර්යක්ෂම වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස රට බෙහෙවින්ම අවුල් සහගත හා අස්ථාවර තත්ත්වයකට පත්වීමය. මෙම හේතුවෙන් හැට දෙලක්ෂයක ජනතාවගේ අනුමැතියෙන් පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුවෙන් රාජ්‍ය පාලනය ගිලිහී ගොස් දොස්තරවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, හාමුදුරුවරුන්, වෘත්තීය සංගම්කාරයින් වැනි ප්‍රචණ්ඩකාරී සහ රස්තියාදුකාර කොටස්වල අත යටතට පත් වී රට තුළ අනධිකාරී තත්ත්වයකට බෙහෙවින්ම සමාන තත්ත්වයක් උද්ගත වී තිබීමය.

මෙම තත්ත්වය හේතු කොටගෙන යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වේගයෙන් සෝදාපාලුවකට ලක්වී තිබෙන අතර එම හේතුවෙන් ආණ්ඩුවේ අනාගත පැවැත්මද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති සැටියකුයි දැකිය හැකි වන්නේ. මෙම අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සෙමින් සෙමින් ඉස්මතු වෙමින් තිබෙන අතිශය භයානක ප්‍රවනතාවක් වන්නේ 2015 ජනවාරි මාසයේදී රටේ හැට දෙලක්ෂයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමය යළිත් වරක් බිහිවීම සනිටුහන් කරන බියකරු සෙවණැලි දේශපාලන ක්ෂෙත්‍රය තුළ යළි දෘශ්‍යමාන වීමට පටන් ගැනීමය.

මෙයට අවුරුදු තුන් දහසකට පමණ ප්‍රථමයෙන් ආණ්ඩු ක්‍රම වෙනස්වීම පිළිබඳ චක්‍රීය ප්‍රවාහය ගැන විස්තර කරමින් ඇරිස්ටෝටල් නමැති ග්‍රීක ජාතික දේශපාලන දාර්ශනිකයා පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් දූෂිත හා අකාර්යක්ෂම වූ විට ඊළඟට ඇති වන්නේ ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමයක් බවය. අද පවතින යහපාලන ආණ්ඩු ක්‍රමය මගින් ඇරිස්ටෝටල් ගේ එම විග්‍රහය යළි සත්‍යයක් බවට පත්කිරීමට මග පාදනවාද යන සැකය පවතින තත්ත්වය හේතුවෙන් පැන නැඟීම පුදුමයට හේතුවක් නොවේ.

මේ නිසයි නිදහසින් පසු බිහි වූ ආණ්ඩු අතුරෙන් බෙහෙවින්ම අකාර්යක්ෂම හා අසාර්ථකම ආණ්ඩුව මෙන්ම අවාසනාවන්තම ආණ්ඩුව මේ ආණ්ඩුව වන බවට මතයක් ජනතාව අතර පැතිර යමින් පවතින්නේ එහෙයිනි. මේ මතය දරන්නේ ආණ්ඩුවට විරුද්ධ ජන කොටස් පමණක්ම නොවේ. කණගාටුවට හේතුව අපමණ දුකක් විඳිමින් මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙස මහන්සි වී ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ හැට දෙලක්ෂයක ජනතාවගෙන් අති බහුතරයද මේ මතය දරන තත්ත්වයකට අද පත්ව තිබීමය.

ඉමහත් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඇතිව මෙයට අවුරුදු දෙක හමාරකට පෙර පිහිටුවා ගත් යහපාලන ආණඩුවට මෙයාකාර අවාසනාවන්ත ඉරණමක් අයත් වූයේ ඇයි? මෙයට බලපා ඇති හේතු මොනවාද? මේ සම්බන්ධයෙන් බලපා ඇත්තේ හේතු එකක් දෙකක් නොවේ. ඒවා සියල්ල මෙවැනි කෙටි තීරු ලිපියක් තුළ සවිස්තරාත්මකව සාකච්ඡා කළ හැකිද නොවේ. නමුත් එම හේතු ඉතාම පුළුල් පදනමක් යටතේ කොටස් දෙකක් යටතේ හඳුනා ගතහැක.

මෙයින් එකක් වන්නේ යහපාලන ආණ්ඩුව උත්පත්තියෙන්ම අයත් කරගත් අවාසනාවන්ත ඉරණමය. දෙවැන්න තම ක්‍රියාකාරිත්වය තුළින් තමන් විසින්ම අත්පත් කරගත් අවාසනාවන්ත භාවයයි. මෙයින් පළමුවෙනි තත්ත්වයට හේතුභූත වී තිබෙන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ගොඩනඟා තිබෙන ඔළු දෙකේ බූරුවෙක් වැනි ජනාධිපති විධායක ආණ්ඩු ක්‍රමයයි. දෙවන තත්ත්වයට බලපා තිබෙන්නේ ඔළු දෙකක් සහිත බූරු ආණ්ඩුව ඉදිරියට දක්කා ගෙනයාමේ වගකීම බාරගෙන බලයට පත් වූ යහපාලන ආණ්ඩුකරුවන් එම කාර්යය නිසි ලෙස කිරීම පිළිබඳව දක්වා තිබෙන අසමත් භාවයයි.

1978 සංස්ථාපනය කළ දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති විධායක ක්‍රමය හඳුන්වා දීමට පෙර මෙරට තිබුණේ කැබිනට් විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ය. එම විධායකය ගොඩනැඟී තිබුණේ අගමැතිවරයකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් ය. කැබිනට් විධායකය සාමාජිකයින් සමූහයකින් සමන්විත වූවද අගමැතිවරයාගේ නායකත්වය නායකත්ව ආධිපත්‍ය බලය එම ආණ්ඩු ක්‍රමය තුළ කැපී පෙනෙන ලක්ෂණය විය. කැබිනට් ආණ්ඩු ක්‍රමය අගමැතිවරයාගේ ආණ්ඩු ක්‍රමය ලෙස හඳුන්වන්නේද එබැවිනි.

කැබිනට් ආණ්ඩු ක්‍රමය බොහෝවිට ගොඩ නැඟෙන්නේ තනි පක්ෂයකින් බැවින් අගමැතිගේ නායකත්ව ආධිපතිත්වය එම ආණ්ඩු ක්‍රමය තුළ පවත්වා ගෙනයාම අපහසු දෙයක් වන්නේද නැත. සභාග ආණ්ඩු ගොඩනැගුණද සභාගයට සම්බන්ධ පක්ෂ කුඩා සහ දුර්වල ඒවා වන්නේ නම් එහිදී ද අගමැතිවරයාගේ නායකත්ව ආධිපතිත්ව බලය පවත්වා ගෙනයාම එතරම් ප්‍රශ්නයක් වන්නේ නැත. 1948 සිට 1978 දක්වා මෙරට පැවති ආණ්ඩු ක්‍රමවල ක්‍රියාකාරිත්වයෙන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයයි.

මෙම තත්ත්වය පරිපූර්ණ වෙනසකට භාජනය වන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1978 දී ද්විත්ව විධායකයක් සහිත ජනාධිපති ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව ය. මෙම ආණ්ඩු ක්‍රමයේ මූලික ලක්ෂණය වන්නේ විධායකයේ එක් කොටසක් වන ජනාධිපතිවරයා කෙළින්ම ජනතාවගේ ඡන්දයෙන් වසර පහක කාලයක් (19 වන ව්‍යවස්ථා සංශෝධනයට පසුව) සඳහා තෝරාපත් කර ගැනීමත් විධායකයේ දෙවන කොටස වන අගමැතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් තෝරා පත්කර ගැනීමත් ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි. මුළු සාමාජිකයින්ගෙන් 2/3 ක බහුතර අනුමැතියෙන් සම්මත කරන යෝජනාවක් මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස වසර හතර හමාරක් යනතෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැත. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. එනම් ජනාධිපතිවරයා සහ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය නිලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඉතාම දැඩි ස්ථාවරභාවයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින්ම සපයා තිබෙන බවය.

මෙම ඔළු දෙකේ බූරුවාගේ ආණ්ඩුව ඉදිරියට ඇදගෙන යාම යම් ප්‍රමාණයකට හෝ සාර්ථකව කළ හැක්කේ බූරුවාගේ ඔළු දෙකම පාලනය කිරීම එකම දේශපාලන පක්ෂයක අයට අයත් වන්නේ නම් පමණි. නමුත් මෙයට පරස්පරව ඔළු දෙක පාලනය අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකකට අයත් වුවහොත් ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වය කෙසේවේද යන්න ගැන එම ආණ්ඩු ක්‍රමය නිර්මාණය කළ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කිසිඳු විටක කල්පනා කළ බවක් දැකිය නොහැක.

මෙම අර්බුදය ප්‍රථම වරට උද්ගත වූයේ 2002 වසරේදී ය. නමුත් එම අවස්ථාවේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මඟින් එම ප්‍රශ්නය විසඳා ගත්තේ ය. නමුත් අද එවැනි බලයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැත. හේතුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් එම බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමය. මේ හේතුවෙන් අද බූරුවා දක්කන්නේ එක හා සමාන බලයක් සහිත අසරුවන් දෙදෙනෙක් විසිනි. මෙවැනි තත්ත්වයක් තුළ බූරුවා ඉදිරියට මෙහෙයවන්නේ කෙසේද යන්න ගැන අසරුවන් දෙදෙනා අතර පොදු අභිමතයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. නමුත් යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් මෙවැනි පොදු අභිමතයක් මේ දක්වාම ඇති වී තිබෙන බවක් දැකිය නොහැක.

 පාලනය කිරීමේ තනි අයිතියක් නොමැති විට සහ බූරුවා දක්කන්නේ කුමන දිශාවකට යන්න ගැන අසරුවන් දෙදෙනා අතර පොදු අභිමතයක් නොමැති විටක ඒ ඒ අසරුවාට අවශ්‍ය ආකාරයට බූරුවා හැසිරවීමට උත්සාහ ගැනීම අරුමයක් නොවේ. මෙයින් සිදු වන්නේ බූරුවා කිසිම පැත්තකට නොගොස් එක තැන රැඳී සිටින තත්ත්වයකට පත් වීමය. අද යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් දැකිය හැකි සැබෑ තත්ත්වය ද ආණ්ඩුවේ අවාසනාවට බලපා ඇති මූලිකම හේතුව ද මෙයයි. මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුත්තේ ඔළු දෙකක් සහිත බූරු ආණ්ඩුවක් ඇතිවීමට පදනම සැපයූ 1978 ව්‍යවස්ථාව සම්පාදනය කළ පුද්ගලයින් ය.

මෙයට ඉහතින්ද දැක්වූ පරිදි ආණ්ඩුව ඔළු දෙකේ බූරුවෙක් නම් සහ ඔළු දෙක පාලනය පාලනය කිරීම එකිනෙකට වෙනස් දේශපාලන පක්ෂ දෙකකට අයත් වී තිබේ නම් ඇතිවන අර්බුදකාරී තත්ත්වය සමහන් කර ගනිමින් ආණ්ඩුව ඉදිරියට ඇදගෙන යාමට ආණ්ඩුව විසින් කළ යුත්තේ කුමක්ද සහ නොකළ යුත්තේ කුමක්ද පිළිබඳව ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව අතර සාමුහික වැඩපිළිවෙළක් තිබීම අත්‍යවශය වේ. එමෙන්ම එය ආරක්ෂා කරගෙන යාමට පාර්ශ්ව අතර දැඩි බැඳීමක් හා කැපවීමක් තිබිය යුතු වේ.

නමුත් යහපාලන ආණ්ඩුවේ ලොකුම අවාසනාව වන්නේ පිහිටුවා වසර දෙකහමාරක් ගත වී තිබුණද එවැනි පොදු වැඩපිළිවෙළක් ඇතිකර ගැනීමට නොහැකි වීමය. ඒ ගැන උනන්දුවක්ද නොමැති වීමය. මෙහි ප්‍රතිඵලය මැති ඇමතිවරුන් තම තමන්ට හිතෙන ආකාරයට තමන්ගේ පණ්ඩිතකම අනුව වැඩ කරන්නට යාමය. මෙවැනි තත්ත්වයක් තුළ කිසිම වැඩක් හරියට නොකෙරෙනවා පමණක් නොව කරන වැඩ අවුල් සහගත වීමද අරුමයක් නොවේ. යහපාලන ආණ්ඩුව තමන් විසින්ම අයත් කරගෙන ඇති මෙම අවාසනාවන්ත තත්ත්වයට අද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ආණ්ඩුව කරවන මැති ඇමතිවරුන්ට නොව අහිංසක මහජනතාවට ය.

තනි ඔළුවක් සහිත බූරුවෙක් වූවද ඔළු දෙකේ බූරුවෙක් වූවද ඕනෑම ආණ්ඩුවක් ශතකිත්මත් පදනමක් මත කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට නම් ක්‍රියාත්මක විය යුත්තේ දැඩි දේශපාලන විනයකට සහ දේශපාලන සදාචාරයකට යටත්ව ය. මේ පිළිබඳව ඉතාම කෙටියෙන් කිව හැක්කේ නිදහසින් පසු මෙරට බිහි වූ ආණ්ඩු අතුරෙන් විනය සහ සදාවාරය ඇත්තේම නැති ආණ්ඩුව මෙම ආණ්ඩුව වන බවය. ඇමැතිවරු කිසිඳු ලජ්ජා බියකින් තොරව හැසිරෙන ආකාරය, එකිනෙකා විවේචනය කර ගන්නා ආකාරය සහ සාමූහික වගකීම කඩකරමින් හැසිරෙන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ මොන්ටිසෝරි පන්තියක ළමයින්ගේ හැසිරීම ඊට වඩා ගොඩක් ඉහළ මට්ටමක පවතින බවය. යහපාලන ආණ්ඩුව මෙතරම් අවාසනා වීමට බලපා තිබෙන එක් හේතුවක් වන්නේ මෙයයි.

අවසාන වශයෙන් කිව යුත්තේ යහපාලන ආණ්ඩුවේ අවාසනාවන්තකම හේතුවෙන් මුලූ රටම අවාසනාවන්ත තත්ත්වයකට පත්ව තිබෙන බවය. ජනතාව තව කොපමණ කාලයක් මේ අවාසනාවන්ත තත්ත්වය දරා සිටීද යන්න පිළිබඳ ආණ්ඩුකරුවන් අනෙක් සෑම කරුණකටම වඩා අවධානය යොමුකළ යුතුය.

නව අදහස දක්වන්න