සිල්ලර පොත් වෙළෙඳාමේ පලා බෙදිල්ල | දිනමිණ

සිල්ලර පොත් වෙළෙඳාමේ පලා බෙදිල්ල

 කවි, කෙටිකතා සහ තිර රචනා පොත් ප්‍රකාශයට පත් කිරීමට බාර ගැනීමට ප්‍රකාශකයෝ අකමැත්තක් දක්වති. වි‍ශේෂයෙන් කවි පොත් ඔවුන්ට වහ කදුරු මෙනි. රට පුරා විසිර ඇති සිල්ලර පොත් වෙළෙඳ සැල්වලට කවි කෙටිකතා සහ තිර රචනා පොත් රැගෙන ගියද ඒවා බාර ගැනීමට සිල්ලර පොත් වෙළෙන්දන් කැමැත්තක් නොදක්වන බව ප්‍රකාශකයෝ නිදහසට කරුණක් ලෙස පවසති. සිල්ලර වෙළෙන්දෝ එම පොත් මුද්‍රණයට හෝ ප්‍රචාරණයට කිසිදු වැය කිරීමක් නොදරති. එම පොත් තබාගෙන විකුණුවහොත් සියයට හතළිහක කොමිස් මුදලක්ද ලබාගත හැකිය. ප්‍රකාශකයන් විසින් ප්‍රවාහන වියදම් දරාගෙන තම වෙළෙඳ සැල වෙත ගෙනවිත් දෙනු ලබන පොත් තබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? සිල්ලර පොත් වෙළෙන්දන් තම වෙළෙඳ සැලේ පොත් රාක්කයක කවි කෙටිකතා සහ තිර රචනා පොත් ප්‍රදර්ශනයට තැබීමටවත් මැලි වන්නේ ඇයි?

සෑම සති අන්ත සිංහල පුවත්පතකම පාහේ කවි පිටුවක් පළ‍ වෙයි. සතියේ දිනවල සාහිත්‍යය වෙනුවෙන් අතිරේකයක් පළ වන දිනවල කවියට ද ඉඩ සලසා ඇත. දිවයින පුරා කවි කිවිඳියෝ විශාල පිරිසක් විසිර සිටිති. කෙටිකතා සම්බන්ධයෙන් ගත් කළ සෑම සති අන්ත පුවත්පතකම පාහේ ස්වතන්ත්‍ර හෝ පරිවර්තන කෙටි කතාවක් පළ කිරීමේ සිරිතක් විය. එහෙත් මෑතක සිට එහි වෙනසක් සිදු වී ඇත. සාහිත්‍ය නිර්මාණ වෙනුවට දේශපාලනඥයන්ගේ වැදගැම්මකට නැති ප්‍රලාපවලට පුවත්පත්වල වැඩි ඉඩකඩක් වෙන්වන බව පෙනී යයි. එනිසා කෙටිකතා කොටස් වශයෙන් පළ වන නවකතා ආදිය සහ වෙනත් ශාස්ත්‍රිය ලිපි පළ කිරීම නැවතී ඇත.

සාහිත්‍ය සම්මන්ත්‍රණවලට සහභාගි වන පාසල් දරුවන්ගෙන් සහ වැඩිහිටි පාඨකයන්ගෙන් විමසා බැලූ විට ඔවුන් කවි සහ කෙටිකතා පොත් මිලට ගැනීමට කැමැත්තක් දක්වන බව පෙනේ. එහෙත් ඔවුනට ඒවා ලබා ගැනීමට ක්‍රමයක් නැත. අගනුවරින් බැහැර පළාත්වල ඇති සිල්ලර පොත් සාප්පුවල කවි, කෙටිකතා හෝ තිර රචනා කෘති නොමැති බව ඔවුහු පවසති. එවැනි පොත් මිලට ගැනීමට පමණක් ප්‍රධාන නගර වෙත පැමිණීමට ඔවුනට හැකියාවක්ද නැත.

පිට පළාත්වල ඇති සිල්ලර පොත් වෙළෙඳ සැල්වල තත්ත්වය කෙබඳු වේද? ඔවුහු තම පොත් සාප්පුවලට ලබා ගන්නේ පහසුවෙන් අලෙවි කළ හැකි නිශ්චිත පාඨක පිරිසක් සිටින විභාග ඉලක්ක කර ලියැවුන පොත් පමණකි. එම පොත්වල ගුණාත්මකභාවය පිළිබඳ ඔවුන්ගේ කිසිදු හැඟීමක් නැත. අපොස උසස් පෙළ පන්තිවල ළමයින් විසින් ලියන ලද උපකාරක පොත් පවා මහත් අභිරුචියෙන් මෙම සිල්ලර වෙළෙඳ සැල්වල තබා ගනිති. ඒවා කියවා බලා මිලට ගැනීමට පාඨකයන්ට අවස්ථාවක්ද නැත. සිල්ලර වෙළෙන්ඳාගේ නිර්දේශය මත මෙම උපකාරක පොත් මිලට ගැනීමට පාඨකයාට සිදුව ඇතත් ඉක්මනින් මුදල් ඉපයීමේ කෙටි මගක් සොයාගෙන ඇති සිල්ලර පොත් වෙළෙන්දෝ තමන්ගේ සමාජයමය වගකීම අමතක කරති. උපකාරක පොත් ලෙස සිල්ලර වෙළෙඳුන් විකුණන බොහෝ පොත්වල අඩංගු වන කරුණු දුර්වලතා සහිතය. සමහර පොත්වල වැරැදි තොරතුරු පවා අඩංගු වෙයි. ඒවා පරිහරනය කරන දරුවෝ අසරණ වෙති. තම පොත්හලට පැමිණෙන පාඨකයන්ට පමණක් පොත් විකිණීමට ඔවුහු පෙළඹී සිටිති. පොත්හලෙන් පිටතට ගොස් වෙළෙඳාමක් සිදු නොකරති.

20 වැනි සියවසේ තෙවන දශකය වන විට සිව්පද කවිය පිළිබඳ දැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්ට තිබේ. කාලීන සිදුවීම් අළලා ප්‍රබන්ධ කෙරුණ කවි කොළ එම කාලයේ ජනප්‍රිය අංගයක් විය. එපමණක් නොව කුඩා කවි පොත් ද විශාල වශයෙන් පළ වන්නට විය. මෙම කවි පොත් සහ කවි කොළ පොත් සාප්පුවල තබා අලෙවි කළ බවට තොරතුරු දක්නට නැත. එහෙත් මෙම කුඩා කවි පොත් සහ කවි කොළ රැගෙන ගම්බද පොළට පැමිණෙන කවි කොළ කාරයන් ගැන වාර්තා වී ඇත. කුඩා කවි පොත් සහ කවි කොළ මිටියක් එක් අතකින් එල්ලගෙන කුඩයකුත් කිහිලි ගන්නා ගෙන සති පොළවලට පැමිණෙන කවි කොළකාරයා පොළේ තැනක කුඩය දිග ඇර ඒ යට කඩදාසියක් එළා ඒ මත කවි පොත් සහ කවි කොළ තබා එක් කවි කොළයක් අතින් ගෙන කනේ ඇඟිල්ලක් ගසාගෙන හඬ නගා කවි කියවන්නට පටන් ගනී. මෙම කවි කොළයේ අන්තර්ගත වන්නේ කාලීන සිදුවීමකි. පොළට පැමිණෙන මිනිස්සු මෙම කවි කොළකාරයා වටා රොක් වී ඔහුට සවන් දෙති. කවි කොළයක් සත පහක් වැනි මිලකටත් පිටු අටකින් හෝ දහයකින් සමන්විත කුඩා කවි පොතක් සත විසිපහ සත පනහ වැනි මිලකටත් අලෙවි කෙරේ. ඒ අවදියේ පිටු 12ක පුවත්පතක මිල ශත 15 ක් පමණ වූ බැව් සිහියට ගැනීම වැදගත් වේ. මෙම කවි පොත් සහ කවි කොළ අලෙවියෙන් කවි කොළකාරයා සැලකිය යුතු ආදායමක් උපයා ගන්නා බව මෙයින් පෙනී යයි. මෙහිදී වර්තමානයටත් වැදගත් වන කාරණයක් හෙළිදරව් වෙයි. කවි පොත් සොයාගෙන පාඨකයෝ පොත් සාප්පුවලට නොපැමි‍ණෙති. එහෙත් ඔවුන් ළඟටම රැගෙන එනවා නම් ඒවා මිලට ගැනීමට මැලි නොවෙතිය යන්න එම කාරණයයි. අනෙක් ප්‍රබන්ධ සාහිත්‍ය කෘති සම්බන්ධයෙන්ද මෙම කාරණය අදාළ වේ.

මෙම වසරේ පැවැත්වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදීද මෙම කාරණය වඩාත් තහවුරු විය. එම පොත් ප්‍රදර්ශනයේ සංවිධානය කර තිබූ කවි පොත් අංශයේ විශාල කවි පොත් සංඛ්‍යාවක් අලෙවි වූ බව වාර්තා විය. එම සල්පිලේදී කවි පොතක් නියමිත මිලෙන් අඩකට එනම් සියයට පනහක වට්ටමක් ලබා දී අලෙවි කරනු ලැබීය. මෙහිදී අතරමැදියන් හරහා නොව කෙළින්ම පාරිභෝගිකයා වෙත අලෙවි කිරීම සිදුවූ බැවින් පාඨකයාට විශාල සෙතක් සැලසුණි. අතරමැදියාට සියයට හතළිහක වට්ටමක් දෙනු වෙනුවට කෙළින්ම පාරිභෝගිකයාට එම වාසිය ලබා දීමෙන් ප්‍රකාශයටද පාඩුවක් සිදු නොවේ. මන්දයත් පොතක මිල නියම කරනු ලබනුයේ නිෂ්පාදන වියදම තුනෙන් වැඩි කිරීමෙන් බැවිනි. කවි පොත් අලෙවි කළ නොහැකි බවට පැවති මිථ්‍යා මතයට අභියෝග කිරීමට මෙමඟින් හැකි විය.

මෑතක සිට බස් රථවලට ගෙනවිත් පොත් විකිණීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙයි. ප්‍රාථමික පාසල් දරුවන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත. වෛවර්ණයෙන් යුතු පොත් 6ක් පමණ රුපියල් සියයක් වැනි මුදලකට අලෙවි කිරීමට බස් රථවලට නගින වෙළෙන්දෝ සමත්ව සිටිති. “ඔවුන්ට අනුව එම පොත්, සාප්පුවෙන් මිලට ගැනීමට ගියහොත් පොත් හයටම රුපියල් තුන්සීයක් වැය වෙයි. (පොත් සාප්පුවල එම පොත් විකුණන්නට නොතිබීම වෙනම කාරණයකි.) එහෙත් රුපියල් සියයක් වැනි මුදලකට එම පොත් සැපයීමෙන් තමන් කරන්නේ සේවාවක් බව පෙන්වා දීමට ඔවුහු සමත්ව සිටිති. ගම්බද ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන් සහ දුර ගමන් සේවාවලට පැමිණෙන මගීහු ඔවුන් අඩු මිලට සපයනවා යැයි කියන මෙම පොත් මිලට ගනිති. ඒවායේ ගුණාත්මකභාවය ඔවුනට වැදගත් නොවේ. මෑතක සිට සුභාෂිතය, ලෝකෝපකාරය, සිරිත් මල්දම වැනි පොත්ද මේ ආකාරයට අලෙවි කෙරේ. එම පොත් පිටපත් විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කරන බැවින් එක් පිටපතකට වැය වන්නේ රුපියල් 10ක් පමණ මුදලකි. පොත් හයටම වැය වන්නේ රුපියල් හැටකි. එක් පොත් කට්ටලයකින් රුපියල් හතළිහක පමණ ලාභයක් ලබා ගත හැකිය. පොත් අයිති මුදලාලිට ගෙවීමෙන් පසු අලෙවි කරන අය සැලකිය යුතු මුදලක් ලබයි.

මෙම කාරණාවලින් පෙනී යන්නේ පොත් අලෙවි කිරීම සම්බන්ධයෙන් වන සාම්ප්‍රදායික ක්‍රමය තව දුරටත් වලංගු නොවන බවයි. අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය වලංගු වේ. තවමත් දුර බැහැර ප්‍රදේශවල පාරිභෝගිකයෝ තමන්ට එදිනෙදාට අවශ්‍ය කළමනා මිලට ගැනීමට සිල්ලර වෙළෙඳ සැල්වලට යති. තමන්ට අවශ්‍ය කරන භාණ්ඩය හෝ භාණ්ඩ ලැයිස්තුව වෙළෙඳ සැල් හිමියාට හෝ ඔහුගේ සේවකයාට දුන් විට එම තැනැත්තා තමන්ට රිසි භාණ්ඩ තෝරාගෙන පාරිභෝගිකයා අතට පත් කර මුදල් අය කර ගනී. එහෙත් සුපිරි වෙළෙඳ සැල්වල මෙම තත්ත්වය මුළුමනින්ම වෙනස් කර ඇත. එහිදී පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩය ඔහුටම තෝරාගත හැකිය. භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙන පාරිභෝගිකයා තමන් මිලට ගැනීමට අදහස් නොකළ භාණ්ඩයක් පවා සුපිරි වෙළෙඳ සැලේ දුටු විට මිලට ගනියි.

පොත් පත් අලෙවිය සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය වලංගු වේ. යුරෝපීය රටවල පොත් සාප්පු රාත්‍රි කාලයේදී බොහෝ වේලාවක් විවෘත කර තබන අතර ඒවාට පැමිණෙන පාරිභෝගිකයෝ ප්‍රදර්ශනයට තබා ඇති පොත් අතරින් තමන්ට අවශ්‍ය පොත් තෝරාගෙන එම ස්ථානයේදීම කියවා බලා මිලට ගනිති. පොත් කියවා බලා මිලට ගැනීම සඳහා එම පොත් සාප්පුවල පහසුකම්ද සලසා ඇත.

වර්තමානයේ අපේ රටේ ප්‍රධාන පොත් ප්‍රකාශකයෝද මෙම ක්‍රමය අනුගමනය කරති. මෙම ක්‍රමය නිසා තමන්ට අවශ්‍ය පොත් තෝරා ගැනීමට පාඨකයාට අවස්ථාව ලැබී ඇත. තමන් මිලට ගැනීමට අදහස් නොකළ පොතක් පවා මිලදී ගැනීමට පාරිභෝගිකයා පොළඹවන වාතාවරණයක් මෙම සුපිරි පොත් හල්වල දක්නට ඇත. පොත් පත් නිෂ්පාදනය සහ වෙළෙඳපළට අභියෝග රාශියකට මුහුණ දීමට වර්තමානයේ සිදුව ඇත. අන්තර්ජාලය, ටැබ් වැනි නවීන විද්‍යුත් මෙවලම් පොත් වෙළෙඳපළට අභියෝගයකි. පොත් වෙළෙඳාමට මෙතෙක් යොදාගත් උපක්‍රම නවීකරණය විය යුත්තේ එබැවිනි.

සිල්ලර වෙළෙඳුන් කළ යුත්තේ කවි කෙටිකතා සහ තිර රචනා පොත් තම වෙළෙඳ සැලේ තබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නොව වෙළෙඳ සැලේ රාක්කවල සිරකරගෙන සිටින සියලු පොත් පාරිභෝගිකයා ළඟටම ගෙන ගොස් අලෙවි කිරීමට කටයුතු කිරීමයි. වෙළෙඳ සැලට පැමිණෙන පාරිභෝගිකයා දෙස පමණක් බලා සිටීමෙන් ඔහුට ඉදිරියට යාමට හැකියාවක් නොලැබේ.

සියයට හතළිහේ කොමිස් මුදල මත යැපෙමින් ඉක්මනින් මුදල් ඉපයීම මුඛ්‍ය පරමාර්ථය කරගෙන සිටින සිල්ලර පොත් වෙළෙන්දෝ තමන්ගෙන් විශාල සමාජ මෙහෙවරක් සිදු වන බව නොදනිති. නොඑසේ නම් අමතක කර දමා ඇත.

පොත්පත් විකුණන සිල්ලර වෙළෙන්දෝ සියයට හතළිහේ කොමිස් මුදල පමණක් මත යැපී නොසිට තමන්ට ක්ෂණික ලාභ ගෙන දෙන පොත්වලට පමණක් සීමා නොවී නව වෙළෙඳ උපක්‍රම භාවිත නොකළහොත් ඔවුන්ට ඉදිරි පැවැත්මක් නොමැති බව කිව හැකි ය.

වර්තමාන පොත් වෙළෙඳ පොළ පාසල් නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙනත් පුස්තකාලවලට පොත් මිලට ගැනීමේ ව්‍යාපෘති මත රඳා පවතින බව පැහැදිලිය. පාඨකයන් පෞද්ගලික මට්ටමින් පොත් මිලට ගැනීම පහත වැටී ඇත. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර පෞද්ගලිකව පොත් මිලට ගැනීම ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද වැටී තිබිණ. පාඨකයන් පොත් මිලට ගැනීමට පෙළඹවීමේ කාර්යයේදී පිට පළාත්වල සිල්ලර පොත් වෙළෙඳුන්ට ඉටු කළ හැකි කාර්යභාරය ඉමහත්ය. පොත් වෙළෙඳාමේ අනාගතය සුරැකීමට නම් පාඨකයන්ව වැඩි වැඩියෙන් පොත් මිලට ගැනීමට දිරි ගන්වන වැඩ සටහන් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යය.

බොබී ජී බොතේජු 

අදහස් 1ක් ඇත

ethakota , lama parapura , poth soyanawalu, sahitthya karuwan poth soyanawalu, lekakayan poth kiyawanna hoyanawalu, poth sappu karayin poth epa kiyanawanam, pothwala awassya thawayak thiyenawa neda , poth wikinimata path sappu mudalalita neda job eka gahala yanne, mata therenne naha, kunu harupa poth tikak liyanna kiyalada kiyanne, balamu liyala,,,, ottuyi gannawa,,,,

නව අදහස දක්වන්න