චුදිතයෝ අහිංසකද? | දිනමිණ

චුදිතයෝ අහිංසකද?

 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ යැයි ප්‍රබල විරෝධතාවක් පවතී. මෙය කෙතරම් සංකීර්ණ තත්ත්වයක පවතින්නේද යත්; එක අතෙකින් ආණ්ඩුවේ ඇමැතිවරු වි‍රෝධතාවේ පෙරමුණ ගෙන සිටිති. තව අතෙකින් අධිකරණ ඇමැතිට ද චෝදනා එල්ල කරති. තවත් අතෙකින් පුරවැසි සංවිධාන ඒකාබද්ධ විරෝධතාවක යෙදෙමින් ගිය ආණ්ඩුවේ හොරු අල්ලනු යනුවෙන් රජයට බලපෑම් කරති. මෙයින් කරුණු දෙකක් පැහැදිලි ‍වෙයි. එක, දූෂිත පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන තුරු ජනතාව බලා සිටින බව ය. දෙක; මේ නීතිමය කටයුත්තෙන් ලිස්සා යෑමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට නැති බව ය.

තත්ත්වය තවදුරටත් විග්‍රහ කරන්නේ නම්; ගියවර කැබිනට් රැස්වීම ඉහත කාරණය මුල්කරගෙන උණුසුම් විය. ඇමැතිවරු ගණනාවක් රජයට චෝදනා කළ හ. ඒ ජනාධිපතිවරයා ඉදිරිපිට ය. අධිකරණ අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටින්නෙ අධිකරණයට හා පොලිස් දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම සුදුසු නැති බවය. එය ඇත්තක් වුව, බැඳුම්කර සිද්ධියේදී ඉහත ආයතන දැක් වූ කාර්යක්ෂමතාව ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීම සඳහා ‍යොදාගෙන නැත. එහි යටි අර්ථය වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හොරුන් ආරක්ෂා කිරීමට යම් වැඩපිළිවෙළක් ඇති බවය. පැමිණිලි අසූ ගණනක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී ඇත්තේ ඒ නිසා යැයි සමහරු පෙන්වා දෙති.

තත්ත්වය ‍මෙසේ පවතින විට රහස් පොලිසිය ක්‍රියාත්මක වී ඇත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ද ක්‍රියාත්මක වී ඇත. තාජුදීන් නඩුවට අදාළව ශිරන්ති මහත්මියට සාක්ෂිදීමට සිදුවිය. පැය ගණනාවක් ප්‍රශ්න කර තිබිණි. එම නඩුවට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත ව තිබිණි. මීට පෙර විවිධ හේතු දක්වමින් චුදිතයෝ පොලිසිය මහහැර සිටියහ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය රෝහිත රාජපක්ෂ මහතා කැඳවා සාක්ෂි ලබාගත්තේය.ඒ රුපියල් කෝටි ගණනක වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ය . බලාගෙන යන විට මහින්ද රාජපක්ෂ පවුලට එරෙහිව ද එම ඥාතීන්ට එ‍රෙහිව ද බරපතළ චෝදනා තිබේ. මේවා සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගත නො හැක්කේ මන්ද?

ප්‍රකට රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුදීන් මහතාගේ ඝාතනය ආන්දෝලනාත්මක සිද්ධියකි. මේ සම්බන්ධ පරීක්ෂණ වරින් වර යට ගියේ ය. වරෙක ඊට අදාළ ලිපිගොනු හා වෙනත් සාක්ෂි අතුරුදන් විය. තව වරෙක තාජුදීන් මහතාගේ දේහයේ අස්ථි කොටස සහිත පාර්සල් අතුරුදන් විය . ‍මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු සයිටම් රෝහලේ තිබී තාජුදීන් මහතාගේ අස්ථි කොටස් සොයා ගැනිණි. දැන් කළ යුත්තේ සාක්ෂි සටහන ලබාගෙන සිද්ධියට අදාළ නඩු විභාගය ඉක්මන් කිරීම ය. මේවාට බාධා කිරීම වැරැදිය. ශිරන්ති මහත්මිය හා රෝහිත රාජපක්ෂ මහතා සාක්ෂි දීමට පැමිණෙද්දී කළු රෙදි පටි බැඳගෙන විරෝධතාවක නිරතවූ පිරිසක්ද උන්හ. එය නීතියට කරන බලපෑමක් සේ සැලැකිය හැකි ය.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ “සිරිලිය සවිය” ව්‍යාපෘතියට රතු කුරුස සංවිධානය විසින් ඩිෆෙන්ඩර් වර්ගයට අයත් ජීප් රථයක් ලබා දී තිබේ. පසුව මේ ජීප් රථය යෝෂිත රාජපක්ෂ මහතා පාවිච්චි කර ඇති බව ද, ඉහත ඝාතනයේ සැකකරුවන් පාවිච්චි කර ඇති බවද පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇත. සිද්ධියෙන් පසු ජීප් රථයේ වර්ණය වරින් වර වෙනස් කර ඇත. මේ පිළිබඳ ප්‍රශ්න කොට ඇත්ත දැනගත යුතු ය. ඇය සිය ජීප් රථය පුත්‍රයාට ලබාදුන්නේ ඇයි? පුත්‍රයා මේ ජීප් රථය සැකකරුවන් වෙත ලබා දුන්නේ ඇයි? ජීප් රථයේ වර්ණය වරින් වර වෙනස් කිරීමට හේතුව කුමක් ද? මේවා ප්‍රශ්න කළ යුතුය. සැකකරුවන් ‍පොලිසිය මඟහරින්නේ ඇයි? එය ද වැදගත් කාරණයෙකි.

රෝහිත රාජපක්ෂ මහතාගේ සිද්ධිය ගත් විට ඔහුට ‍මේ තරම් මුදලක් ලැබුණේ කෙසේ ද? “සුප්‍රීම් සැට්” නම් ව්‍යාපාරික ආයතනය සමඟ රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වූයේ කෙසේද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හා ඥාතීන්ටද පිටරට මූල්‍ය සමාගම්වල මහා ධනස්කන්ධයක් ඇතැ’යි සමහරු චෝදනා කරති. එම ‍චෝදනා නිකම් ම මඩ ප්‍රහාර නො වන බව “සුප්‍රීම් සැට්” සිද්ධියෙන් ද පෙනී යයි. කෙසේ වුව මෙලෙස අවභාවිත වී ඇත්තේ රටේ ජනතාව සතුවිය යුතු මුදල් බවද පිළිගත යුතු ය. ‍රෝහිත රාජපක්ෂ මහතා චන්ද්‍රිකාවක් සමඟ සෙල්ලම් කළේ ද පෞද්ගලික ධනයෙන් නො වේ.

බැඳුම්කර සිද්ධියේ දී එහි උපරිම ආස්වාදය විඳගත්තේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියන්නට පුළුවන. සමහරුන් මේ තත්ත්වය විග්‍රහ කළේ හොරුන්, තව හොරුන්ට ඇඟිල්ල දිගු කරනවා යනුවෙන් ය . සාමාන්‍ය ජනතාවගේ විවේචනයට අනුව මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් සංවර්ධන ණය මුදල්වලින් තුනෙන් එකක් පමණම එදා බලධාරීන්ගේ සාක්කුවලට ගොස් තිබේ. බැසිල් රාජපක්ෂ මහතාට මේ සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇත. එදා පාරක් විවෘත වූ කල වියදම මෙච්චරයි! කොමිස් මෙච්චරයි! යනුවෙන් ජනතාව කැලෑපත්තර ගැසූහ. මේවා හැඳින්විය හැක්කේ බලය පාවිච්චි කොට මහ දවල් මංකොල්ලකෑමක් හැටියට ය. සත්‍යය ලෙස ම මෙබඳු අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම බරපතළ වැරැද්දකි.

ගිය ආණ්ඩුවේ දූෂණ හා වංචාවලට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කෙතරම් තදබල විරෝධයක් පවතින්නේ ද යත්; අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් යෝජනා වී තිබිණි. එය ඉදිරිපත් කරන්නේද? නැතිද? යන්න වෙන ම ප්‍රශ්නයකි. එ‍හෙත් ඉන් පෙනී යන්නේ ආණ්ඩුව ඇතුළෙන් ම මීට එරෙහි පෙළ ගැස්මක් ඉදිරියට එන බව ය. හිර ගෙදරදී සිරකරුවන් ඝාතනය කිරීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ද ගිය ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇත. මේ සිද්ධියට අදාළ හෙළිදරව්වලින් පැහැදිලි වන්නේ ඝාතනය කළ යුතු සිරකරුවන්ගේ නම් ලැයිස්තුවක් ආරක්ෂක අංශ වෙතට ලබාදී තිබූ බව ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයත් මූලික මිනිස් අයිතියත් අමු - අමුවේ උල්ලංඝනය කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. එහෙත් මිනීමරුවන් නීතිය හමුවට ගෙන ආවේ නැත .

නීතිය ඇත්තේ කොහි ද? යුක්තිය ඉටුකරගත හැක්කේ කුමන ආයතනයෙන් ද යන ගැටලුව දැන් පවතී. කුමක් වුව හදිසියෙන් හෝ රහස් පොලිසිය යළි ක්‍රියාත්මක වීම ගැන ද මූල්‍ය අපරාධ විමර්ශන ‍කොට්ඨාසය මේ සම්බන්ධයෙන් සක්‍රීය වීම ගැන ද සතුටු විය හැකි ය. වරදකරුවන් කවුරුන්දැ’යි අප හරියටම දනනේ නැත. එහෙත් බරපතළ අපරාධ ගොන්නක් සිදු වී ඇත. මේ අපරාධ ගැන පරීක්ෂණ හා නඩු විභාග කඩිනම් විය යුතුය. යුක්තිය ඉටුවන බව පෙනෙන්නේ එවිට ය . 

නව අදහස දක්වන්න