උමා ඔය ආපදාවට ලක්වූ වන්ට නිවාස කුලී දීමනාවක් | දිනමිණ

උමා ඔය ආපදාවට ලක්වූ වන්ට නිවාස කුලී දීමනාවක්

බුද්ධිකා ඉඹුලාන සහ සිතාරා සේනානි

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක්වූ නිවාස හිමියන් වෙත රජයේ තක්සේරුකරුගේ නිර්දේශය අනුව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා නිවාස කුලී දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ(30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති, කැබිනට් සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.

ආපදා වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ පරිදි, විපතට පවුල් සඳහා තවදුරටත් සහන සැලසීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

බලපෑමට ලක් වු නිවාසවල පදිංචියෙන් දැනට ඉවත් කරනු ලැබ ඇති පවුල් සඳහා, එම පවුල් විකල්ප ඉඩම්වල නැවත පදිංචි කරවනු ලබන තෙක්, මාස 6ක උපරිම කාලසීමාවකට යටත්ව, රජයේ තක්සේරුකරුගේ නිර්දේශ මත මෙම ගෙවීම සිදු කරනු ලැබූ අතර විපතට පත් වු පවුල් සඳහා දැනට ලබා දෙන වියළි සලාක තවත් මාස 6ක කාලයක් සඳහා ලබා දීමට ඒ අනුව අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක්වූ බවට නිර්දේශ වන සියලුම පවුල් සදහා ‍මෙම සහන සැලසෙන බවද ඇමැතිවරයා කීය. 

නව අදහස දක්වන්න