ශ්‍රීලනිප සංවත්සරය බලවේග රැසක් එකතු කර ශක්තිමත්ව පැවැත්වූවා | දිනමිණ

ශ්‍රීලනිප සංවත්සරය බලවේග රැසක් එකතු කර ශක්තිමත්ව පැවැත්වූවා

සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය ඉතිහාසයේ කිසිදු පක්ෂයකට සැමරිය නොහැකි වූ පරිදි සියලු ජන කණ්ඩායම් එක්ව සාර්ථකව පැවැත්වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිපය නියෝජනය කරන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යනාදි පංච බලවේගයන්ට අමතරව ධීවර හා රණවිරු බලවේගයන් මේ සංවත්සර වේදිකාවට එක් වූ බවත් මෙරට ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නිරන්තරයෙන්ම ශ්‍රීලනිපය කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (07) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. පසුගිය ඉරිදා (03) පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වුණා. එයට සහභාගි වූ සියලු දෙනාට ශ්‍රීලනිපයේ හා එජනිසයේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මෙවර සංවත්සරය සාර්ථක කර ගැනීමට පක්ෂය සැලසුම් කළ ආකාරයෙන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් කර ගන්නට හැකි වුණා. සංවත්සරයට පෙර පැවැති මාධ්‍ය හමුවල දී කී ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව කිසියම් පක්ෂයක් සංවත්සරයක් පැවැත්වූවාට වැඩිය සාර්ථක සංවත්සරයක් පැවැත්වීමට 66 වැනි ශ්‍රීලනිප සංවත්සරයට හැකි වුණා. මේ මතය අනෙකුත් පක්ෂ පවා අනුමත කරනවා. මේ සංවත්සරයේ ස්ථානය තීන්දු කිරීමේදි එක් කණ්ඩායමක් කීවා මෙය ගාලු මුවදොර තියමු කියලා. මමත් එයට එකඟ වුණා.

ජනාධිපතිවරයාගේ මතය වුණේ තරගයට අපි මේවා කරන්න ඕන නැහැ, අපේ සෙනඟ පෙන්වීමටත් වැඩිය අවශ්‍ය වන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ පක්ෂයක් මෙන්ම ජනතාවගේ පක්ෂය ලෙස පෙන්වන ආකාරයට පැවැත්වීමටයි. ඒ නිසා කැම්බල් පිටියේ ගනිමු යැයි එතුමා කී මතයට අපිත් එකඟ වුණා. මේ සෙනඟ ගාලු මුවදොරට ගෙනාවා නම් එවැනි පිටි දෙකක් පුරවන සෙනඟක් පැමිණියා. කැම්බල් පිටිය පමණක් නොව අවට ප්‍රදේශයම ජන ගඟක් බවට පත් වුණා. සංවත්සරයට පෙළපාළි අවශ්‍ය නැහැ කීවා. නමුත් බස් නතර කිරීමට සිදු වුණේ කිලෝමීටර් ගණනාවක් එහායින්. ඒ අනුව ජනතාව කිලෝමීටර් ගණනාවක් එන විට නිකම්ම ඒවා පෙළපාළි බවට පත් වුණා.

සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වුණේ සවස තුනෙන් පසුව රැස්වීමට පැවැත්වීමට සිදු වේ කියලා. නමුත් දෙක වෙනකොටම කැම්බල් පිටියේ සෙනඟ පිරුණා. සියලු ජන කොටස්වල නියෝජිතයන් මේ සංවත්සරයට සහභාගි වුණා. බහුතර සිංහල ජනතාවත් සමඟ උතුරේ, කඳුකරේ දෙමළ ජනතාවත්, විවිධ ප්‍රදේශවල සිටි මුස්ලිම් ජනතාව ඇතුළු සියලු ජන කොටස් මේ සඳහා සහභාගි වුණා. ශ්‍රීලනිපයට ඉතිහාසයේ කිසි දිනක මෙවැනි සංවත්සරයක් පැවැත්වීමට හැකි වුණේ නැහැ.

ශ්‍රීලනිපයේ තරුණ, කාන්තා, වැඩිහිටි සියලු දෙනාම මෙහි දී නියෝජනය වුණා. ශ්‍රීලනිපයේ භික්ෂු සංවිධාන, ගුරු සංවිධාන, විද්වත් සංවිධාන, ගොවි සංවිධාන සියල්ලම සහභාගි කර ගත හැකි වුණා. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ සග, වෙද, ගුරු ගොවි කම්කරු පංච බලවේගයට අමතරව ධීවර බලවේගයත්, රණවිරු බලවේගයත් ශ්‍රීලනිපය වටා එක්ව සිටින බව පැහැදිලිව කිව හැකියි.

සාමාන්‍යයෙන් මෙවැනි සංවත්සර පවත්වන විට ඒවාට සහභාගි වීමට එනකොට මත්පැන් දීලා ගේනවා නැත්නම් මත්පැන් බීලා එනවා. නමුත් අපි දිගටම කළ ඉල්ලීමක් තමයි මත්පැනින් තොරව මේ ස්ථානයට සහභාගි වෙන්න කියලා. එය ඒ විදියටම වුණා. සියයට 99 ක් ම පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන විදියට කටයුතු කළා.

ශ්‍රීලනිපයේ සංවත්සර වේදිකාව ගැන විශේෂයෙන් කතා කළ යුතුයි. අපේ පක්ෂය වටා සිංහල පක්ෂ එකතු වීම අරුමයක් නොවෙයි. නමුත් දෙමළ, මුස්ලිම් පක්ෂ එක්වීම විශේෂත්වයක්. මේ අය කිසිම වේදිකාව සාමාන්‍යයෙන් එකට ඉන්නේ නැහැ. ඒ වගේම වමේ පක්ෂත් එක් වුණා. පක්ෂවලින් පිරුණු වේදිකාවක් අපට ලැබුණා. ජනාධිපතිවරයා සහ පක්ෂය කෙරෙහි ඔවුන් තුළ නැවුම් බලාපොරොත්තු ඇති වූ බව ඔවුන් පැවැසුවා. ඒ තමයි බලය, ශක්තිය. එය තමයි මැතිවරණ ජයග්‍රහණයක පැවැත්ම. ජනතාව එක් වීම පමණක් නොව විවිධ මත දරන අය එක වේදිකාවකට ගේන්නට අපිට හැකි වුණා.

දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්, ඩග්ලස් දේවානන්ද, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණා මන්ත්‍රීවරුන් වේදිකාවේ සිටියා. මුස්ලිම් පක්ෂ ගත් විට හකීම් මහතා ඇතුළු කණ්ඩායම, අතාවුල්ලා කණ්ඩායම සම්බන්ධ වුණා.

තවත් මුස්ලිම් පක්ෂ ගණනාවක් වේදිකාව තුළ සිටියා. ඒ නිසා මෙය සුවිශේෂ අවස්ථාවක්. මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂ ගණනාවක නායකයින්, නියෝජිතයින් සම්බන්ධ වූ සංවත්සරය බවට අපට වාර්තාවක් තියන්නට හැකි වුණා.

මේ සියලුදෙනාම එකම වේදිකාවකට පුළුවන් නම් ගේන්න කියලා අපි ඕනෑම පක්ෂයකට අභියෝග කරනවා. එය කවදාවත් කළ නොහැකි දෙයක් කියලත් අපි කියනවා. ජනාධිපතිවරයාගේ කාලය තුළදි අත්පත් කර ගත් ජයග්‍රහණය තමා ඒ.

බස්රථවලට සෙනඟ එකතු කිරීමේදි සාමාන්‍යයෙන් අපි 70 කට පමණ කියනවා. මෙවරත් එය සිදු කළා. 70 කට කීවාට අපි අපේක්ෂා කරන්නේ 40 ක් පමණ. නමුත් මෙවර 70 කට කීවා නම් ඒ 70 ම පැමිණියා. පසුගිය සංවත්සරවලදි බස්වල අසුන් ගණනට පමණයි අපට සෙනඟ ගෙන යාමට හැකි වුණේ. ශ්‍රීලනිපය ලබා ඇති සංවර්ධනය මෙයයි. සංවත්සරය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලුදෙනාටම ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් හා පාර්ලිමේන්තු සියලු කණ්ඩායම් සමඟ සාකච්ඡාවක් පෙරේදා (06) පැවැත්වූවා. ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂය හැසිර විය යුත්තේ කෙසේද යන්න ගැන එහි දී දිගින් දිගටම සාකච්ඡා කළා. ගම් මට්ටමට යාමට අපි තීන්දු කළා. මේ සංවත්සරය සාර්ථක කර ගැනීමට අපට හැකි වුණේ පසුගිය කාලයේ දිස්ත්‍රික් හා ආසන මට්ටමෙන් පැවැත්වූ සාකච්ඡා නිසයි. ගම් මට්ටමේ ජනතාව දැනුවත් කළා. ගම්වල සිටින පහළ මට්ටමේ සාමාජිකයන් අප සමඟ එක්වීමට කැමැතියි.

ඒ අය දායක කර ගැනීමට අපි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ජනාධිපතිවරයා ගැන විශ්වාසය ජනතාව තුළ ගොඩනැඟී තිබෙනවා. ආණ්ඩුව ගැන විවේචන ඒ අය තුළ තිබෙනවා. එය සාමාන්‍යයයි. පක්ෂය පිරිසිදු වගේම ජනාධිපතිවරයා පිරිසිදු වගේම ආණ්ඩුවත් පිරිසිදු කර ගෙන ගමන යන්න කියන එක තමයි ජනතා මතය වී තිබෙන්නේ.

ජයරත්න හේරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ළඟින්ම කටයුතු කළ අයෙක්. ජනතාව ඔහු ප්‍රතික්ෂේප කළා. කුරුණෑගල ජනතාව තමා පිළිගන්නේ නැහැ කී පසු ඔහුගේ කැමැත්ත පරිදි පොල්ගහවෙල ආසනය ඔහුට ලබාදුන්නා. නමුත් එම ජනතාවත් ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ සිටි කෙනෙක් නොවේ.

විවිධ පුද්ගලයන් අපි එක්ක එකතු වෙයි. ඉවත් වෙයි. මහින්ද මහතා ආරම්භ කර තිබෙන අලුත් පක්ෂයට මෙතරම් කාලයක් තිස්සේ බඳවා ගෙන තිබෙන්නේ ලක්ෂ 20 ක් නම් එය මදි. ලක්ෂ 58 න් ලක්ෂ 20 ක් කියන්නේ ඉතා පොඩි සංඛ්‍යාවක්. අපිට සාමාජිකත්වයක් තිබෙනවා. අපි තර්ක කරන්න යන්නේ නැහැ. පක්ෂ හදාගෙන සාමාජිකයින් බඳවා ගනීවි. ඒක අපට අදාළ වන්නේ නැහැ. අපේ පක්ෂයට සාමාජිකයින් බඳවා ගෙන පක්ෂය ශක්තිමත් කරන එක තමයි අපට තිබෙන්නේ. මේ සංවත්සරයට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම මුලින්ම එන්නේ නැහැ කීවා. දෙවනුව ඔවුන්ට ආරාධනා නැහැ කීවා. ආරාධනා අතටම ගිහිං බාර දුන්නාම, දුන්නත් එන්නේ නැහැ කීවා. ඒවා විහිලු වැඩ. අලුත් පක්ෂය තුළ ඔක්කොම සිටින්නේ හමුදාවේ අයනේ. කම්මැළිකමට ඉන්නා විට මොනවා හරි කරන්නත් එපායැ.

ජාතික ආණ්ඩුව තුළ අපි සිටින තුරු මේ රට කිසිදු විටක බෙදන්නට ඉඩ තබන්නේ නැහැ. මෙරට රණවිරුවන්ට විදේශ රටවල විනිසුරුවන්ට දඬුවම් කරන්නට දෙන්නේ නැහැ. රණවිරුවන් ආරක්ෂා කරනවා. බුද්ධාගමට තිබෙන තැන නැති වෙන්නෙත් නැහැ. උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කරන්නෙත් නැහැ. ත්‍රස්තවාදි සංවිධානයකට ගොඩනැඟෙන්න ඉඩ තියන්නෙත් නැහැ.

2020 වසරේදි පවත්වන මැතිවරණයේදි ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස ආණ්ඩුවක් සෑදීමට අප කටයුතු කරනවා. එජාපය කැමැති නම් අප සමඟ එක්ව කටයුතු කරන්න ඒ ගැන ඉදිරියේදි සලකා බැලිය හැකියි. අපි වෙනම පක්ෂයක් විදියට තරග කරන්නේ ජයග්‍රහණය ලැබිය හැකි නිසයි.

ඡායාරූපය - නිරෝෂ් බටේපොළ

නව අදහස දක්වන්න