ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ සෑම නිවෙ­ස­ක­ටම ද්‍රව ගෑස් | දිනමිණ

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ සෑම නිවෙ­ස­ක­ටම ද්‍රව ගෑස්

ප්‍රභාත් සිං, පෙට්‍රෝ­නෙට් එල්.එන්.ජී. ලිමි­ඩට්හි කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධා­යක නිල­ධාරී
 
ඉන්දීය සංචාරයකින් පසු ඉරෝෂිණී දීපිකා
 

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ සෑම නිවෙසක්ම, ද්‍රව පෙට්‍රෝලියම් වායුව(එල්.පී.ගෑස්)වෙනුවට ද්‍රව වායු තාක්ෂණය (එල්.එන්.ජී.) භාවිත කරන නිවෙසක් බවට පත් කරන බවත්, නවීන තාක්ෂණය භාවිත කරමින් මේ කාර්ය ඉටු කිරීමට තම සමාගම මේ වනවිටත් ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, ඉන්දියානු තෙල් සමාගමේ(IOC) මවු සමාගම වන පෙට්‍රෝනෙට් එල්.එන්.ජී. ලිමිඩට්හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ප්‍රභාත් සිං මහතා අනාවරණය කළේ ය. ඒ මහතා මේ බව පැවසුවේ, ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවක් අනුව එරට සංචාරයකට එක්වූ ශ්‍රී ලංකාවේ පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති සංස්කාරකවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

ශ්‍රී ලංකාව තුළ දැනට තරගකාරී ගෑස් සමාගම් දෙකක් පවතින නිසා, එය තමන්ට අභියෝගයක් නොවේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා පවසා සිටියේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් භාවිතයට තිත තබා, දියුණු රටවල භාවිත කරන ආකාරයට නළ පද්ධති ඔස්සේ , ගෘහස්ථ පරිභෝජනය සඳහා ස්වභාවික ද්‍රව වායු තාක්ෂණ ක්‍රමවේදාය හදුන්වා දීමට තම ආයතනය කටයුතු කරන බැවින්, තමන්ට එය අභියෝගයක් නොවන බව ය.

ස්වභාවික වායු වර්ගවලින්(මීතේන් වායුව ඇතුළත්ව) යුක්තව බෙදාහැරෙන ස්වභාවික ද්‍රව වායු තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම තම ආයතනයේ අපේක්ෂාව බව ද ඒ මහතා පැවසී ය. අමෙරිකානු ඩොලර් 350ක් වැය කරමින් සිදු කිරීමට අපේක්ෂිත මේ ව්‍යාපෘතිය සඳහා කොළඹ වරාය ආශ්‍රිත ප්‍රදේශයක ගෑස් සැපයුම් අංගණය තැනීමට ඔවුන් ශ්‍රී ලංකා රජයෙ සමඟ සාකච්ඡා කළ බව ද මෙහිදී අනාවරණය විය. ස්වභාවික ද්‍රව වායු බෙදාහැරීමේදී ඒවා සුරක්ෂිතව මෙන් ම වගකීම්සහගත අයුරින් බෙදාහැරීමට තම ආයතනය කටයුතු කරන බව ද ඒ මහතා පැවසුවේ ය.

මේ වනවිට ඉන්දීය රජය මේ සමාගම හා එක්වී නළ පද්ධති හරහා මේ ද්‍රව වායුව නාගරික ගෘහස්ථ පරිභෝජනය සඳහා හඳුන්වා දී ඇති අතර, කේරළයේ බස් රථ, දුම්රිය සහ බර වාහන, ද්‍රව වායුව මඟින් ධාවනයට අවධානය යොමු කර, ඒ සඳහා අවැසි අත්හදා බැලීම් කරමින් ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ ද වාහන ධාවනය, බලාගාර ක්‍රියාත්මක කිරීම වැනි කාර්ය සඳහා ස්වභාවික ද්‍රව වායු තාක්ෂණය හදුන්වා දීමට අපේක්ෂා කරයි. ඉන්දියාව තුළ මේ වනවිට ඉන්දියානු තෙල් සමාගම ට අයත් ඉන්ධන හල් 20,000ක් පමණ ඇති අතර, ඉන් 6000ක් පමණ ස්වභාවික බලශක්තිය මඟින් විදුලිය ජනනය කරයි. ලෝකයේ එල්.එන්.ජී. ද්‍රව ගෑස් ආනයනයෙන් සිව්වැනි ස්ථානයට පත්ව සිටින මේ සමාගම යටතේ, ශ්‍රී ලංකාවේ IOC ඉන්ධන පිරවුම්හල් 202ක් පවතී.

පෙට්‍රෝනෙට් එල්.එන්.ජී. ලිමිඩට් ආයතනය ලොව රටවල් කිහිපයකටම ස්වභාවික ද්‍රව වායු සැපැයුම්කරු බවට මේ වනවිට පත්ව ඇත.ඉන්දියාව ලොව ගෑස් පරිභෝජනයෙන් 16 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය සාධනීය ලක්ෂණයකි. මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව, අන්දමන්, නිකොබාර් දූපත් සහ බංග්ලාදේශය වැනි රටවල ද ස්වභාවික ද්‍රව වායුව සපයන ප්‍රධානතම සැපැයුම්කරුවා බවට පත්ව තිබෙන්නේ ද පෙට්‍රෝනෙට් එල්.එන්.ජී. ලිමිඩට් ය.

 

 

 

නව අදහස දක්වන්න