සයි­බර් රණ්ඩු­ව­කට පෙර... | දිනමිණ

සයි­බර් රණ්ඩු­ව­කට පෙර...

හිමාලි එන්. ලියනගේ

දැනට වසර දහ අටකට පමණ පෙර මා ජීවත් වූ පෙදෙසක පොලීසිය තිබූ පාරේ නිවසක කුඩා දැරියක් නිදි යහනින් පැහැරගෙන ගොස් තිබිණි. වැඩි කාලයක් නොගොස් ලැව් ගින්නක් සේ ආරංචිය පැතිරී ගිය අතර දැරියත්, ඈ පැහැරගත් අයත් සොයා ගැනුණි. ගම්වල හැටි එසේය. රාත්‍රී කාලය පුරා අසැභි/නිල් චිත්‍රපට (pornographic videos) බලා එයින් උද්දීපනය වී දැරිය පැහැරගෙන ලිංගික හිංසන ඈට කර තිබුණේ නිවසට නිතර යන එන තිදෙනකු ලෙස ආරංචිය පැතිරිණි. ඒ කාලේ සමාජ ජාලා මිනිස් ජීවිතවල කොටසක් නොවූ නිසා, ඒ වාර්තා වූ පුවතක්, ජායාරූපයක්, වීඩියෝ පට අපට දකින්නට ලැබුණේ නැත. අඩුම තරමේ පසු කලක එම අපරාධකරුවන්ට නිසි දඬුවම් ලැබුණාද, නැතිනම් ඔවුන් දේශපාළුවන්ගේ, දාමරිකයන්ගේ බලපෑම මත නිදහස් වී ගියාද කියාවත් අප දැන ගත්තේ නැත.

එවැනි අපරාධ, මාධ්‍ය සදාචාරයේ රීතී සහ රටේ නීතීවලට අනුකූලව වාර්තා වීමෙන් සමාජය දැනුවත් වීමක් සිදු වූවත් දැන් සිදු වී ඇත්තේ, සමාජ ජාල විසින් අප කියැවිය යුතු, දැකිය යුතු, සිතිය යුතු දේ පාලනය කිරීමකට සියුම්ව නතු කරන නිසා මෙවැනි සිද්ධීන් හා සබැඳි අතිශය වැදගත් කාරණා විග්‍රහ කර තමන් විසින් යමක් තේරුම් ගැනීමට ඇති ඉඩ යම් යම් අවස්ථාවලදී ගිලිහී යාමයි.

දෙයක් සන්දර්භයෙන් වෙන්කොට ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ මතයට නංවා ගැනීමට අනෙකා හැසිරවීමට හැකි අකාරයකට අන්තර්ජාලයේ පළ කිරීම කරන බොහෝ පිරිස බලාපොරොත්තු වන්නේ තමන් ගැවසෙන ජාලය තුළ ප්‍රසිද්ධ වීම, වැඩිපුර 'ලයික්,'කොමෙන්ට්' ලබා ගැනීම වැනි දේවල් මිස සැබැවින්ම සංවාදයක් ගොඩ නැඟීමක්වත්, යහපත් පණිවිඩයක් ලබා දීමක්වත්, නිසි දැනුවත් කිරීමක්වත් නොවේ. ඔවුහු ඒ තරම් සිතන්නට නොහැකි ශ්‍රාවක පිරිසකට වල්පල් දොඩවීම පිණිස මාතෘකා සැපයීම පමණක් කරති. එසේ නොමැති, සැබෑ සංවාද ගොඩනංවන, නිසි පණිවිඩයක්, දැනුවත් කිරීමට අන්තර්ජාලය යොදාගන්නා අය ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ වගකීමක් සහිතවය. මේ දෙකේ වෙනස හඳුනා ගැනීමට නොහැකි පිරිස වැඩි නිසා අනවශ්‍ය සහ වැරදි දේට වැඩි අවධානයක් හිමිවේ.

උදාහරණයක්: අසැභි චිත්‍රපට සමබන්ධයෙන් වූ පැමිණිලි නිසා යම් රටක පොලිසිය විසින් යම් තැනක් වැටලීමක් කිරීම ගැන අඩුපාඩු සහිතව වාර්තාවක් කිසියම් පුවත්පතක පළ වේ. මේ පුවත මාධ්‍ය සදාචරයට වලංගු නැති බවත්, පොලිසීය එසේ වැටලීමක් කිරීම පිස්සුවක් ලෙසත් සඳහන් කරමින්, තැනින් තැන අන්තර්ජාලයේ මතිමතාන්තර පළරීම සිදු වේ. පිරිස උද්වේගකාරී ලෙස පුවත්වාර්තාකරුටත්, පොලීසියත් විවේචනය කරමින් සයිබර් රණ්ඩුවකට පැටළෙති.

එවැනි සාකච්ජාවක ඇතුළට පනිනා කෙනකුට මුලදී මඟ හැරෙන කාරණා කීපයකි. මෙවැනි දේ පළකිරීමට ප්‍රථම කෙනකු එම පුවත ලියූ අයගෙන් හෝ පුවත්පතින් එහි ඇති අඩුපාඩු ගැන විමසීද? ඔවුන් ඒව නිවැරදි කිරීමට වගකීමකින් කටයුතු කරන්නට එකඟ වීද? එවැනි වැටලීමක් පොලීසිය ඇත්තටම කළේද? වැටලීම කළේ කවර නීතී යටතේද? ඇත්තටම සිදු වූයේ කුමක්ද? අන්තර්ජාලයේ ගෙනහැර දක්වා ඇති කතාව දෙස වෙනත් බුද්ධිමත් කෝණයකින් බලා විග්‍රහ කිරීමක් තේරුම් කර ගැනීමක් කළ හැකිද?

වගකීමකින් තොරව සමාජ ජාලවල තමන්ගේ මතිමතාන්තර ඉදිරිපත් වීම සහ ඒවාට පැටළී ඉවක් බවක් නැතුව එවැනි මත පැතිරවීමට දායක් වීමෙන් වන හානිය රැඳෙන්නේ අන්තර්ජාලය තුළ පමණක් නොවේ. අන්තර්ජාලය සමාජයේ හැඩය ඇතිකිරීමට බලවත් සාධකයක් වී හමාරය. ඉහත කී සිද්ධියෙදී මඟ හැරෙන වැදගත්ම කරුණ වන්නේ ඇතැම් රටවල්, විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් අසැභි/නිල් ප්‍රකාශනවලට (pornography) එරෙහිව දැඩි නීතී ක්‍රියාත්මක කරන්නේ ඇයි යන්නයි?

අන්තර්ජාලය භාවිතය ව්‍යප්තවීමට පෙර අසැභි/නිල් ප්‍රකාශන පහසුවෙන් පරිභෝජනය කිරීමට මේ තරම් ඉඩක් නොවීය. අසැභි/නිල් දර්ශන අන්තර්ජාලය තුළ දැන් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ඇත. ඇතැම් අවස්ථාවල ඒවා නොමිලේම ලැබේ. මුවහත් පිහියකින් කෙනකුට ඇන්නොත් තුවාල වීම සහතික කරන්නා වාගේ අසැභි/නිල් ප්‍රකාශන (pornography) පරිහරණය කිරීමෙන් අපරාධකිරීමට පෙළඹෙන බව සනාථ කළ නොහැකි යැයි කෙනකුට තර්ක කිරීමක් කළ හැක. නමුත් ඔවුන් නොදන්නා කාරණය වන්නේ ශාංගාරකාමීත්වය (eroticism) සහ විශේෂයෙන්ම ගහැනුන් සහ දරුවන් යනු ලිංගික අවශ්‍යතා පිරිමහ ගැනීමට ඇති මෙවළම් සේ නිරූපණය කරමින් කාමාතුරයන්ගේ විකෘති මනඃකල්පිතය ඇවිස්සීම යන කාරණා දෙකේ වෙනසයි.

ලෝකයේ ඕනෑම රටක අසැභි/නිල් ප්‍රකාශන (pornography) පරිහරණය කිරීමෙන් පෙළඹි ඇවිස්සීමෙන් ලිංගික අපරාධ කළ අය සොයා ගැනීමට හැක. ඇතැම් අවස්ථාවල මිනීමැරුමකින් ඒවා කෙළවර වී ඇත. දකුණු ආසියානු රටවල, ලිංගික අපරාධ සහ අසැභි/නිල් ප්‍රකාශන (pornography) පරිහරණය, ඒවා වෙළඳාම අතර ඇති බැඳීම වැඩි වීමේ ප්‍රවණතාව නිසා එවැනි රටවල එරෙහිව දැඩි නීතී ක්‍රියාත්මක වේ. එවැනි දියුණු වෙමින් පවතින නීතීය ක්‍රියාත්මක කිරීමට දැඩි අපහසුතා ඇති රටවල තවමත් තමන්ගේ සදාචාරය, හික්මීම ස්වාධීනව ගොඩනඟා ගත හැකි පිරිස කුඩා වේ. පෝළිමක සිටින්නට නොදන්න, තැන තැන කැළි කසළ දමන, මාර්ග නීතී පවා කඩ කරන මිනිසුන් වැඩි, දේශපාලුවන්, මැරයන් නීතියෙන් රිංගා යෑමට නිතර තැත් කරන එවැනි රටවල අසැභි/නිල් ප්‍රකාශන (pornography) වැනි දෑ පිළිබඳ නීතී දැඩි කර ඇත්තේ හේතු සහිතවයි. නීතියෙන් වැඩිහිටියන් වන අය අසැභි/නිල් ප්‍රකාශන (pornography) පරිහරණය කිරීම බොහෝ රටවල නීතියෙන් තහනමක් නැත. නමුත් දියුණු රටවල පවා එම ප්‍රකාශන පිළිබඳ නිසි රෙගුලාසී අවම වීමෙන් සිදුවෙන හානිය වැඩි නිසා රෙගුලාසි වැඩි කර ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවක් වී ඇත.

ඔබ මෙවැනි තත්ත්වයක් ගැන සිතා බලන්න. නීතී විරෝධී ලෙස මුදල් ලබා ගනිමින් අසැභි/නිල් ප්‍රකාශන (pornography) පරිහරණයට ඉඩ දෙන ස්ථානයක් යම් රටක යම් තැනක පවත්වාගෙන යයි. මේ ගැන පොලිසියට පැමිණිලි ලැබී නැත. එතැනට නිතර යන එන දැඩි ලිංගික හිංසනය කිරීමට රිසි මනඃකල්පිතයක් (fantasy) ඇති අයෙක් දැරුවකුට ලිංගික අපරාධයක් සිදු කරයි. මේ පුවත මෙසේ පළවේ "නීතී විරෝධී ලෙස මුදල් ලබා ගනිමින් අසැභි/නිල් ප්‍රකාශන (pornography) පරිහරණය ඉඩ දෙන ස්ථානයක් ගැන බොහෝ පැමිණිලි ලැබීත් පොලිසිය එතැන පරීක්ෂා කර නැත. එතැනට ආ ගිය කෙනෙක් දරුවකු පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම් කර ඇත."

මේ සිද්ධිය නිරාවරණය කිරීමට වෙහෙසක් නොගෙන ඇත්ත සෙවීමට උත්සාහයක් නොගෙන අන්තර්ජාලයේ වල්පල් කියවීමකට එකතු වෙන කෙනෙක් මේ ගැන කියන්නේ මොනවද?

අන්තර්ජාලය දෙපැත්තම මුවහත්ව කැපෙනා පිහියකි. එයින් ඇන ගැනීමත් අනෙකාට ඇනීමත් දෙකම කළ හැකිය. එසේම එය තමන්ගේත් අනෙකාගේ යහපතට යොදා ගත හැකි මෙවලමක් ද කරගැනීමට හැකියාව ඇත. මිනිසුන් ඇවිස්සිමට වන ප්‍රකාශන නිසා වැදගත්ම කාරණා මඟ හැර ගන්නා කෙනෙක් වන්නේද නොවන්නේද යන තීරණය ඔබ ගන්න. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න කියා මුතුන් මිත්තන් මුතුන් මිත්තණියන් කීවේ අන්තර්ජාලය ගැන දිවැසින් දැක නොවේ. නමුත් එය සර්වකාලීන සත්‍ය උපදේශයකි. 

නව අදහස දක්වන්න