බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරයෙන් 13 දෙනෙක් මරුට | දිනමිණ

බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරයෙන් 13 දෙනෙක් මරුට

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පිරිසක් අතරට වෑන් රියක් ධාවනය කරවීමෙන් 13 දෙනෙකුවත් මරුමුවට පත්ව තවත් 80 දෙනෙකුවත් තුවාල ලබා ඇති බව බලධාරීන් පවසන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

තුවාල ලැබූවන් අතරින් දස දෙනෙකුගේ තත්වය බරපතල බව ද විශ්වාස කෙරේ.

බාසිලෝනාහි ලස් රම්බ්ලස් (Las Ramblas) නම්වූ සංචාරක ප්‍රදේශයකදී වෑන් රථය අධික වේගයෙන් පදිකයන් දෙසට ධාවනය කිරීමත් සමග පිරිසක් රථයට යට වූ අතර, අනෙක් විශාල පිරිසක් ආරක්ෂාව පිණිස අසල ඇති සාප්පු මෙන්ම බොජුන්හල් වෙත දිව ගියහ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසින් සලකන බව ස්පාඤ්ඤ පොලිසිය පවසයි.

ප්‍රහාරයට සම්බන්ධ බව සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ප්‍රදේශයේ උමං දුම්රිය ධාවනය අත්හිටුවන ලෙසත් දුම්රියපොළ වසා දමන ලෙසත් හදිසි සේවා ඉල්ලීම් කර ඇති බව රොයිටර් පුවත් සේවය පැවසීය.

El Pais පුවත්පත පවසන පරිදි පිරිස් වෙත රිය ධාවනය කළ පුද්ගලයා පසුව පාගමනින් පළාගොස් තිබේ.

සංචාරකයන් අතර ජනප්‍රියතම යුරෝපා නගරයකට මේ ප්‍රහාරය එල්ල වූයේ ග්‍රීෂ්ම සෘතුවේ පාසල් නිවාඩු සමයේ නගරය සංචාරකයන්ගෙන් පිරිතිරී තිබියදීය.

පසුගිය වසරේ ජුලි මාසයේ සිට යුරෝපයේ නගර ගණනාවක මහජනතාව වෙතට රථ පදවාගෙන විත් ප්‍රහාර එල්ල කර තිබේ.

“පිරිස් වෙතට වෑන් රියක් කඩාවදින ආකාරය මගේ කාර්යාලයේ අය දුටුවා.”
“තුන් හතර දෙනෙක් බිම වැටිලා ඉන්නවා මා දැක්කා” යැයි අදාළ ප්‍රදේශයේ සේවයේ නිරත ස්ටීවන් ටර්නර් සඳහන් කළේය.

“එකපාරට මහා පිපිරෙන සද්දයක් ඇහුනා. මුළු පාරේම හිටපු මිනිස්සු කෑගහන්න පටන් ගත්ත. ඒ එක්කම හැමෝම දුවන්න පටන් ගත්ත. මමත් මිනිස්සු දුවන පැත්තට දුවන්න පටන් ගත්ත. පවුල් පිටින් මිනිස්සු කෑගහන්න ගත්ත. තත්පර ගානකින් පොලිසිය එතෙන්ට ආව,” යැයි සිද්ධිය ඇසින් දුටු තවත් අයෙක් බීබීසී ය වෙත පැවසීය.

නව අදහස දක්වන්න