මං ලිව්වේ අසභ්‍ය දේ නෙමෙයි | දිනමිණ

මං ලිව්වේ අසභ්‍ය දේ නෙමෙයි

ධම්මික සෙනෙවිරත්න
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසින් රචිත නවතම කෘතිය වන ‘ලිංගිකත්වය හා ලිංගික සෞඛ්‍ය' පිළිබඳ කළ සංවාදයකි මේ.

එදා සමාජය ගත්තොත් නිවෙසක වුණත් අදහස් හුවමාරුව හොඳින් සිදු වුණා. අද නිවෙස්වලින් ඒක බැහැර වෙලා. තම තමන්ගේ අවශ්‍යතා ගැනවත් කතාබහ කරන්න අවස්ථාව නෑ. තමන්ගේ අවශ්‍යතා ගැන කතා කරන්න අවකාශ තිබුණු අතීත මාජයේ කෙළින්ම ලිංගිකත්වය ගැන කතා නොකළත් තමන්ට අවශ්‍ය කාරණා, දැනුම හුවමාරු කර ගත්තා.

‘ලිංගිකත්වය හා ලිංගික සෞඛ්‍ය’ කෘතිය මඟින් විශේෂිතව ආමන්ත්‍රණය කරන්නේ කවර පාඨක ප්‍රජාවක්ද?

මේ කෘතියෙන් විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නෙ විවාහක හා අවිවාහක වැඩිහිටි පාර්ශ්වය. මීට කලින් ‘යොවුන් වියට ලිංගික අධ්‍යාපනය’ කෘතිය පාසල් යන වයසේ නව යොවුන් පිරිසටත් ,‘තාරුණ්‍යය දැකීම හා රැකීම’ තරුණ පෙළටත් ඉදිරිපත් කළා. ඒ ඔස්සේ ඉදිරියට යමින් වෛද්‍ය විද්‍යාත්මක මාර්ගෝපදේශනයක් ලෙස හඳුන්වාදෙන මේ කෘතිය, වැඩිහිටියන් වන්නට සිටින තරුණ තරුණියන්ටත්, තමන්ගේ ජීවිත යහපත්ව ගොඩනගා ගැනීමට ප්‍රයෝජනවත් වේවි.

මේ කෘතියේ අන්තර්ගතය ගැන කෙටි හැඳින්වීමක් කළ හැකිද?

මෙය පරිච්ඡේද 17කින් සමන්විතයි. තෘප්තිමත් ජීවිතයකට නම් පරිච්ඡේදයෙන් අරඹා, ස්වභාවිකව ගළපාගත යුතු ස්වභාවික ආර්තවහරණය දක්වා එහි ලිංගිකත්වය පිළිබඳ සියලු මූලික කාරණා සාකච්ඡා කෙරෙනවා. ලිංගිකත්වය හා ලිංගික සෞඛ්‍ය කියන්නේ ගෙවන වයසත් සමඟ අත්හැර දැමිය යුතු මාතෘකා නෙවෙයි. වයසත් සමඟ ගළපාගත යුතු මාතෘකා. විවාහයකට එළැඹෙන නව යුවළක් සම්බන්ධයෙන් පූර්ව උපදේශනය ඉතාමත් වැදගත්. හැබැයි, මේ දේ වෙන්නෙ නෑ. ඒ නිසා තමයි දික්කසාදවීම් මේ තරම් සුලබ. අත්‍යවශ්‍යම ටික නැතිව අනවශ්‍ය දේ කරනවා. ප්‍රී ෂූට් කියල මනාල යුවළ දවස් ගණනකට කලින් ගස්-ගල් උඩ නග්ගලා වීඩියෝ කරනවා. ඒ වීඩියෝ දර්ශන මංගල උත්සවයට එන පිරිසට පෙන්වනවා. මංගල දිනයේත් දවස් ගණනක් තිස්සේ නටන්න පුරුදු කරලා මනාල යුවළ නටවනවා. ඒකත් වීඩියෝ කරනවා.

අන්තිමේ ඉතිරි වෙන්නෙ මේ ටික විතරයි. ජීවිතය ඉස්සරහට යන්නෙ කොහොමද කියන එක ගැන අදහසක්වත් නෑ. පුළුවන්කමකට නෙමෙයි, ඒත් ලක්ෂ ගණනක් මංගල්‍ය උත්සවයට වියදම් කරනවා. ණය වෙනවා. ඊට පස්සෙ ජීවිතය ගෙනියන්න ගියාම එතැන ප්‍රශ්න. පූර්ව විවාහ උපදේශනයෙදි දෙදෙනා අතර ප්‍රශ්න ඇති නොවන විදිහට ඉදිරි ජීවිතය ගොඩනඟා ගන්න අවශ්‍ය මඟපෙන්වීම කරනවා. එතැනදි දෙදෙනා අතර ඇති වෙනස්කම්, දෙදෙනාගේම පවුල් පාර්ශ්වයන් සමඟ කටයුතු කළ යුතු විදිහ වගේ කාරණා ගණනාවක් ගැන අවධානය යොමු වෙනවා.

අනුගමනය කළ යුතු හා ගැළපෙන පවුල් සැලැසුම් ක්‍රමය ගැන පවා එහිදී දෙදෙනා සමඟ කතා කරනවා. විවාහයෙන් පසුව තමන්ගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් ආර්තවහරණය වගේ කාරණා ගැනත් මේ කෘතියෙදි අපි සාකච්ඡා කරනවා. මේ කාරණා සම්බන්ධයෙන් ජීවිත කාලයටම අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන්ම ලබාගන්න පුළුවන් වන අන්දමිනුයි මම මේ කෘතිය ඉදිරිපත් කළේ.

තරුණ තරුණියන්ගෙන් වගේම, විවාහක අයගෙනුත් මීට අදාළ කාරණා ගැන මට කොතෙකුත් ගැටලු ඉදිරිපත් වෙනවා. අපේ රටේ මොන තරම් නම් පිරිසක් විවාහ ජීවිතය ප්‍රශ්නයක් කරගෙන ඉන්නවාද කියලා ඒකෙන් පැහැදිළියි. එක වහළක් යට ජීවත් වුණත්, විශාල නොරිස්සුමකින් ජීවත් වෙනවා. මේ නොරිස්සුමට තමයි නිවෙසින් පිටතදි, සමාජයෙදි ප්‍රකාශයට පත් වෙන්නෙ. දෙදෙනාම ඉන්නෙ සතුටින් නෙවෙයි නම් නොරිස්සුම ඇති වෙනවා. ප්‍රශ්න එනවා. මේ කෘතිය මඟින් පවුල් ජීවිතය සතුටින් ගත කරන්නෙ කොහොමද කියලා කියන්න මට ඕන කළා.

මට දුරකතන ඇමතුම් රාශියක් ලැබුණත්, තනි පුද්ගලයෙක් හැටියට මට මේ රටේම එවැනි ඇමතුම්වලට සවන් දෙන්න හැකියාවක් ප්‍රායෝගිකව නෑ. සමහර ඇමතුම්වලට පැයක් පමණ වෙලා සවන් දෙන්න වෙනවා. මගේ රාජකාරි කටයුතුත් එක්ක ඒ තරම් වේලාවක් මට දුරකතනයට කන තියාගෙන ඉන්න අපහසුයි. අනෙක එය ශරීර සෞඛ්‍යයටත් හොඳ නෑ. මෙවැනි කෘතියක් මඟින් එවැනි ගැටලු ඇති බොහෝ දෙනකුට යහපතක් වන බවත් මම කල්පනා කළා.

මේ කාරණා ගැන සමාජයේ විශාල නොදැනුමක් තියෙන්නෙ. පූර්ව විවාහ උපදේශනය වගේ අත්‍යවශ්‍ය කාරණා ගැනවත් වැඩපිළිවෙළක් නෑ වගේම, ඒවා නිසා ඇතිවන ප්‍රශ්න විකුණන ස්වභාවයකුත් මේ සමාජයේ ඇතිවෙලා. අතරමං නොවී හරිදැනුම ලබාගැනීම ගැන ඔබට දෙන්න පුළුවන් උපදෙස කෙබඳුද?

ලිංගිකත්වය ගැන නවකතා පවා පළ වෙනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව තමන්ට හිතෙන දේ ලියලා ප්‍රචාරය කරන තත්ත්වයකුත් අපි දකිනවා. මෙය හොඳ දෙයක් නෙමෙයි. අපේ රටේ සංස්කෘතියට අනුව ලිංගිකත්වය කියන කාරණය විවෘතව සාකච්ඡා නොවන තරම්.

ඒ ගැන සාකච්ඡා වෙන්නෙම අවම වශයෙන්. හැබැයි, එහෙම වෙද්දි කුතුහලය වගේ කාරණා නිසා වැරැදි තැන්වලට යොමු වෙනවා. වෙලා තියෙන ලොකු ම හානියක් තමයි, අන්තර්ජාලය හරහා ඕනෑම තැනකට මේවා ඔස්සේ යන්න පුළුවන් වීම. අන්තර්ජාලය හරහා මේ අන්දමට ලැබෙන්නෙ බොහෝවිට අසත්‍ය හා නිර්මාණය කළ තොරතුරු. ඒ තොරතුරු ලබාදෙන අය ඒවා සපයන්නේ යම් යම් අරමුණු ඇතිව.

උදාහරණයක් හැටියට මේ නොදැනුමේ නරකම හා භයානක ප්‍රතිඵලයක් හැටියට ලිංගික උත්තේජක ඖෂධ අපේ රටේ ඉහළ ම අලෙවියක් ඇති දෙයක් වෙලා. මෙය මහ ව්‍යසනයක්. වෛද්‍යවරු හැටියට අපට එවැනි ඖෂධ නිර්දේශ කරන්න අවශ්‍ය වෙන්නෙ හරිම සුළු පිරිසකට. එසේ තිබියදී තමයි මේවා වැඩිම අලෙවියක් පෙන්වන්නෙ. හිතින් මවාගත්ත ගැටලුවලට අන්තර්ජාලයෙන් පිළියම් හොයන්න ගිහින් වැටිලා තියෙන අමාරුවේ තරම තමයි මේ.

තරුණ - තරුණියන් වගේම අපේ රටේ වැඩිහිටි පරම්පරාවත් අපි අමතක නොකළ යුතුයි. ඔවුන් අතරත් මේ කාරණා ගැන නිවැරැදි දැනුමක් ඇති අය ඉතා ම අල්පයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වෙන්නෙ යෞවන හා තරුණ පෙළ මේ ගැන දැනුම්වත් කිරීම සම්බන්ධවයි. අපේ රටේ තියෙන කොතෙකුත් අමාත්‍යාංශ අතරින් වැඩිහිටියන් ගැන කටයුතු කරන අමාත්‍යාංශය හරහාවත් ඔවුන්ට බලපාන කාරණා ගැන අවධානය යොමු කළ යුතුයි. තමන්ගේ පවුල් ජීවිත සතුටින් ගෙනයාම ගැන ඔවුන්ට මඟ පෙන්වන වැඩපිළිවෙළක් දියත් කරන්න මුදල් කන්දරාවක් අවශ්‍ය වෙන එකක් නෑ. එවැනි ව්‍යාපෘතිවල අවශ්‍යතාව දැඩිව තිබෙනවා. ඒවා මුදල් කාබාසිනියා කරන ව්‍යාපෘතියක් නෙමෙයි.

අද බලවත් ප්‍රශ්නයක් වෙලා තියෙන මඳ සරු බව පිළිබඳ කාරණයටත්, ලිංගිකත්වය පිළිබඳ ඇති මේ නොදැනුම බලපා ඇතැයි කිව හැකි ද?

අතීත සමාජයේ මීට වැඩි දැනුමක් තිබූ බව පැහැදිළියි.

එදා සමාජය ගත්තොත් නිවෙසක වුණත් අදහස් හුවමාරුව හොඳින් සිදු වුණා. අද නිවෙස්වලින් ඒක බැහැර වෙලා. තම තමන්ගේ අවශ්‍යතා ගැනවත් කතාබහ කරන්න අවස්ථාව නෑ. තමන්ගේ අවශ්‍යතා ගැන කතා කරන්න අවකාශ තිබුණු අතීත සමාජයේ කෙළින්ම ලිංගිකත්වය ගැන කතා නොකළත් තමන්ට අවශ්‍ය කාරණා, දැනුම හුවමාරු කර ගත්තා. ඒත්, අද එවැනි කතා බහක්වත් හරිහැටි දැනුම්වත් වීමක්වත් වෙන්නෙ නෑ.

මඳසරු බව පිළිබඳ උදාහරණය ගත්තත්, අපි හරිම නරක තැනකට ගමන් කරලා. අද දරුවන් නැති පවුල් එමට ඉන්නවා. මඳසරු බව ගැනත් මං මේ කෘතියෙදි සාකච්ඡා කරනවා. මඳසරු බව අද අනවශ්‍ය විදිහට විකිණෙන කාරණයක්. අනවශ්‍ය ප්‍රතිකාර හා පර්යේෂණවලට යොමුවන පිරිස් සිටිනවා.

දරුවෙක් ලැබීමට නම් තමන් ලිංගිකව සම්බන්ධ වෙන්න ඕන මොන අවස්ථාවෙද කියන කාරණය ගැන පවා නොදැනුවත් වීම මත එවැනි ප්‍රතිකාරවලට යොමු වෙනවා. මෙතැනදි කරන්නෙ මේ මඳසරුබව කියො හිතලා උත්තර සෙවීමයි.

මෙයට සම්බන්ධ අනෙක් කාරණය තමයි, විවාහය. අද හුඟක් වෙලාවට විවාහය පමා වෙලා. අතීතයෙදි ඒක එහෙම වුණේ නෑ. තරුණවියට එළැඹෙන විටම විවාහ වනවා. ඒ නිසා තමයි පවුලක දරුවො හුඟක් හිටියෙ. අද විවාහය ප්‍රමාදයි. අධ්‍යාපනයෙන් ඉස්සරහට යනකොට, විවාහය පස්සට යනවා. එහෙම අධ්‍යාපනය ලබලා රැකියාවකට ගියාට පස්සෙ, රැකියාවේ උසස්වීම් ගන්න ගියහම ආයෙමත් විවාහය පස්සට යනවා.

අධ්‍යාපනයේ හොඳ තැනකට යන්න පුළුවන් වුණාට, ගැළපෙන සහකරුවා හෝ සහකාරිය සොයා ගන්න අසීරු වෙනවා. මංගල යෝජනා කොපමණ ගෙනාවත්, ගැළපෙන්නෙ නෑ. ඒකට හේතුව, අධ්‍යාපන පසුබිම.

කාන්තාවකගෙ දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාව අවුරුදු 26 න් පසු අඩු වෙමින් යනවා. අද ඒ වයසෙදිවත් විවාහ වෙන්නෙ නෑ.

ලිංගික සෞඛ්‍ය ගැනත් ඔබ මේ කෘතියෙදි සාකච්ඡා කරනවා. මේ ගැන මූලික අදහසක් පාඨකයාට ලබාදිය හැකි ද?

එලෙස නම් කළේම, එච්.අයි.වී. ඒඩ්ස් ගැන හිතලා. ලිංගික සෞඛ්‍ය කියන කාරණයෙදි අපි ප්‍රජනන පද්ධතියේ සැකැස්ම වගේම, ඒකෙ ක්‍රියාකාරිත්වයට බලපාන කාරණා ගැනත් දැනුම්වත් භාවයක් තිබීම ගැන කල්පනා කළා. ඒ නිසයි ඊට අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක දැනුම මේ කෘතියට ඇතුළත් කළේ. මවාගන්නා ගැටලු, ලිංගික ක්‍රියාකාරිත්වය, එහි ස්වභාවික තත්ත්ව, කෙනෙක් දැනගත යුතු අවශේෂ කාරණා ආදිය මෙහි ඇතුළත්.

ඊට අමතරව ලිංගිකත්වයට අදාළව සමලිංගිකත්වය ගැනත් මා මෙහිදී කතා කරනවා. ලිංගික සෞඛ්‍ය යටතේ පවුල් සැලැසුම ගැනත් විස්තරාත්මකව සාකච්ඡා කරනවා. එච්.අයි.වී. ඒඩ්ස් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන අනෙකුත් රෝග ගැනත් මම මේ කෘතියෙදි සාකච්ඡා කරනවා. ඒ තොරතුරු නැතිව කෘතියේ එම කොටස සම්පූර්ණ වෙන්නෙ නෑ.

බොහෝ කාරණා අවශ්‍ය තරම් විස්තරාත්මකව සාකච්ඡා කරමින් වුණත්, ඔබ මේ කෘතිය විශාල ප්‍රමාණයේ එකක් නොකර පාඨකයා අත තබනවා. එසේ කිරීමට කල්පනා කළේ ඇයි?

මට දිගට ලියන්න පුළුවන්. ඒත් වැල්වටාරම්වලින් තොරව කෙනකු දැනගත යුතු අවශ්‍යම කාරණා ටික මං මේ කෘතියෙන් ඉදිරිපත් කළා. ඒ කෙටියෙනුත් නෙවෙයි. හැබැයි අවශ්‍ය තරමට. පිටු 700 – 800 ක පොතක් ඉදිරිපත් කරනවාට වඩා, පිටු 100කට ආසන්න කෘතියක් ඉදිරිපත් කිරීම ගැන මම කල්පනා කළා. අවශ්‍ය තොරතුරු මේ කෘතියෙ තියෙනවා. ඒවා හලලා නෑ.

වෛද්‍යවරයකුට අමතරව සන්නිවේදකයකු හා ලේඛකයකු හැටියට මෙවැනි ආන්දෝලනාත්මක මාතෘකාවක් සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමට ඔබට හැකිවී තිබීම ගැන අපි අවසන් වශයෙන් කතා කරමු?

මෙවැනි කාරණයක් ඉදිරිපත් කළ යුතු වෙන්නෙ මිනිසුන්ට දැනෙන්න. ඒ වගේම අනවශ්‍ය හැඟීම් ඇති නොවන හැටියට. එවිට අපි මේ කාරණයම සන්නිවේදනය කළ යුතු වෙන්නෙ මනා සංයමයකින්. අප එලෙස සංයමයකින් ඉදිරිපත් කරන කාරණයට කෙනකුට අවශ්‍ය නම් කුණුහරුපයක් හැටියටත් ඉදිරිපත් කරන්න පුළුවන්. අද හුඟක් තැන්වල වෙන්නෙත් ඒක. ඒවා නිවැරැදි තොරතුරුත් නෙවෙයි. භාෂාව වගේම අපි මේක ඇතුළෙ කරන වචන හරඹයත් කර්කශ නොවිය යුතුයි. ඒ වගේම, අසභ්‍ය දෙයක් නොවන හැටියට මෙය ඉදිරිපත් කිරීමත් කළ යුතුයි. මං භාෂාව හසුරුවන්නෙ ඒ අන්දමට. වෛද්‍යවරයකු වීමට අමතරව, ලේඛන හැකියාව හා සංස්කෘතියට ඇති ඇල්ම නිසා, මෙය සාර්ථකව ඉදිරිපත් කරන්න මට හැකි වුණා.

නව අදහස දක්වන්න