නොබෙල් සාම සම්මානයට ඔහුත් සුදුසුය | දිනමිණ

නොබෙල් සාම සම්මානයට ඔහුත් සුදුසුය

ආචාර්ය, අධිනීතිඥ ඩබ්ලියු.ඒ.අබේසිංහ

රටකට නායකයින් දෙවගක් බිහි වෙති. කෙනෙක් අහසින් කඩා පාත් වෙති. කෙනෙක් මහ පොළොවෙන් බිහි වෙති.

ශ්‍රී ලංකාවේ සිටි මහපොළොවෙන් බිහි වුණු මුල්ම නායකයා ඩී.ඇස්.සේනානායකය. ඩී.ඇස්. සේනානායක, ඉංගිරිසින්ගේ ටොප් හැට්, ටේල් කෝට් දෙකම ඇඳගෙන හිටන් වුණත්, ඔහු අමුම අමු සිංහල ගැමියා විය. ඔහුගේ ගතත් සිතත් හදත් තිබුණේ අපේ රටේ ගමේ වෙලේ කුඹුරේය. වත්තේ පිටියේය. ගොඩමඩ දෙකම කරන් හිටන්, ඔහු ගල්ඔයද බැන්දුවේය. ගල්ඔය බන්දා හිටන්, නිදහස් වූ ජනකායකට ගොඩමඩ දෙකෙන්ම ගොවිබිම් ලබා දුන්නේය. පොළොන්නරුවෙන් පැමිණි මෛත්‍රීපාල සිරිසේනගේ තාත්තාට ලැබුණේත්, ඒ ගොඩමඩ ඉඩම්ය.

දේශපාලන මෝඩකම් කිහිපයක් කළේ වී නමුත්, තම නෑදෑ පරපුර නැගිට්ටුවන්ට පියවර ගත්තේ වී නමුත් මහපොළො‍ෙවන් බිහි වූ ඩී. ඇස් ජනතාවගේ හදවතේ ලැගුම් ගත්තේය. ඔහු ජේ.ආර්.ජයවර්ධන අතේ දුරින් තබාගෙන, තම පුතු ඩඩ්ලි දේශපාලන වශයෙන් ගොඩනැගුවේ, ඔහුට රටේ ගොවිකම් ඇමතිකම ද බාරදෙමිනි.

කොතරම් කපටි දේශපාලන නූල් සූත්තර දැන සිටියේ වී නමුත්, ඒ නූල් සූත්තර ජාලයේ රටත් ජනතාවත් පටලවාගෙන කන්න දෙකක්ම බලයේ සිටියේ වී නමුත්, ජේ. ආර්. අපේ දේශපාලනයට උඩින් පාත්වූ නරකම මිනිහා විය. සබයට ඇන්දේ ජාතික බැනියම මුත්, පෙරළුවේ ධම්මපදය මුත්, කැරකුවේ මහත්මා ගාන්ධිගේ චරකය මුත්, ජේ. ආර්. ජයවර්ධන මේ රටට විජාතිකයෙක් විය.

ගැමියන්ට තේරෙන සිංහලෙන් මිනිත්තු දහයක් එක දිගට සිංහලෙන් කතාකරන්නට බැරිව සිටි මේ මිනිහා, යූ.ඇන්.පී. යේ බලය සදාකාලික කරන්ට ගොස්, රටත් ජනතාවත්, අන්තිමේදී තමාගේම යූ. ඇන්.පී.යටත් කෙලෙව්වේය. “ ඔය මිනිහාට රට දුන්නොත් ඒ රට ඒ හැටියෙන් ආපහු ගන්ට නොලැබෙතැ’යි ඇන්.ඇම්.කී. කතාව හරිය. අදත් රටේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කලම පැටලී ඇත්තේ, ජේ.ආර්. ගේ විධායක උගුලේය. මේ වන විට ඉන් මිදෙන්ට ඕනෑ වී ඇත්තේ ඔහුගේම යූ.ඇන්.පී.යටය. ඉතිහාසයේ සරදමට මෙන් ඒ විධායකය අද ඕනෑ වී තිබෙන්නේ, ශ්‍රී.ල.නි.ප. යේ කොටසකටය. තමන්ගේ ආදරණීය නායිකාව වූ රටේ කාගෙ කාගේත් මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කළේ ජේ.ආර්.ගේ කරුම ව්‍යවස්ථාව බැව්, මේ අකෘතඥ අවස්ථාවාදී මිනිසුන්ට අමතකය.

ඇස්.ඩබ්ලියු ආර්.ඩී.බණ්ඩාරනායකද අපගේ දේශපාලනයට කඩා පාත් වුණේ අහසේ සිටිය. ඔහු අපේ මහපොළොවෙන් උපන් කෙනෙක් නොවීය.‍

එහෙත් ඔහුගේත් අනෙක් නායකයින්ගේත් වෙනසක් තිබුණි. ඔහු අහසින් බිමට බැස, මහපොළොවේ හොඳට පය ගසා හිටගත්තේය. අපේකමත් අපේ බසත් අපේ ගති සිරිතත් හොඳ හැටි හඳුනාගත්තේය. එංගලන්තයේ ඔක්ෆර්ඩ් සරසවියෙන් තෙම්පරාදු වූ මේ මිනිහා, ආසියාවේත් ලංකාවේත් හදවත හඳුනාගත්තේය. ඔහු රටේ නායකත්වයට එන්නට පතා සිටි සිතා සිටි කෙනෙකු බව ඇත්තය. එහෙත් ඔහු එයට සුදුසුකම් ලබාගත්තේ, ජනතාවගේ හද ගැස්ම හොඳින් හඳුනාගෙනය. ඒ හද ගැස්මට අවංකව සවන්දී, එයට අනුරූප වන්නට අවංකව වෑයම් කිරීමෙනි.

ඒ සඳහා බණ්ඩාරනායක අභිනිෂ්ක්‍රමණයක් කෙළේය. ඒ කියන්නේ ඔහු බොහෝ දේවල් අතහැරිය බවය. ඔහු පනස්හයේ ඡන්දය කෙළේත්, රොස්මීඩයේ තිබුණු ටින්ටකල් බංගලාව උගසට තබාය. අප කවුරු කවුරුත් අඩුපාඩු කියන නමුත්, ඔහු පොදු ජන යුගයක් ඇතිකළේය. ඒ පොදු ජනතාව හා තමා හඳුනාගන්නට බැරි වන තරමට මිශ්‍ර වූයේය. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ කීවාක් මෙන් පනස්හයේදී බමුණු කුලය බිඳ වැටී “නිගණ්ඨ සේනාවක් සේ” පැරද පලා යන තැනට වැඩ සලස්සන්ට බණ්ඩාරනායකට හැකි වූයේ ඒ නිසාය.

අන්තිමේදී ඔහුට තමා බලයට ගෙන ආ පොදුජන යුගය රකිනු උදෙසා හිස දන් දෙන්නටද සිදු විය. එතැන සිටියේත්, අද රොහින්ග්යා මුස්ලිම් සරණාගතයින්ට පහර දෙන බලකාමයෙන් පෙළෙන අන්තවාදී හාමුදුරුවරුය. බුදුහාමුදුරුවන්ටද උන්වහන්සේගේ උතුම් දහමටද පොදුවේ මුළුමහත් සඟ පරපුරටද නිගා දෙන මොවුන්ට, චීවරධාරීනැයි කියන්නේ, ඔවුන්ට මිනීමරුවන් කියන්ට බැරි නිසාය. එය වෙනම කතාවකි.

මේ පසුබිම් කතාව කියන්ට සිදු වුණේ වෙනත් කාරණයකට එන්නටය. වෙනත් මිනිහෙක් ගැනකතා කරන්නටය. ඒ මිනිහා මෛත්‍රීපාල සිරිසේනය. සියනෑ කෝරලේ හිටන් සිය පියාත් සමඟ පොළොන්නරුවට පැමිණි ඒ මිනිහා, දේශපාලනයට ඇවිදින් හිටන්, දැන් රටේ ජනපතිය. චතුරිකා කියන හැටියට “ජනාධිපති තාත්තාය.”

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට හෝ අනෙක් නායකයකුට හෝ ප්‍රශස්ති ලියා කිසිවක් ලබාගන්ට නැති මා,මෛත්‍රීපාල හඳුන්වන්නේ මෙතුවක්මේ රටේ මහපොළො‍ෙවන් බිහිවූ ඉහළම නායකයා හැටියටය. මා ඒ කතාව මේ කියන්නේ සිව්වැනි වතාවටය.

සේනානායකලාට, බණ්රෙනායකලාට තිබුණු පවුල් පසුබිම නොතිබුණු මේ මිනිහා ඇන්.ඇම්.ලාට, කොල්වින්ලාට, බර්නාඩ්ලාට, පීටර්ලාට තිබුණු උගත්කම නොතිබුණු මේ මිනිහා රටේ ඉහළම තැනට ආවේ පොදුජන හදගැස්ම නියමාකාරයෙන් හඳුනාගත් නිසාවෙනි. ඩී.ඇස්. සේනානායක කළ ගොවිජන විප්ලවයේත්, බණ්ඩාරනායක කළ පොදු ජන විප්ලවයේත්, සැබෑ රීතිය නියම රිද්මය එකමිතිය හඳුනාගැනීමේ දේශපාලන ප්‍රඥාව ඔහු සතුව තිබුණු හෙයිනි. ඒ දේශපාලන නුවණ, මේ රටේ මේ කාලයේ කිසිවෙකුට ඇත්තේ නැත.

දුර්දාන්ත ඒකාධිපතිත්වයෙන් රට ගලවාගන්ට, තම නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කළ යූ. ඇන්. පී.යත් සමඟ එකතුවීමේදී ඔහුට අපේ බො‍හෝ ඊනියා රැඩිකල්වාදීන්ට දැනෙන අප්පිරියාව - හිරිකිතකම, නොදැනුනේ එකී දේශපාලන නුවණ නිසාය. පරිණතභාවය කියා කියන්නේ එයටය. චුයින්ගම් හෝ සීනි සකලමොටං දී ජනතාව රැවටීමට නොවේ.

මෛත්‍රීපාල සිරිසේන, විලියම් ශේක්ෂ්පියර් මහා කවියාගේ “ටුවෙල්ත් නයිට්” හෙවත් දොළොස්වැනි රැය නාට්‍යය කියවා ඇත්තේ යැයි මා සිතන්නේ නැත. එහි දෙවැනි අංකයේ පස්වැනි දර්ශනයේ මෙවැනි කියුමක් වෙයි.

“Do not be afraid of greatness: Some are born great, Some achieve greatness. Some have greatness thrust upon them.”

“ශ්‍රේෂ්ඨත්වයට බිය නොවන්න. සමහරු උපතින් ශ්‍රේෂ්ඨව උපදිති. සමහරු එය වැරවීරියෙන් ලබාගනිති. එය සමහරුන්ගේ ඇඟේ ගසනු ලැබෙති.”

ඩී.ඇස්.ද, බණ්ඩාරනායකද ශ්‍රේෂ්ඨත්වය උපතින්ම ලබාගෙන ආහ. ශ්‍රේෂ්ඨත්වය මැතිනියගේ ඇඟේ ගසනු ලැබීය.

‍ශ්‍රේෂ්ඨත්වය මෛත්‍රීපාලගේ ඇඟේ ගසන්ට යූ.ඇන්.පියට සිදු වූයේ වී නමුදු, මෛත්‍රීපාල එය ලබාගන්නේ වැරවෑයමෙනි. දේශපාලන නුවණත්, පරිණතභාවයත් ලබාගැනීමෙනි.

වැදගත්ම කාරණය එය නොවේය. මැතිනිය මෙන්ම මෛත්‍රීපාල සිරිසේනද ශ්‍රේෂ්ඨත්වයට බිය නොවීම ය.

මැතිනිය, ඉංගිරිසින්ගේ තෙල් කොම්පැනි සහ වතු ජනසතු කර, ලෝක බලවතුන් ඉදිරියේ කෙළින් හිටගෙන තුන්වැනි ලෝකයේ බලවත්ම නායිකාවක වූයේත්, ඒ බිය නැතිකම නිසාය. මෛත්‍රීපාල, මෙතුවක් රටට අහිමිව තිබුණු යුක්තිය, සාධාරණය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ස්ථාපනය කොට, සිංහල දෙමළ අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී, රටේ සංහිඳියාව ඇති කරන බවට රෙදි බැනියම ඇඳගෙන ගොස් ‍ලෝක නායකයින්ට කෙළින් හිටගෙන කියන්නේත් ඒ බය නැතිකම නිසාය.

තම ජනතාවනට යුක්තිය ඉෂ්ට කළ නායකයින් තිදෙනෙක් අපේම බණ්ඩාරනායක, ඉන්දියාවේ මහත්මා ගාන්ධි, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරන බැව් ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය. ඒ කාර්යය ඉතා අසීරු බැව් ජනාධිපති සිරිසේන තරමටම, අපිදු දනිමු. ඒත් ගන්ට ඇත්තේත්, රට ගෙනියන්ට ඇත්තේත් ඒ පාර දිගේම පමණි.

දැන් ඒ මිනිහාගේ නම නොබෙල් සාම තෑග්ග සඳහා අවසාන වටයට නිර්දේශිත වී ඇත්තේ ය. හැම දේශපාලන පක්ෂයක්ම තුන්වැනි හතරවැනි පෙළේ ජෝකර්ලාගේ ගොන් කතා සහ අමන කයිවාරු උඩ දමන අපේ මාධ්‍යයට මේ පුවත මඟහැරීම පුදුමයට කාරණයක් නොවෙයි. එහෙත් ආණ්ඩුවේ මාධ්‍යයට එය මඟහැරුණේ කෙසේද?

මැද ම‍ඟේ ගමන් කරමින් ගැටුම් නිරාකරණය උදෙසා ගන්නා ඔහුගේ ව්‍යායාමය අගය කරමින් 2017 වසරේ නොබෙල් සාම ත්‍යාගයට මෛත්‍රීපාල සිරිසේනගේ නම අවසාන වටයට නිර්දේශ කර ඇත්තේ, ඔස්ලෝහි සාම පර්යේෂණ ආයතනය (Oslo peace Research Institute) විසිනි. තවත් පුද්ගලයින්සහ ආයතන හයකගේ නම් අවසාන වටයට තේරී ඇත්තේය.

2015 අප්‍රේල් මාසයේදී සිය කැමැත්තෙන්ම තමාගේ බලතල කපා දැමීමට එකඟ වුණු එකම විධායක ජනාධිපතිවරයා තමා බැව්, මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මූණටම කියා සිටියේය. ඒ ඊයේ පෙරේදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදීය. ලැබෙන්ට පුළුවන. නොලැබෙන්ට පුළුවන. එහෙත් මේ උතුම් සම්මානයට නිල වශයෙන් නිර්දේශිත එකම එක ශ්‍රී ලාංකික නායකයා, මෛත්‍රීපාල සිරිසේනය. ලැබෙනවා නම්, මේ සතියේ සිකුරාදාම, ඇතැම්විට එය දැනගන්ටත් ලැබෙනවා විය හැක.

මේ සටහන ලියැවෙන්නේ එකී නොබෙල් සාම සම්මානයටත් මෛත්‍රීපාල සිරිසේන සුදුසු බැව් නොවලහා කියන්නටය. ආයෙත් දෙකක් නැත. ඒ සම්මානයට, ඔහුත් සුදුසුය.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න