දෙවිවරු සහ ගුරුවරු | දිනමිණ

දෙවිවරු සහ ගුරුවරු

ඔවුහු ඔබව සිහසුනේ තැබූහ. 'අප ඔවුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අප පසු කර යාමට ය' යන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ජනප්‍රිය පාඨයට නියත විවරණ සැපයූහ. පාසල රන් දෙවොලක් කළහ. මවුපියන් හැරුණු කොට ඇදහිය යුතු ලෙයින් මසින් සැදි මිනිසුන් මෙලොව සිටින බව සපථ කළහ. වැඳුම් පිදුම් බලාපොරොත්තු නොවූවත් ඔවුන් දුටු තැන දණින් වැටීමට තරම් අපව සංවේදී මිනිසුන් කළහ. මේ සා විස්මකර්මයක් කළ හැකි කිසිවෙකු වේ නම් ඒ ගුරුවරයෙකි.

ඔබේ ජීවිතයේ සුවිශේෂ ම පුද්ගලයන් කිහිප දෙනා අතරේ ගුරුවරයෙකු නැත්නම් ඒ අඩුව කැති පොරෝ නැති දෙමළ චිත්‍රපටයක් තරමට හිස් ය. පාසල පිළිබඳ අතීතකාමී සිතුවිලි අතරේ ඔබට ජීවය දුන් ගුරුතරු පිළිබඳ මතකය මිහිරි ය. ආදරය කළ තරමට ම ඔවුන්ගෙන් ලද ගුටි වරුසා පිළිබඳ මතකය සිහිනෙන් ගෑ සුවඳක් සේ අපේ සිත්වල ජීවත්වෙනු ඇත. මවුපියන්ගෙන් ඈත් වී පැය හයක් පමණ ආගන්තුක පිරිසක් සමඟ ගෙවූ හෝරා ජීවිතයේ අමරණීය කාලයක් විය.

ජීවිතයේ මඟ නොදත් මුරණ්ඩු, උද්දච්ච, මවුපිය බසට පවා හිස නොනමන දරුවෙකු ගුරු සිත ඉදිරිපිට මුදු මොළොක් ඇත්තෙකු වූ අවස්ථා පාසල් පිටු අතර ඕනෑ තරම් ය. සමහර අවස්ථාවල මවුපියන් හා පවත්වන සම්බන්ධයටත් වඩා දැඩි බැඳීමක් ගුරුවරයෙකු හා සිසු දරුවෙකු අතර ඇති වේ. මවුපියන්ට නොකියන රහස්, සිත් පීඩා සහ අසරණකම් ගුරුවරුන් හා කීමට පෙළඹීමට තරම් ශිෂ්‍යයෝ ඔවුන් තුළින් මිතුරු වේශයක් දුටහ.

ශ්‍රී ලංකාවේ මිනිසුන් සතු ගුණාංග සංඛ්‍යාත්මක ව අල්ප වුවත් තිබෙන ගුණාංග කීපය ගුණාත්මක වශයෙන් රැක ගැනීමට ඔවුහු සමත් වෙති. ගුරුවරුන් කෙරෙහි ඇති භක්ත්‍යාදරය ද එසේම ය. අධ්‍යාපන කඩ ඉම ජය ගත්තවුන් සේම ඉන් පැරදුණු අයටත් ගුරුවරුන් පිළිබඳ කීමට ලස්සන කතා ඇත. පාසල් අධ්‍යාපනයෙන් පැරදුණු අයට කීමට ඇත්තේ ගුරු බසට අවනත නොවීම නිසා තමාට සිදු වූ වින්නැහිය පිළිබඳව ය.

සාහිත්‍යය තුළ ගුරුවරයාට හිමි තැන පිළිබඳ කියැවීම සුවිශේෂ වේ. කිලමුට්ටි ජාතකයේ තල අහුරක් සොරකම් කළ රජ කුමාරයාට දිසාපාමොක් ඇදුරුතුමා දඬුවම් කළේ ය. එතුමාගේ පිනට එදවස මානව හිමිකම් නමැති අපභ්‍රංශය නොතිබුණි. ගුරු ගීතය පිළිබඳ කප පවතින තුරු මිනිසුන් කතා කරනු ඇත. පොප්ලර් ගස් නැතත් කොට්ටම්බා සෙවනක හෝ බිත්ති හතරක් තුළ ලාංකික ශිෂ්‍යයා ලැබූ අධ්‍යාපනය පොතක ලියා ලුහුඬු කර හැකිදෝ යන්න ප්‍රශ්නයකි.

වාණිජ රැල්ලක ගුරුවරයාට සිය අනන්‍යතාව පෙර සේම රඳවා ගැනීම අභියෝගයකි. ගුරුවරු යැයි කියා ගන්නා බොහෝ ටියුෂන් මාස්ටර්වරුන් නිසා ගුරුවරයා පිළිබඳ ඇති ආකල්පය බිඳ දමන පුවත් වාර්තා වේ. බුදුදහමට අනුව අධ්‍යාපනය යාවනිබ්බාන ක්‍රියාවලියකි. එනම් එය නිවනින් පමණක් කෙළවර වේ. අවුරුදු දහතුනක් වන කාල සීමාව තුළදී ම දරුවෙකුට නිවන් මඟ පෙන්විය හැකි ගුරුවරු වෙසෙති. කලාතුරකින් නිවන තබා පන්සිල් පදවත් රකින තැනට ළමයෙකු රැගෙන යා නොහැකි පුද්ගලයෝ පාසල් සමාජය තුළින් හමුවෙති. ඔවුන්ට ගුරුවරයා යන ඇමතීම සුදුසු නොවේ. පාසල් ජීවිතය සුරපුරයක් සේම අපායක් කළ හැකි සුවිශේෂ බලයක් ගුරුවරු සතු වෙති. අපේ රටේ පින් මහිමයට අපේ පාසල් තුළ සිටින ගුරුවරු බොහෝ දෙනා ගුරුවරු වීමට ම ඉපදුණු අය වෙති.

අන් වෘත්තීන්ට වඩා ගුරු වෘත්තිය වන්දනීය වේ. ගුරුවරු ඉපදෙති. සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස ඉපිද අතරමැද දී ගුරු වෘත්තිය තෝරා ගැනීමෙන් සැබෑ ගුරු තරුවක් වීමට නොහැක. හැම දින ම අපේ සිත් තුළ ජීවත් වන ගුරු දෙවිවරු ගුරු දිනයට අපි හිස මත තබා වන්දනා කරන්නෙමු. තිස්තුන් කෝටියක් වූ දෙවිවරු අතරින් කීප දෙනෙක් සඳහා පාසල් පද්ධතියට එක් වී සිටීම අපේ වාසනාවක් නොවේද?

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න