රායි ලක්ෂ්මීගේ අළුත්ම චිත්‍රපටයට කැපිල්ලක් | දිනමිණ

රායි ලක්ෂ්මීගේ අළුත්ම චිත්‍රපටයට කැපිල්ලක්

රායි ලක්ෂ්මී බොලිවුඩ් සිනමාවට එක්වුණේ දකුණු ඉන්දීය චිත්‍රපටවල රඟපෑමෙන් ලද ජනප්‍රියත්වය කර පින්නාගෙනයි. මේ සුරූපිනිය රඟපෑ අලුත්ම බොලිවුඩ් නිර්මාණය තමයි, ‘ජුලී 2’. මේ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.

අනුරාගය මුසු වූ රංගනයන්ට උපන් හපන්කම් දක්වන රායි ලක්ෂ්මීට පසුගිය කාලයේ සුපිරි ක්‍රිකට් තරුවක් සමඟ පෙම් සබඳකමක් තිබුණු බව ප්‍රකට කරුණක්. ඇය එලෙස පෙම් බැන්දේ ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිටයි. නමුත්, මේ ගැන ඇය විවෘතව කතා කළේ නැහැ. ඉන්දීය මාධ්‍යයන් මේ සබඳකම ගැන වගතුග විමසූ විට ඇය ඔවුන්ගෙන් මෙලෙස ඇසුවාලු... “මහේන්ද්‍ර සිං දෝනි? කවුද ඒ?” ඉතින්, එතනින් එහාට ඇගෙන් මේ ක්‍රිකට් ‘පටලැවිල්ල’ ගැන ප්‍රශ්න නොඅසන්නට මාධ්‍යවේදීන් වග බලා ගත්තාලු.

රායි ලක්ෂ්මී රඟපෑ ‘ජුලී - 2’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කෙරෙන්නේ ඔක්තෝබර් 6 දා සිටයි. මේ චිත්‍රපටයේ ඇතුළත් වන අනුරාගික දර්ශන ඉන්දියාවේ චිත්‍රපට පිළිබඳ මධ්‍යම කාර්යාංශයේ ‘කතුර’ට හසුවී තිබුණා. එම ආයතනයේ අනුමැතිය සඳහා ‘ජුලී - 2’ චිත්‍රපටය ඉදිරිපත් කළ කාලයේ එහි ප්‍රධානියා වූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන පහ්ලාජ් නිහාලානියි. ඔහු මේ චිත්‍රපටයේ ඇතුළත් වූ සිප ගැනීමේ දර්ශන රැසක්ම ඉවත් කළා. මෙයට එරෙහිව චිත්‍රපටය පැත්තෙන් විරෝධය එල්ල වුණත්, පහ්ලාජ් පැවසුවේ ආයතනයේ ප්‍රතිපත්ති අනුව තමන් කටයුතු කළ බවයි.

‘ජුලී - 2’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන මුළුමනින්ම පහ්ලාජ්ගේ කතුරට හසුවී ඇතැයි චෝදනා නැඟෙනවා. මේ ගැන ඔහුට තම විරෝධය පළ කළ රායි ලක්ෂ්මී... “කවුරුවත් කැමැති නැහැ තමන් නිර්මාණය කළ චිත්‍රපටයකින් දර්ශන ඉවත් කරනවාට. සිප ගැනීමේ දර්ශනයක් දීර්ඝව නිරූපණය කළොත් ප්‍රේක්ෂකයන්ට ඒක එපා වෙනවා. හැබැයි, ඒ දර්ශනය චිත්‍රපටයට අත්‍යවශ්‍ය නම් ඒක ඉවත් කරන්න හොඳ නැහැ. ඒ මිසක, කාටවත් අවශ්‍ය නැහැ, අනවශ්‍ය විදිහට ඇතුළත් කරන දර්ශන නරඹන්න. ඒවා බලන්න ඕනෙ ‍නම් වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපටයක් බලන එකයි ඇත්තෙ.”

නව අදහස දක්වන්න